ඩකා අගනුවරින් උග්‍ර විෂ සහිත සර්පයන් 350ක් මතු වෙයි: ඊට හේතුව කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, ADNAN AZAD
- Author, ජන්නතුල් තන්වී
- Role, බීබීසී බංග්ලා
ඔබ උදෑසන අවදි වන විට ඔබේ කාමරයේ ගිගිරි පොළඟෙකු (Rattlesnake) සිටින ආකාරය දැකීම හෝ ඔබේ ගරාජය තුළ සර්පයන් ශබ්ද කරනවා ඇසෙන ආකාරය මවාගන්න. එයට ඔබ කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්වාවි ද?
බංග්ලාදේශයේ අගනුවර වන ඩකාහි ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට පසුගිය මාස කිහිපය තුළ එවැනි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු විය.
පසුගිය මාස හතර තුළ ඩකාහි විවිධ ජනාකීර්ණ ප්‍රදේශවලින් විෂ සහිත සර්පයන් 300කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.
මිනිසුන්ගේ නිවාස, ගරාජ සහ මහල් ගොඩනැගිලිවල නව වන මහලේදී පවා සර්පයන් සොයාගෙන තිබේ.
ඒ අතර, නයි විශේෂ දෙකක් (Naja Kaouthia සහ Naja Naja), පොළොඟුන්, සහරා කරවලුන් විශේෂයක් වැනි විෂ සහිත සර්පයෝ වූහ.
වැසි කාලයේදී බංග්ලාදේශයේ සර්පයන් බහුලව දැකිය හැකි ය. ඒ, වැසි ජලය සර්පයන් තම වාසස්ථානය ලෙස සාදා ගන්නා සිදුරුවලට ඇතුළු වූ විට, ඔවුන් නවාතැන් සඳහා වියළි ස්ථාන සොයමින් උස් ස්ථාන සහ මිනිස් ජනාවාස හෝ නිවාසවලට ඇතුළු වන බැවිනි.
නමුත් ඩකා වැනි ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි විෂ සහිත සර්පයන් හමුවීම සම්බන්ධයෙන් ඇතැම් පර්යේෂකයන් පුදුමය පළ කර ඇති අතර තවත් සමහරු එය සාමාන්‍ය දෙයක් යැයි විශ්වාස කරති.
චිතගොං විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ෆරීඩ් අහ්සාන් මෙම කාරණය විස්තර කළේ 'අසාමාන්‍ය හා කනස්සල්ලට කරුණක්' ලෙස ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඒක අසාමාන්‍ය යි. ඩකා නගරයේ පඳුරු සහිත පරිසරයක් තියෙනවා නම් සර්පයන් ඉන්න පුළුවන්. නමුත් මෙතරම් සර්පයන් පිරිසක් හිටියේ කොහොම ද කියන එක කනස්සල්ලට කරුණක්," අහ්සාන් බීබීසී බංග්ලා සේවයට පැවසීය.
ඩකා නුවරින් මීට පෙර විෂ සහිත සර්පයන් කිහිප දෙනෙකු හමු වී ඇතත්, මෙතරම් විශාල සර්පයන් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සඳහන් කළේ ය.
චිතගොං වෛද්‍ය විද්‍යාලයේ විෂ පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ සහකාර මිසනූර් රහ්මාන් විශ්වාස කරන්නේ, මිනිසුන් වාසස්ථාන නිර්මාණය කිරීමේදී ජල මාර්ග සහ ඇළ මාර්ග වැසී යාම නිසා සර්පයන්ගේ වාසස්ථානවලට අර්බුදයක් ඇති වී ඇති බව ය. ඒ නිසා සර්පයන් මිනිසුන්ගේ නිවෙස්වලට ඇතුළු වීමට පටන්ගෙන තිබේ.
බංග්ලාදේශ සත්ව ශුභසාධන සංගමය නමැති සංවිධානයක් ඩකාහි විවිධ ස්ථානවලින් මෙම සර්පයන් බේරා ගනිමින් සිටියි.
මෙම සංවිධානයේ කැඳවුම්කරු අද්නාන් අසාද් පැවසුවේ, පසුගිය මාස හතර තුළ සර්පයන් 351 දෙනෙකු බේරාගෙන ඇති බව ය. මෙයින් විෂ නොවන සර්පයන් සිට ඇත්තේ තිදෙනෙකු පමණක් වන අතර ඉතිරිය විෂ සහිත සර්පයෝ වෙති.
