ලන්දේසින් ගෙන ගිය කෞතුක වස්තු නැවතත් ශ්‍රී ලංකාවට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සියවස් කිහිපයකට පෙරාතුව ඔවුන්ගේ බලපරාක්‍රමය අනෙකුත් අසල්වාසී රටවලට වඩා වැඩිකරගනු වස් යාත්‍රාවල නැගී පෙරදිග, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව බලා යාත්‍රා කළ යුරෝපීයයන්, එම මහද්වීපවල බොහෝ රටවල් ගණනාවක් යටත් කරගැනීමට සමත් වූයේ ඔවුන් ඒ වන විට ළඟා කරගෙන තිබූ යම් යම් තාක්ෂණික දැනුම ද උපයෝගී කරගෙන ය.
එම රටවල් යටත් විජිතයන් බවට පත් කරගත් ඔවුහු ඒවායෙන් ඔවුන්ගේ මවුරටවලට ධනය රැගෙන ගියා පමණක් නොව, බොහෝ රටවල්වල සංස්කෘතිය හා දැඩිව බැඳී පැවති වටිනා භාණ්ඩ, පුස්තකයන් මෙන් ම ඇතැම් විට ශුද්ධ වස්තූන් ද රැගෙන ගිය හ.
යටත් විජිතවාදය අවසන් වී සියවසකට ආසන්න කාලයක් ගත වී ඇතිමුත් තවමත් එකල යටත්විජිතවලට අයත් වස්තූන් යුරෝපීය රටවල කෞතුකාගාරයන්හි ප්‍රදර්ශන භාණ්ඩ වශයෙන් තබා තිබේ.
ශ්‍රී ලංකාව පෘතුගීසීන් (1505), ලන්දේසීන් (1658) සහ ඉංග්‍රීසීන් (1796) යන යුරෝපීය ජාතීන් තුනෙහිම යටත් විජිතයක් බවට පත්වී තිබුණි.
එවකට ලංකාවේ සිටි පෘතුගීසි එළවා දමා 1658 දී බලය තහවුරු කරගන්නා ලන්දේසීහු 1796 දී ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගන්නා තෙක් වසර 156ක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සහ තවත් ප්‍රදේශ කිහිපයක බලය හිමිකරගෙන සිටිය හ.
ලන්දේසීන් ශ්‍රී ලංකාවේ බලය ලබා ගන්නේ පෘතුගීසීන් එළවා දැමීමට රාජාණ්ඩුවට සහාය දක්වන ආකාරයේ උපායමාර්ගයක් අනුගමනය කරමින් වන අතර, එය "ඉඟුරු දී මිරිස් ගත්තා වගේ" යන ප්‍රසිද්ධ ප්‍රස්තාව පිරුළේ පසුබිම් කතාව බව ජනශ්‍රැතියේ එන්නකි.
එලෙස සියවසක් හා තවත් අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයන්හි යටත් විජිත පාලනයක් ගෙන ගිය ලන්දේසීන් 1765 දී සෙංකඩගල රජ මාලිගාව වටළා ඇති අතර, එහි තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් එවකට ඕලන්දය වූ වර්තමාන නෙදර්ලන්තයට ගෙනගොස් තිබේ.
යටත්විජිත කෞතුක භාණ්ඩ නැවත භාරදීමේ රැල්ල
මෑතකාලීනව, එකල අධිරාජ්‍යවාදී ඇතැම් රටවල් එවකට ඔවුන්ගේ යටත්විජිතයන්ගෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ නැවත භාරදීමේ ප්‍රවණාතාවක් දැකිය හැකි ය.
ආසන්න වසර කිහිපය තුළ, එවකට "හිරු නොබසින අධිරාජ්‍ය" වූ බ්‍රිතාන්‍යය විසින් ඇතැම් රටවලට ඔවුන්ගේ කෞතුක වස්තූන් නැවත භාර දුන් අතර, ඇතැම් රටවල් එලෙස භාර දෙන්නැ යි ඉල්ලා තිබේ.
නයිජීරියාවට සහ මැදපෙරදිග රටවල් කිහිපයකට බ්‍රිතාන්‍ය කෞතුකාගාර විසින් මෙසේ ඔවුන්ගේ කෞතුක භාණ්ඩ නැවත භාර දීමට කටයුතු කර තිබෙන අතර කාම්බෝජියාව, ඉන්දියාව වැනි රටවල් ද ඔවුන්ගේ රටවලින් රැගෙන ගිය උරුමයන් නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියි. ජර්මනිය ද එලෙස නයිජීරියාවෙන් රැගෙන ගිය කෞතුක වස්තූන් නැවත ලබා දීමක් සිදු කර තිබේ.
ලංකාවට නැවත ලැබෙන කෞතුක භාණ්ඩ මොනවාද?
යටත්විජිත කෞතුක භාණ්ඩ ආපසු භාරදිය යුතුය යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹි නෙදර්ලන්තය ඒ වෙනුවෙන් පර්යේෂණයක් පවත්වා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥ කණ්ඩායමක් ද එක්ව තිබේ. එම පර්යේෂණය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාවට අමතර ව ඉන්දුනීසියාවට අයත් කෞතුක භාණ්ඩයන් ද එලෙස ලබා දීමට නියමිත නමුත්, ශ්‍රී ලංකාවට නෙදර්ලන්තය විසින් එසේ කෞතුක භාණ්ඩ ලබාදෙන්නේ පළමු වරටයි.
