'අහමදාබාද් traffic එක මගේ ජීවිතේ බේරුවා': Air India ගුවන් යානය මග හැරුණු යුවතියගේ කතාව

ඡායාරූප මූලාශ්‍රය, Bhumi Chauhan
- Author, භාර්ගව් පරික්
බ්‍රහස්පතින්දා දහවල්, තම ගුවන් ගමන මග හැරීම ගැන 30 හැවිරිදි භූමි චෞහාන් සිත්තැවුලට පත්වූවාය.
එහෙත් පසුව ඇයට ඒ ගැන කෘතඥතාව පළ කරගත නොහැකි තරම් විය. ඇයට මග හැරුණු ගුවන් යානය වූයේ බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයෙන් ගුවන්ගත කර මද වේලාවකට පසු පුද්ගලයින් 242 දෙනෙකු සමග කඩා වැටුණු ලන්ඩන් බලා පියාසර කළ Air India ගුවන් යානයයි.
ගුවන් යානය වෙත පැමිණීම සඳහා චෞහාන් ගුජරාටයේ ඇය උපන් නගරය වන අන්ක්ලේෂ්වර් සිට මහා මාර්ගය ඔස්සේ ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
"අපි අහමදාබාද් නගරයට හරි වේලාවට ආවා, ඒත් නගරයේ තිබ්බ තදබදයත් එක්ක මම ගුවන් තොටුපළට ගියේ විනාඩි පහක් ප්‍රමාද වෙලා. මට ගුවන් තොටුපළට ඇතුළු වෙන්න අවසර ලැබුණේ නැහැ," චෞහාන් බීබීසීයට පැවසීය. "මුලදී, මගේ ටිකට් එකට ගිය සල්ලි නැති වෙච්ච එක ගැනයි, මගේ රැකියාව අහිමි වෙන්න පවා ඉඩ තිබීම ගැන මං කලබල වුණා. නමුත් දැන්, මම කෘතඥ වෙනවා... මගේ මුදල් නැති වුණා වෙන්න පුළුවන්, නමුත් මගේ ජීවිතේ බේරුණා."

ඡායාරූප මූලාශ්‍රය, Bhumi Chauhan
අධ්‍යාපන කටයුතු සඳහා මුලින් ම එක්සත් රාජධානියට ගිය භූමි, වසර දෙකකට පෙර බ්‍රිස්ටල්හි බැංකු නිලධාරීයෙකු වන කෙවාල් චෞහාන් සමග විවාහ විය.
"මම අධ්‍යාපනය කටයුතුවලට එක්සත් රාජධානියට ගිහිල්ලා, පාර්ට් ටයිම් ජොබ් එකක් කළා. මැරි කරලා අවුරුදු දෙකකට විතර පස්සේ, මං මගේ උපන් ගම වන අන්ක්ලේෂ්වර්වලට ආපහු ආවා," ඇය පැවසුවා ය. "මං මාස එකහමාරක් විතර මෙහෙ නැවතිලා හිටියා. මගේ නිවාඩුව අවසන් වූණාම මං ආපසු යන්න හිටියේ."
භූමි පැවසුවේ රථවාහන තදබදයට හසු වූ නිසා ඇය අන්තර්ජාලය හරහා ගුවන් යානයට ඇතුළු වීමේ අවසර පත්‍රය පිර වූ බවයි. නමුත් ඇයට ගුවන් යානයට ඇතුළු වීමට අවසර නොලැබිණි.
"Air India කාර්ය මණ්ඩලය මට කිව්වා මං පරක්කුයි කියලා, ආගමන කටයුතු ඉවරයි, ප්ලේන් එකට මගීන් ඇතුළත් කරන එක අවසන් කළා කියලා, ඒ හින්දා මට ගුවන් යානයට නැග ගන්න බැරි වුණා," ඇය බීබීසීයට පැවසුවාය. "මං ඒ අයට ගොඩක් පැහැදිලි කරලා ඉල්ලුවා, මගේ ජොබ් එක පවා නැතිවෙයි කියලා, ටිකට් එකේ සල්ලිත් නැති වෙයි කියලා මං පැහැදිලි කළා, නමුත් කවුරුත් ඇහුම්කන් දුන්නේ නෑ. මං ටිකට් එකේ සල්ලි රිෆන්ඩ් කරන්න කියලා ඉල්ලුවත් එයාලා ඒකත් ප්‍රතික්ෂේප කළා."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගුවන් තොටුපොළෙන් පිටව ආපසු නිවස බලා යන අතරතුර තේ පානය සඳහා නතර කළ අවස්ථාවේ යානය කඩා වැටී ඇති බව ඇයට දැන ගන්න ලැබිණි.
"අපි තේ බොන්න නැවතිලා අපේ සංචාරක නියෝජිතයාට කතා කළා ටිකට් එකේ සල්ලි ටික රිෆන්ඩ් කර ගන්නේ කොහොම ද කියාලා. ඒ වෙලාවේ තමයි අපිට අන්ක්ලේෂ්වර්වලින් කෝල් එකක් ආවේ, මං යන්න හිටිය ප්ලේන් එක කඩා වැටිලා කියලා," භූමි, හුස්ම හිරවෙන තරම් කම්පනයකින් පැවසුවාය. "අපි එහෙම්ම ම කෝවිලට ගිහිල්ලා දෙවියන්ට ස්තූති කළා... අහමදාබාද් රථවාහන තදබදය මගේ ජීවිතේ බේරුවා."
ලන්ඩන් බලා පිටත් වූ බෝයිං 787-8 ගුවන් යානයේ ඉන්දියානුවන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගාල ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි අතර ගුජරාට් හිටපු ප්‍රධාන අමාත්‍ය විජේ රූපාණි ද මගීන් අතර විය.
අනතුරට නිල හේතුව තවමත් තහවුරු කර නොමැත. මියගිය මුළු සංඛ්‍යාව 240කට අධිකය.
අනතුරින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දිවි ගලවා ගත් බව පොලිසිය ද පවසා තිබේ. දිවි ගලවා ගත් විශ්වාෂ්කුමාර් රමේෂ් වාර්තාකරුවන්ට මෙසේ පැවසීය: "යානය ගුවන්ගත වෙලා තත්පර තිහකට පස්සේ විශාල ශබ්දයක් එක්ක යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිද්ධ වුණා."














