රවී රොයිස්ටර්: දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත සලකුණක් තැබූ ශ්‍රී ලාංකික තරුණ සංගීතවේදියා

රවී රොයිස්ටර් උපන් ගම මාතර වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ, මාතර රාහුල විද්‍යාලයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Ravi Royster

ඡායාරූප ශීර්ෂ වැකිය, රවී රොයිස්ටර් උපන් ගම මාතර වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ, මාතර රාහුල විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා සිනමා ගීත ඉතිහාසය පිරික්සීමේදී අපට පෙනී යන විශේෂ කරුණක් නම් භාරතීය තනු අනුසාරයෙන් සිංහල ගීත නිර්මාණය කිරීම ය.

මුල් යුගයේදී සිංහල සිනමා ගීත බොහොමයක් නිර්මාණය කෙරුණේ, භාරතීය තනු අනුසාරයෙනි. ස්වතන්ත්‍ර ගීත නිර්මාණය වූයේ, ඉතා අල්ප වශයෙනි.

එවන් තත්ත්වයක පැවති සිංහල සංගීතය මේ වන විට ජාත්‍යන්තර මට්ටමට ඉහළට එසවුණු අවස්ථා රැසක් තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ගී තනු ඉන්දීය චිත්‍රපට ගීත සඳහා භාවිත කරන තත්ත්වයක් උදා වී ඇත.

මෙහි නවතම ජයග්‍රහණය ලෙස වාර්තා වූයේ, ශ්‍රී ලාංකික යොවුන් ගායන ශිල්පී සහ සංගීත නිර්මාණ ශිල්පී රවී රොයිස්ටර්ගේ ගී තනුවක් දකුණු ඉන්දීය දැවැන්ත සිනමා පටයක් සඳහා යොදා ගැනීම ය.

විනායක් වෛතියනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රෝමියෝ' ලෙස නම් කර ඇති එම සිනමා පටය දෙමළ සහ තෙළිඟු යන භාෂා දෙකෙන් ම රචනා කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Romeo

ඡායාරූප ශීර්ෂ වැකිය, විනායක් වෛතියනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රෝමියෝ' ලෙස නම් කර ඇති එම සිනමා පටය දෙමළ සහ තෙළිඟු යන භාෂා දෙකෙන් ම රචනා කර තිබේ.

විනායක් වෛතියනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'රෝමියෝ' ලෙස නම් කර ඇති එම සිනමා පටය දෙමළ සහ තෙළිඟු යන භාෂා දෙකෙන් ම රචනා කර තිබේ.

මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ ජනප්‍රිය නළු විජේ ඇන්තනි සහ මිල්නාලිනී රවී දෙපළ ය.

එම සිනමා පටයේ ප්‍රධාන ගීතය වන 'වෙතල' (Vethala) නමැති ගීතය මාර්තු 13 වන දා යූටියුබ් ඔස්සේ එළි දැක්වූ අතර, දින 4ක් ගත වීමටත් පෙර මිලියන 2.2ක වාර ගණනක් එය නරඹා තිබේ.

එය ඉන්දියාව තුළ යූටියුබ්හි Trending for music යටතේ 11 වන ස්ථානයේ ද පසු විය.

රවි රොයිස්ටර්ගෙන් ම අහමු

දකුණු ඉන්දීය දැවැන්ත සිනමා පටයක ප්‍රධාන ගීතයේ තනු නිර්මාණ ශිල්පියා මෙන් ම ගායන ශිල්පියා බවට පත්වීමට හිමි වූ අවස්ථාව සම්බන්ධයෙන් අපි රවී රොයිස්ටර්ගෙන් අදහස් විමසීමු.

"විජේ ඇන්තනි සර්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් තමයි මට කතා කළේ, මගේ සිංහල සින්දුව බලලා. මගේ නම්බර් එක හොයාගෙන එයා මගේ වට්ස්ඇප් එකට මෙසේජ් එකක් දාලා තිබුණා. එයා කියලා තිබුණා මගේ සින්දුවේ තනුව විජේ සර්ගේ ඊළඟ චිත්‍රපටයට ගන්න කැමතියි කියලා. ඊට පස්සෙ අපි සාකච්ඡා කරලා මම ඉන්දියාවට ගිහින් වැඩේ ඉවර කළා," ගායන ශිල්පී රවී රොයිස්ටර් බීබීසී සිංහල සේවයට පැවසීය.

එවැනි දැවැන්ත අවස්ථාවක් හිමි වීමට යන බව මුලින් ම දැන ගත් අවස්ථාවේ ඔහුට ඇති වූ හැඟීම විස්තර කළ රවී රොයිස්ටර් මෙසේ ප්‍රකාශ කළේ ය.

"ඇත්තට ම මම බලාපොරොත්තු වුණේ නෑ මේ වගේ දෙයක්. මගේ හීනයක් තිබුණා මෙහෙම වැඩකට දායක වෙන්න. ඒත් මෙතරම් ඉක්මනට මේ වගේ දෙයක් මට ලැබෙයි කියල හිතුවේ නෑ. ඒ මොහොතේ ඇති වුණ වචනවලින් විස්තර කරන්න අමාරුයි."

