සරිත් - සුරිත්: ‘සල්ලි’කොඩිගහ යටට ආවේ කොහොමද?

ඡායාරූප මූලාශ්‍රය, Sarith and Surith Jayawardana
සරිත් ජයවර්ධන සහ සුරිත් ජයවර්ධන එතරම් හුරුපුරුදු නම් දෙකක් නොවූවත්, සරිත් - සුරිත් යන යුගල නාමය අතිශයින් ජනප්‍රිය වූයේ අද ඊයේ නොවේ.
'පොඩ්ඩන්ට පුළුවන්' රූපවාහිනී රියැලිටි වැඩසටහන හරහා කුඩා කල සිට ම ශ්‍රී ලාංකික සංගීත රසිකයින්ගේ දැඩි අවධානයකට පාත්‍ර වූ සරිත් සහ සුරිත් නිවුන් සොහොයුරෝ 'සල්ලි' ගීතය නිසා තවත් ජනප්‍රියත්වයට පත්ව සිටිති.
මේ වන විට විදෙස් සංචාර රැසකට ඇරයුම් ලබන සරිත් - සුරිත් සුසංයෝගය 'නිව්ස් අධිමාත්‍රා ඔන් ටුවර්' යනුවෙන් ප්‍රසංග මාලාවක් සංවිධානය කර තිබේ.
එහි පළමු ප්‍රසංගය සිකුරාදා (සැප්: 22) නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී පැවති අතර වෙලිංටන් සහ ඔක්ලන්ඩ් යන නගරවල ද සංගීත ප්‍රසංග දෙකක් පැවැත්වීමට නියමිතය.
සරිත් ජයවර්ධන, බීබීසී සිංහල සේවය සමග දුරකතනය ඔස්සේ සාකච්ඡාවට එක්වූයේ, නවසීලන්තයේ සිට ය.

ඡායාරූප මූලාශ්‍රය, Sarith and Surith Jayawardana
තවමත් 22 වන වියේ පසු වන සරිත් සහ සුරිත් විදෙස් රටවල සංගීත ප්‍රසංග සඳහා වැඩි වශයෙන් ඇරයුම් ලබන ශ්‍රී ලාංකික සංගීත ශිල්පීන් දෙදෙනෙකි.
"ඇත්තට ම ගොඩක් සතුටුයි අපට මේ වගේ ආදරයක් ලැබෙන එක ගැන. ගොඩක් රටවලින් මේ වෙනකොට අපට ආරාධනා ලැබිලත් තියෙනවා. ලැබෙමිනුත් පවතිනවා. මට ඊටත් වඩා සතුටු කොළඹ වගේ ප්‍රධාන නගරවලින් විතරයි අපට ඉස්සර ආරාධනා ලැබුණේ. මේ වෙනකොට ඈත ප්‍රදේශවලින් පවා අපට ආරාධනා ලැබෙනවා. ඒ කියන්නේ මේ වෙද්දී අපේ රටේ සෑම ජන කොටසක ම ආදරය අපට ලැබෙමින් පවතිනවා කියන එකයි. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා වගේ ම ගොඩක් සතුටුයි," සරිත් ජයවර්ධන පැවසීය.
අධ්‍යාපන ගමන
සරිත් සහ සුරිත් මාතර උපත ලබා ඇති අතර ඔවුන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ, මාතර, රාහුල විද්‍යාලයෙනි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මුලින් ම ඒගොල්ලො ගියේ මාතර රාහුල විද්‍යාලයට. 8 ශ්‍රේණිය වෙනකම් ඒකට ගියා. CHOGM සමුළුවේ ඒගොල්ලෝ සංගීත ප්‍රසංගවලට සහභාගි වුණාට පස්සේ කොළඹ ඉස්කෝල ගණනාවකින් ආරාධනා ලැබුණා. ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ රාජකීය, කොළඹ ආනන්ද වගේ ඉස්කෝල ඒ අතර තිබුණා. මගේ තාත්තා කැමති වුණේ, ආනන්දයට දාන්න. ඒ නිසා ආනන්ද විද්‍යාලයට ඇතුළු කළා," සරිත්ගේ සහ සුරිත්ගේ පියා වන ජගත් ජයවර්ධන පැවසීය.
"මම හිතාගෙන හිටියෙ පුතාලා දෙන්නාව කොළඹ බෝඩිමක නතර කරන්න. මම ඒ කාලේ රාහුල විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒත් ආනන්දෙ විදුහල්පතිතුමා කිව්වා ඒක හරි යන්නෙ නෑ. ඔයාත් ආනන්දෙට මාරුවක් හදා ගන්න කියලා. ඒ අනුව තමයි මමත් ආනන්දයේ පත්වීම ගත්තේ."
සරත් සහ සුරිත් සංගීතයට යොමු කිරීම සම්බන්ධයෙන් තමන්ට පවුලේ සාමාජිකයින්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ බව ද ඔහු පැවසීය.
"පොඩි කාලෙ ඉඳලා ඒගොල්ලො මියුසික් තමයි වැඩිපුර කළේ. මම ඉතින් රිස්ක් එකක් අරගෙන, යම් යම් අවස්ථාවල පවුලේ සාමාජිකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් දෝෂ දර්ශනයට ලක් වෙමින් තමයි මේක කරගෙන ගියේ. නමුත් අද වෙනකොට මේගොල්ලො ඉන්න තැන බලලා සතුටු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ තරම් දුරක් ආවේ ඒක ගොඩක් ආසාවකින් කරපු නිසා. කෙනෙකුට තමන් කැමති දේ වෘත්තිය විදිහට කරන්න ලැබෙනවා කියන එක විරල දෙයක්. ඒ නිසා මම තවත් ඒකට උදව් කරනවා."