කෙසේ වෙතත්, වනජීවී අපරාධ පාලන ඒකකයේ වනජීවී පරීක්ෂක අබ්දුල්ලා අස් සාදික් බීබීසී බංග්ලා වෙත පැවසුවේ, ඩකාහි එවැනි සර්ප උවදුරක් පිළිබඳව ඔවුන්ට කිසිදු තොරතුරක් නොමැති බව ය.
මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීම සඳහා එම සංවිධානය අවසරයක් පවා ලබාගෙන නොමැති බව ද සාදික් පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, ADNAN AZAD
වැඩි වශයෙන් සර්පයන් හමුවූ ප්‍රදේශ මොනවා ද?
ඩකාහි බනාස්රී, ආෆ්තාබ් නගර්, මොහම්මද්පූර්, බසීලා, උත්තරා 18 වන කොට්ඨාසය, හිල්ගෝන්, කජූකේත්, මිර්පූර් - 2, නිකේතන්, උත්තරා ඛාන් සහ දක්ෂිණ ඛාන් යන ප්‍රදේශවලින් විෂ සහිත සර්පයන් මෙතෙක් සොයාගෙන තිබේ.
උත්තරාහි 18 වන කොටසේ රාජුක් තට්ටු නිවාස ව්‍යාපෘතිය ආශ්‍රිත ප්‍රදේශයෙන් වැඩි ම සර්පයන් සංඛ්‍යාවක් හමු වී තිබිණි.
වැඩි ම සර්පයන් ප්‍රමාණයක් දෙවනුවට වාර්තා වී ඇත්තේ, බනාස්රී ප්‍රදේශයෙනි. ඒ අතර පසුගිය සතියේ ඛිල්ගොන් ප්‍රදේශයෙන් වැඩි වශයෙන් සර්පයන් වාර්තා වී තිබේ.
"උත්තරාවල 18 වන කොට්ඨාසයේ රාජුක් මහල් නිවාසයෙන් වැඩි ම සර්පයන් ගණනක් අපට හමු වුණා. අපි හත් වන සහ නව වන මහල්වලින් සර්පයන් බේරා ගත්තා. මෙහේ ගොඩනැගිලි 11කින් සර්පයන් බේරාගත්තා," බංග්ලාදේශ සත්ව ශුභසාධන සංගමයේ කැඳවුම්කරු අද්නාන් අසාද් බීබීසී බංග්ලා වෙත පැවසීය.
සර්පයන් මෙතරම් උස ගොඩනැගිල්ලකට ඇතුළු වූයේ කෙසේ දැයි විමසූ විට, අසාද් අනුමාන කළේ සර්පයන් හමු වූ ගොඩනැගිලිවල ගේට්ටු අසල උස, හොඳින් වැඩුණු ගස් ඇති බැවින් මෙම ගස් සර්පයන්ට ඉහළට නැගීමට ස්වභාවික මාර්ගයක් සපයන්නට ඇති බව ය. එමගින් ගොඩනැගිල්ලේ ඉහළ මහලට ළඟා වීමට ඉඩ සලසයි.
සොයාගත් සර්පයන් අතරින් වඩාත් සුලභව හමුවූයේ නාග විශේෂයක් වන Naja Kaouthia බව අසාද් පැවසුවේ ය.
අල්ලාගත් සර්පයන් 351කින් 200ක් Naja Kaouthia නාගයන් බව ඔහු පැවසීය.
පසුගිය දින දෙක තුළ කිල්ගාඕන්හි නිවාස කිහිපයකින් එම වර්ගයේ සර්පයන් තිස් අට දෙනෙකු බේරාගෙන ඇති බව අසාද් පැවසීය.
එයට පිරිමි සහ ගැහැනු (මව්) නාගයන් මෙන් ම සර්ප පැටවුන් ද ඇතුළත් වේ.
"පෙරේදා, කිල්ගාඕන් ගෙදරක කාමර තුනක මුළු බිම ම කඩලා මව් සර්පයා සොයා ගත්තා. මම එක ම නිවසින් විශාල සර්පයන් දෙදෙනෙක්, පැටවුන් හත් දෙනෙක් සහ පද්මගෝක්‍රා බිත්තර දහඅටක් සොයා ගත්තා. ඊයේ, මට එක ම නිවසින් ඒ නයින්ගේ 18ක් හමු වුණා," අසාද් පැවසීය.