නෙදර්ලන්තයේ රිජික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණායැ යි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානි සමයට අයත් වූ ඒවා බව හෙළිදරව් වී ඇති අතර, වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙනගොස් ඇති බවද තහවුරු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Buddhasasana, Religious and Cultural Affairs
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සිදු කළ පර්යේෂණ සොයාගැනීම්වලට අනුව මෙම කස්තාන දෙක රාජකීය වැඩපලෙහි නිර්මාණය කළ ඒවා ය. මනරම් ලෙස කැටයම් කළ පිහිය ද 18 වැනි ශත වර්ෂයේ කන්ද උඩරට ශිල්පීන්ගේ දක්ෂතාවන් මනාව පෙන්නුම් කරන අතර, එය උඩරට රාජකීය ඇඳුම් පැළඳුම්වල එක් අංගයක් ද වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
මහනුවර යුගයට අයත් මහ තුවක්කු දෙක ද මනා ලෙස කැටයම් කළ ඒවා බවත්, මේවා ශ්‍රී ලාංකේය තුවක්කු තාක්ෂණය පිළිබිඹු කරන අද්විතීය නිර්මාණ බවත්, කිලෝග්‍රෑම් 28ක් බැගින් යුක්ත වූ මෙම මහ තුවක්කු දෙක උඩරට රජුගේ බලඇණි විසින් භාවිතා කළ ජංගම බර අවි පිළිබඳ කදිම සාක්ෂි සපයන බවත් එහි සඳහන් ය.
රිදී, රත්‍රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද, ලෙව්කේ දිසාවගේයැ යි සැලකෙන කාල තුවක්කුව ද සුවිශේෂී කෞතුක භාණ්ඩයක් වන අතර, ලියවැල්, කල්ප වෘක්ෂය, නාරිලතා වැනි උඩරට මෝස්තරවලින් අලංකෘත ඒවා ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද්දක් බවට සටහනකින් ද සමන්විත බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.
ඉහත භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට භාර දෙන බවට 2023 ජුලි මස 06 වැනි දින ගැසට් නිවේදනයක් මඟින් නෙදර්ලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Buddhasasana, Religious and Cultural Affairs
භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ ගිවිසුම් දෙකක් අත්සන් කෙරේ
ඒ අනුව එම භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ ගිවිසුම් දෙකක් ශ්‍රී ලංකාවේ බුදධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සහ නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනායි උස්ලු අතර, අගෝස්තු 28 කොළඹ දී අත්සන් කෙරුණි.
ඒ සඳහා දෙරටේ තානාපතිවරුන් සහ එම විෂය ක්ෂේත්‍රයට අදාළ නිලධාරීහු පිරිසක් සම්බන්ධ වී සිටියහ. ගිවිසුම් ප්‍රකාරව ඉදිරියේ දී කෞතුක භාණ්ඩ රැගෙන එන දිනයක් තීරණය කෙරෙනු ඇත.
ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බටහිර ජාතීන් අතරින් අඩුම හානියක් සිදු කළේ ලන්දේසින් බව යි. එමෙන් ම කෞතුක භාණ්ඩ නැවත ලබාදීම සම්බන්ධයෙන් ඔහු නෙදර්ලන්ත රජයට ස්තූති කළේ ය.
"මම විශේෂයෙන් ම යටත් විජිත සන්දර්භයක් සහිත සංස්කෘතික භාණ්ඩ නැවත ලබාදීම පිළිබඳ ලන්දේසි උපදේශක කමිටුවට (The Dutch Advisory Committee on Returning of Cultural Objects from Colonial context) ස්තූතිවන්ත වෙනවා. ඔබ මේ සඳහා කොළ එළියක් ඉක්මනින්ම ලබා දුන්නේ නැතිනම් තවමත් අපට ඒවා ගෙන්වා ගන්න හැකි වෙන්නේ නෑ," හෙතෙම කියා සිටියේය.
එමෙන් ම අමාත්‍යවරයා පැවසුවේ මෙම අවස්ථාව අනෙකුත් රටවල්වල ද දෑස් විවරකිරීමක් බවයි.
"මේ සිදුවීම තවත් රටවල්වල කෞතුක භාණ්ඩවල හිමිකාරීත්වය තිබෙන රටවල්වල දෑස් විවර කිරීමක්. ඒ රටවල් විසින් කාලයකට කලින් අරගෙන ගිය දේවල් නැවත ඒවා අයිති රටවල්වලට භාර දීමට කාලය ඇවිත්." බුදධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක කියා සිටියේය.
ගුනායි උස්ලු රාජ්‍ය ලේකම්වරිය ද එලෙස භාණ්ඩ නැවත හිමිකාරීත්වය ඇති රටවලට භාරදීමට හැකි වීම සතුටට කරුණක් බව පැවසුවා ය.
"අපේ රටවල්වලට පොදු ඉතිහාසයක් තිබෙනවා. මේ භාණ්ඩ පිළිබඳ නෙදර්ලන්ත හා ශ්‍රී ලාංකික විශේෂඥ කණ්ඩායම් එකතු වී කළ පරීක්ෂණ වලින් අපට දැනුම, දැක්ම වගේ දේවල් හුවමාරු කරගන්න හැකි වුණා වගේ ම ඉතිහාසයත් බෙදාගන්න හැකිවුණා," ඇය වැඩි දුරටත් සදහන් කළාය.
මෙවැනි කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු වඩා පහසු කරනු පිණිස ශ්‍රී ලාංකික උපදේශක කමිටුවක් ද මේ වනවිට අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පත්කර තිබේ.