ඡායාරූප මූලාශ්‍රය, Sarith and Surith Jayawardana
මේ අතර, කුඩා කාලයේ සිට ම සංගීතයට යොමු වීමට බලපෑ කරුණු පිළිබඳව සරිත් ජයවර්ධන අදහස් පළ කළේ ය.
"අපේ තාත්තාට ඒ කාලේ සංගීත කණ්ඩායමක් තිබුණා. ඒ නිසා අපේ ගෙදර හැම තැන ම තිබුණේ, සංගීත භාණ්ඩ. ඒ වගේ ම ගොඩක් දවස්වල බෑන්ඩ් එකේ පුහුණුවීම් තිබුණා. ඉතින් අපට හැම වෙලාවෙ ම ඇහුණෙ සංගීතය විතරයි. ඒ නිසා අපිත් සංගීත භාණ්ඩ වාදනය කරන්න පුරුදු වුණා."
2012 වසරේදී 'පොඩ්ඩන්ට පුළුවන්' රියැලිටි වැඩසටහනේ පළමු ස්ථානය දිනා ගත් ඔවුන් දෙදෙනා අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කළ බවට සාක්ෂි දරන්නේ, ඔවුන් දෙදෙනා ම උපාධි අපේක්ෂකයින් ලෙස හැදෑරීම්වල නිරතව සිටීමයි.
"අපට ලොකු අරමුණු සැලසුම් නෑ. රසිකයින්ගේ ආදරය දිනා ගන්න පුළුවන් ගීත නිර්මාණය කරමින් සංගීත ක්ෂේත්‍රය තුළ යම් වෙනසක් කරන්නයි අපට අවශ්‍ය. අපි අද මෙතන ඉන්නේ අපට ආදරය කරන රසික පිරිස නිසා. ඒ රසික පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තියෙන බව අපට දැනෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි," සරිත් පැවසීය.
"තරුණ නිර්මාණකරුවන් අතර යම් විනයක් ඇති කර ගැනීම අවශ්‍යයි"
"දක්ෂ තරුණ නිර්මාණකරුවො ගොඩක් ඉන්නවා අපේ රටේ. ඔවුන්ට ඉදිරියට එන්න මාර්ගත් තියෙනවා. හැබැයි ඔවුන් ඉදිරියට එන්න ඕනෙ සංස්කෘතියත් එක්ක ගැලපෙන විදිහට යම් විනයක් ඇතිවයි. වීඩියෝ නිර්මාණවලදීත් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි සංගීතඥයො විදිහට ගීත නිර්මාණය හොඳින් කරන්න ඕන. ඒකට ගැලපෙන්න තමයි අනිත් සියල්ල කරන්න ඕනෙ," සරිත්ගේ අදහසයි.

ඡායාරූප මූලාශ්‍රය, Sarith and Surith Jayawardana
'සල්ලි' සහ 'කොඩි ගහ යට'
මේ දිනවල අතිශය ජනප්‍රිය ගීතයක් වන සරිත් - සුරිත්ගේ 'සල්ලි' ගීතය සහ 'කොඩි ගහ යට' ටෙලි නාට්‍යය අතර සම්බන්ධය ගැන බොහෝ දෙනෙක් කතා කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සරිත් ජයවර්ධන 'සල්ලි' ගීතයේ පසුබිම් කතාව ද පැහැදිලි කළේය.
"ඔය සින්දුව මගේ තාත්තා ලිව්වේ ගොඩක් කලින්. 2002දී විතර. ඒත් ඒකට මෙලඩි එකක් දාලා, මියුසික් කරලා මම සින්දුව එළියට දැම්මේ මෑතකදී. ඒක ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳ ගත්තා."
කෙසේ වෙතත්, මෙම ගීතය 'කොඩි ගහ යට' නාට්‍යය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් නොවන බව ඔහු අනාවරණය කළේය.
"අපි දෙන්නා ම කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ රසිකයෝ. සින්දුවේ අදහසත් සල්ලි ගැන නිසා අපට හිතුණා ඒ සින්දුව නාට්‍යයත් එක්ක ක්‍රොස් ඕවර් එකක් කරන්න. ඒක යෝජනා කළා ම ජගත් මනුවර්ණ අයියා අපට අවස්ථාවක් දුන්නා ඒකට. එහෙමයි ඒක ඒ නාට්‍යයත් එක්ක සම්බන්ධ වුණේ."
'සල්ලි' ගීතය Sarith and Surith යූටියුබ් නාලිකාව තුළින් එක් කෝටි විස හය ලක්ෂයකට අධික වාර ගණනක් මේ වන විට නරඹා තිබේ.
ඔවුන් දෙදෙනා 'සල්ලි' ගීතයට අමතරව, 'මායාවී', 'මල් කැකුළක්', 'අපට රැක දෙන්න' ආදී ගීත රැසක් නිර්මාණය කර ඇත.












