බස් - ටිපර් රථ අනතුරක්: පුද්ගලයින් 27කට තුවාල - ටිපර් රථය බටුඔයට පෙරළෙයි

කොළඹ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පොලිසිය සඳහන් කළේ, අද (අගෝස්තු 12) දින අලුයම 3.00ට පමණ මින්නේරිය පොලිස් වසමේ බටුඔය පාලම අසලදී මෙම අනතුර සිදුව ඇති බව ය.
අනතුරෙන් බස් රථයේ සහ ටිපර් රථයේ රියැදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොළොන්නරුව, හබරණ හා හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
අනතුරට ලක්වූ ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබු අයුරු නිරීක්ෂණය වෙයි.
බීබීසී සිංහල සේවය සිදුකළ විමසීමකදී පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ, අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 25 දෙනෙකු දැනට රෝහල්ගත කර ඇති බව ය.
ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද අප වාර්තාකරු පැවසුවේ ය.