රෝමියෝ චිත්‍රපටයේ 'වෙතල' ගීතය දෙමළ සහ තෙළිඟු බසින් ගැයීමට ද සිදු වූයේ, රවී රොයිස්ටර්ට ය.

ඡායාරූප මූලාශ්‍රය, Ravi Royster

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝමියෝ චිත්‍රපටයේ 'වෙතල' ගීතය දෙමළ සහ තෙළිඟු බසින් ගැයීමට ද සිදු වූයේ, රවී රොයිස්ටර්ට ය

දෙමළ සහ තෙළිඟු බසින් ගීතය ගැයූ හැටි

රෝමියෝ චිත්‍රපටයේ 'වෙතල' ගීතය දෙමළ සහ තෙළිඟු බසින් ගැයීමට ද සිදු වූයේ, රවී රොයිස්ටර්ට ය.

ඔහු එම භාෂා දෙක ම නොදැන සිටි අතර ගීතය ගායනා කිරීම තමන්ට අභියෝගයක් වූ බව ඔහු සඳහන් කළේ ය.

"මට ලොකු අභියෝගයක් වුණා දෙමළ සහ තෙළිඟු භාෂාවලින් සින්දුව ගායනා කරන එක. මම ඒ වචන ශබ්ද කරන හැටි සිංහලෙන් ලියාගෙන තමයි ගීතය ගායනා කළේ. කොහොමහරි ආධුනික බවක් නොදැනෙන්න මට ගායනා කරන්න පුළුවන් වුණා කියලා හිතනවා."

"මේ තනුව මගේ ම නිර්මාණයක්. කිසි ම සංගීතයක් අනුසාරයෙන් මේ තනුව නිර්මාණය කළේ නැහැ.

ඡායාරූප මූලාශ්‍රය, Ravi Royster

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ තනුව මගේ ම නිර්මාණයක්. කිසි ම සංගීතයක් අනුසාරයෙන් මේ තනුව නිර්මාණය කළේ නැහැ" රවී පැවසීය

රවී රොයිස්ටර් මෙතෙක් පැමිණි මග

රවී රොයිස්ටර් උපන් ගම මාතර වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ, මාතර රාහුල විද්‍යාලයෙනි.

"මම සංගීතයට නැඹුරු වුණේ පාසල් කාලයේ ඉඳලා ම යි. ඊට පස්සේ උසස් අධ්‍යාපනයට මම ඉන්දියාවේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලයට ගියා. එහෙදි මම ඉගෙන ගත්තේ නාට්‍ය හා රංග කලාව. උප විෂයක් විදිහට සම්භාව්‍ය ගායනය කළා. මගේ පවුලේ සංගීතයට සම්බන්ධ කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒත් පොඩි කාලෙ ඉඳලා මම සංගීතයට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඒ නිසා මට පොඩි කාලෙ ඉඳලා අවශ්‍ය වුණේ, සංගීතඥයෙක් වෙන්න."

ඔහු මුල් අවධියේදී යූටියුබ් ඔස්සේ ගීත කිහිපයක් නිකුත් කර තිබිණි. පසුව දෙරණ රූපවාහිනියේ ඩ්‍රීම්ස්ටර් 8 වන වැඩසටහනේ 5 වන ස්ථානය දිනා ගනිමින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ යම් ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ ය.

මෑතකදී ඔහු ගායනා කළ ‘හමාර බණවර’ ගීතයට විශාල රසික ප්‍රතිචාරයක් හිමි විය.

ඔහු මුල් අවධියේදී යූටියුබ් ඔස්සේ ගීත කිහිපයක් නිකුත් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Ravi Royster

'හොඳ ප්‍රවණතාවක්'

භාරතීය ගී තනු අනුසාරයෙන් ගීත නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ තනු භාරතීය නිර්මාණ සඳහා භාවිත කිරීම "හොඳ ප්‍රවණතාවක්" බව රවී රොයිස්ටර්ගේ අදහස යි.

"මේ තනුව මගේ ම නිර්මාණයක්. කිසි ම සංගීතයක් අනුසාරයෙන් මේ තනුව නිර්මාණය කළේ නැහැ. ඒ නිසා මට මේ ගැන ගොඩක් සතුටුයි. ඉස්සර අපි ගත්තේ භාරතීය තනු. දැන් ඔවුන් අපේ තනු අරගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවක්."

ඔහු ප්‍රකාශ කළේ, රෝමියෝ චිත්‍රපටයෙන් පසු තමන්ට තවත් දකුණු ඉන්දීය චිත්‍රපට දෙකක් සඳහා ගීත නිර්මාණය කිරීමට ආරාධනා ලැබී ඇති බව ය.

ඉදිරියේදී තවත් සාර්ථක නිර්මාණ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.