ඊයේ සර්පයන් විසින් නිවෙස් ආක්‍රමණය කරන ලද නිවැසියන් අද නැවතත් වර්ධනය වූ සහ සර්ප පැටවුන් යන දෙවර්ගය ම දුටු බව වාර්තා කළ බව අසාද් පැවසුවේ ය.
සර්පයන් බේරා ගැනීමට නැවත එහි යන බව ඔහු පැවසීය.
චිතගොං විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ෆරීඩ් අහ්සාන් පැවසුවේ, "පද්මගෝක්‍රා සර්පයා ප්‍රධාන වශයෙන් ජලයට ප්‍රිය කරන සර්පයෙක්. උන් ගංගා, ජල මාර්ග, ඇළ මාර්ග සහ පොකුණුවල ජීවත් වීමට කැමැත්තක් දක්වනවා. කොහොම වුණත්, මේ සර්පයා ජලය අසල පඳුරු සහ සිදුරුවල ද දකින්න ලැබෙනවා," යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, ADNAN AZAD
මේ කාලයේ ඩකාහි සර්පයන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඇයි?
පසුගිය මාස හතර තුළ ඩකා නුවරින් හමු වූ සර්පයන් 350ක් පිළිබඳව බොහෝ ප්‍රදේශ වාසීන් කනස්සල්ලට පත්ව සිටිය ද, සර්ප දෂ්ට කිරීම් සිදුව ඇත්තේ කිහිපයකි.
කෙසේ වෙතත්, විෂ සහිත සර්පයන් මෙතරම් විශාල සංඛ්‍යාවක් හදිසියේ ම දක්නට ලැබෙන්නේ මන්දැයි චිතගොං වෛද්‍යවිද්‍යාලයේ විෂ පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ සහකාර මිසානූර් රහ්මාන්ගෙන් විමසූ විට, ඔහු පැවසුවේ, මිනිසුන් සර්පයන්ගේ වාසස්ථාන විනාශ කර ඇති නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ය.
"සර්පයන් හමුවෙන්නේ මොන ප්‍රදේශවල ද කියලා තව ම හොයාගන්න තියෙනවා. උන් හමුවන සෑම ප්‍රදේශයක ම, ජල මාර්ග, ඇළ මාර්ග සහ කාණු පුරවලා මිනිස්සු වාසස්ථාන ගොඩනගාගෙන තියෙනවා. සර්පයන් උන්ගේ ස්ථානවල ම ඉන්නවා, මෙතන වෙලා තියෙන්නේ අපි උන්ට අයිති වාසස්ථානයට ගිහින් තියෙන එක," රහ්මාන් පැවසීය.
ඔහුට අනුව, මෙතරම් සර්පයන් දැකීම සාමාන්‍ය දෙයකි. මන්ද මීට පෙර බංග්ලාදේශයේ සර්පයන් බේරා ගැනීමේ සංවිධාන තිබුණේ ස්වල්පයකි. මිනිසුන් සර්පයන් දුටු විගස මරා දැමීම සිදු විය නමුත් දැන් සර්පයන් බේරා ගැනීමේ සංවිධාන රාශියක් පිහිටුවා තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, 'සර්පයන් සම්බන්ධ සිදුවීම්' ප්‍රසිද්ධියට පත්වීමට ප්‍රධාන හේතුව මෙය බව මෙම පර්යේෂකයා විශ්වාස කරයි.
මෙම සර්පයන් දක්නට ලැබෙන මාස ඔවුන්ගේ අභිජනන සමය යි. එබැවින්, සර්පයන් බේරා ගන්නා සෑම තැනක ම, බොහෝ පැටවුන් සහ සර්ප බිත්තර ද දක්නට ලැබේ.
බංග්ලාදේශ සත්ව ශුභසාධන සංගමයේ කැඳවුම්කරු අසාද් පැවසුවේ, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස Naja Kaouthia නයින්ගේ අභිජනන සමය වන බැවින් නොවැම්බර් මාසය පුරා ම තවත් සර්පයන් හමුවීමට ඉඩ ඇති බව ය.
"අගෝස්තු මාසය නාගයාගේ අභිජනන කාලය නිසා සර්පයන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. ඒ මාසයේ අපි පැටවුන් 27 දෙනෙකු සහ Naja Kaouthia විශේෂයේ නැයිනක් ඇතුළු සර්පයන් 28 දෙනෙකු කූඩුවකින් බේරා ගත්තා," අසාද් පැවසීය.
