නේපාල ගුවන් අනතුරින් නියමුවා පමණක් දිවි බේරා ගනී

The Saurya Airlines plane that crashed in Nepal on Wednesday 24 July.
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞර්යා ගුවන් යානයේ පුද්ගලයන් 19 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කෙරේ
    • Author, ඇනබල් ලියාංග්
    • Role, බීබීසී පුවත්

නේපාලයේ කත්මන්ඩු අගනුවරින් අද (ජුලි 24 වැනිදා) ගමන් ආරම්භ කර පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගුවන් නියමුවා මාරක ගුවන් අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වේ.

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පෝකාරා වෙත ගමන් කරමින් තිබූ සෞර්යා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේ ගුවන් යානයේ පුද්ගලයන් 19 දෙනෙකු පමණ සිට ඇත.

සෞර්යා ගුවන් සේවයේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මෙම ගුවන් යානයේ සිට ඇති අතර එය පරීක්ෂණ ගුවන් ගමනක නිරත වන අතරතුර අනතුරට ලක්ව තිබේ.

අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ යානය ගින්නෙන් සහ දුමෙන් වැසී ඇති අයුරු ය. සිද්ධියෙන් පසු ගිනි නිවන රථ සහ ගිලන්රථ එම ස්ථානයට පිටත් කර හැරුණි.

නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ සෙවීම් සහ ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයකට අනුව, යානය ට්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු, දේශීය වේලාවෙන් පෙරවරු 11:15 ට (GMT 05:30) මෙම අනතුර සිදුව තිබේ.

නිවේදනයේ දැක්වෙන්නේ යානය "දකුණට හැරී ධාවන පථයේ නැගෙනහිර දෙසට කඩා වැටී ඇති" බව ය.

 The Saurya Airlines plane that crashed in Nepal on Wednesday 24 July.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ගුවන් යානය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පොකාරා වෙත පරීක්ෂණ ගුවන් ගමනක යෙදී තිබුණි

"ගින්න පාලනය කර ඇති බවත්, මුදාගැනීමේ කටයුතු වහාම ආරම්භ කළ බවත්” නිවේදනයේ සඳහන් විය.

"මිනිසුන් 18 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන, තුවාල ලැබූ එක් අයෙකු බේරාගෙන රෝහලට ගෙන ගියා." නේපාල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මෙම මරණ පිළිබඳ බීබීසී නේපාල සේවය වෙත තහවුරු කළේය.

ගුවන් තොටුපළ නිලධාරියෙක් පැවසුවේ ගුවන් යානයෙන් "විශාල ශබ්ද කිහිපයක් ඇසුණු" බවයි.

නේපාලය කලක සිටම දුර්වල ගුවන් ආරක්ෂණ තත්ත්වය සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත. 2023 ජනවාරි මාසයේදී, යෙටි ගුවන් සේවයට අයත් යානයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 72 දෙනෙකු මිය ගිය අතර පසුව එහි නියමුවන් වැරදීමකින් විදුලිය විසන්ධි කිරීම අනතුරට හේතුවූ බව සඳහන් කෙරුණි.

සෞර්යා ගුවන් සමාගමෙහි වෙබ් අඩවියට අනුව Bombardier CRJ-200 ජෙට් යානා තුනකින් සමන්විත සිය යානා ඇනිය නේපාලය තුළ ගමනාන්ත පහකට ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.