මිනිස් වාසය සඳහා ජල මාර්ග, ඇළ මාර්ග, අගල් සහ වළවල් පිරවීම හේතුවෙන් සර්ප වාසස්ථාන අර්බුදයකට ලක්ව ඇත.
සිය අත්දැකීම් අනුව ඔහු පවසන්නේ, "මීට වසර පහකට හයකට හෝ හතකට පෙර, උත්තරා දියාබාරිවල නේවාසික ගොඩනැගිලි තිබුණේ නෑ. වතුර පාරක් තිබුණේ. ආෆ්තාබ් නගර්වලත් තත්ත්වය එහෙමයි. මේ වතුර පාර සර්පයන්ගේ වාසස්ථානය වුණා. මිනිස්සු තමන්ගේ ම නිවාස හදාගන්න මෙහෙ පදිංචි වෙලා තියෙනවා."
"මේ නිසා සර්පයන් කොහේ යන්න ද? සර්පයන් ජීවත්වෙන්න තියෙන ඉඩ ක්‍රමයෙන් කුඩා වෙලා. එහි ප්‍රතිඵලයක් විදිහට උන් ගොඩනැගිලි ඉදිකර නැති අහුමුළුවලට. උන් ඒ ප්‍රදේශයේ සිදුරුවල තමන්ගේ වාසස්ථාන හදාගෙන තියෙනවා," අසාද් පැවසීය.
මේ නිසා, දින තුනක් හෝ හතරක් අඛණ්ඩව තද වැසි ඇද හැලෙන විට සිදුරු ජලයෙන් පිරී යන අතර, සර්පයන් පිටතට පැමිණ වියළි ස්ථාන සොයා මිනිසුන්ගේ නිවෙස්වලට ඇතුළු වන බව අසාද් පවසයි.
මේ කාලයේ සර්පයන් බහුල වී ඇත්තේ මේ නිසා ය.

ඡායාරූප මූලාශ්‍රය, ADNAN AZAD
බේරාගත් පසු සර්පයන්ට කරන්නේ කුමක් ද?
2012 බංග්ලාදේශ වනජීවී පනතට අනුව, වන සතුන් අල්ලා මරා දැමීම දඬුවම් ලැබිය හැකි වරදකි.
නීතියට අනුව වන සතුන් හෝ සර්පයන් බේරා ගැනීමෙන් පසු ඔවුන් ස්වභාවධර්මයට මුදා හැරිය යුතු බව විෂ පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂක රහ්මාන් පැවසීය.
බේරාගත් සර්පයා ළඟ තබා ගැනීමට කිසිවෙකුට අවසර නැති බව ඔහු පැවසුවේ ය.
කෙසේ වෙතත්, පර්යේෂණ සඳහා සර්පයන් තබා ගැනීමට විෂ පර්යේෂණ මධ්‍යස්ථානයට පමණක් අනුමැතියක් ඇති බව රහ්මාන් පෙන්වා දුන්නේ ය.
මේ අතර, ඩකා අගනුවරින් බේරා ගත් සර්පයන් කොහේ දැයි විමසූ විට, බේරා ගත් පසු, බේරා ගත් සර්පයන් ප්‍රදේශයෙන් බැහැර ස්වභාවික ස්ථානයකට මුදා හැර ඇති බව බංග්ලාදේශ සත්ව ශුභසාධන සංගමයේ කැඳවුම්කරු අසාද් පැවසුවේ ය.
මෙම සර්පයන් සාමාන්‍යයෙන් වනාන්තර ප්‍රදේශවලට මුදා හරින අතර එහිදී ඔවුන්ට තමන්ගේ ම පරිසරය සොයා ගනිමින් මිනිසුන් සමග සම්බන්ධ වීමෙන් වැළකී සිටිය හැකි බව ඔහු පැවසීය.
ඒත් සමග ම සර්පයන් බේරා ගැනීමේ මෙහෙයුම සහ කොපමණ සර්පයන් හමු වූවා ද යන්න පිළිබඳව ඔවුන් විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ලැබූ බව අසාද් පවසයි.
කෙසේ වෙතත්, සර්පයන් බේරා ගැනීමේ සියලු අවස්ථා සැමවිට ම වාර්තා කිරීම දුෂ්කර බව ද ඔහු සඳහන් කළේ ය.
ඩකාහි විවිධ ප්‍රදේශවලින් හමු වූ සර්පයන් නගරයෙන් පිටත විවිධ වනාන්තරවලට මුදා හැර තිබේ.














