එලිසබෙත් රැජිනගේ මරණයෙන් පසුව සමාව අයැදීම සඳහා වූ අප්‍රිකානු ඉල්ලීම් නැවත අලුත් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Chris Parkinson/ BBC
දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව, ජොහැන්නස්බර්ග් හි හිල්බ්‍රෝ නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයක සිට එම්ජේ මොජලෙෆා දුරකථනය ඔස්සේ අසන්නන් හා සම්බන්ධ වෙමින් වැඩසටහනක් මෙහෙයවමින් සිටියේ ය.
විශාල තරුණ ශ්‍රාවකයන් පිරිසක් සිටින 22 හැවිරිදි ඩී.ජේ ශිල්පියාට අවශ්‍ය, දකුණු අප්‍රිකාව ද ඇතුළත් ව තිබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ උරුමය පිළිබඳව, ඔහුගේ අසන්නන්ගේ අදහස් බෙදා ගැනීමට ය.
"බ්‍රිතාන්‍යයන් විසින් අපිව යටත් විජිතයක් බවට පත් කරගෙන සිටි අතර රැජින, එම සම්බන්ධතාවයේ ස්වභාවය කිසි විටෙකත් වෙනස් කළේ නැත." යි අමාපියානෝ සංගීතය පසුබිමෙන් ඇසෙන අතර විකාශය වූ එක් ඇමතුමක් කියා සිටියේ ය.
"අතීතය අතීතයේ අතහැර මිනිසුන් ජීවිතය සමඟ ඉදිරියට ගියා" යි තවත් ඇමතුමකින් කියැවුණි.
එම්ජේ මොජලෙෆාට අනුව, නව රජු, තුවෙනි චාල්ස් ඔවුන්ගෙන් සමාවක් ගත යුතු ව තිබේ. "බොහෝ අය පවසන්නේ රැජින සමාව නොගත් බව යි. එමෙන් ම ඔවුන්ට ඇයගෙන් අවශ්‍ය වූයේත් එලෙස සමාව ගැනීමයි."
1961 දී දකුණු අප්‍රිකාව ජනරජයක් බවට පත් වූ අතර, ඒ වන විට වාර්ගික වෙන් කිරීම් වසර 13 ක කාලයක් පුරා නීතියක් ලෙස පැවත තිබුණි. එයින් වසර නවයක්ම ගෙවී තිබුණේ දෙවන එළිසබෙත් රැජින අධිරාජිනියව සිටි සමයේ ය.
බොහෝ තරුණ දකුණු අප්‍රිකානුවන්හට එම ඉතිහාසය වේදනාකාරී වන අතර, ඔවුන් එය තම වර්තමානය සමඟ ගලපා ගැනීමට නො හැකිව දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිති.
මිසොක්ස්ලෝ 'එක්ස්' මයොන්ගෝ සහ ඇඩිල්සන් ඩි ඔලිවේරා යන කලාකරුවන් සමඟ සංවාද කරන විට එය නැවත නැවතත් තහවුරු වේ. ඔවුන්ගේ නිර්මාණවලට තේමාව වී ඇත්තේත් යටත් විජිතකරණයයි.
"අපි දකුණු අප්‍රිකානු ඉතිහාසය දෙස බලන්නේ, ඒවා අතීතයේ සිදු වූ හුදකලා සිදුවීම් ලෙස නොවෙයි." ඩි ඔලිවේරා පවසයි. "එක් දෙයක්, තවත් දෙයකට මඟ පාදා තිබේ."
වර්ණභේදවාදයට මුහුණ දෙමින් ජීවත්වීමේ අත්දැකීම ගැන මයොන්ගෝ ඔහුගේ මිත්තනිය සමඟ කළ සාකච්ඡා ඔහු තුළ මේ පිළිබඳව වන හැඟීම් ත්‍රීවෘ කර තිබේ. "ඔබට එයින් වූ කැළැල් ඉවත් කළ නොහැක. එමෙන් ම ඔබ එම තුවාල සුව කරන්නේ කෙසේද?" යි ඔහු ප්‍රශ්න කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Chris Parkinson/ BBC
එහෙත් මේ දෙදෙනාම පවසන්නේ, මේ මොහොත තුන්වන චාල්ස් රජුට අප්‍රිකානු මහාද්වීපය සමඟ නව සබඳතා ගොඩනඟා ගැනීමට ලැබුණු අවස්ථාවක් වන බවයි.
"අප සියල්ලන්වම විනාශය සහ අන්ධකාරය ලෙස සැලකිය යුතු නො වේ" ඩි ඔලිවේරා පවසයි. "අධිරාජ්‍ය අප්‍රිකාව සමඟ ඇති කර ගන්නා අනාගත සබඳතා, අප්‍රිකානු රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීමට තරම් වගකීම් සහගත වීම මත පදනම් විය යුතු ය."
එම සාකච්ඡා කෙබඳු ස්වරූපයක් ගත යුතුදැයි ඇසූ විට, ඔවුන් දෙදෙනාම දරන්නේ එක ම ස්ථාවරයකි. ඒ එම සාකච්ඡා, ඒවාට වන්දි ගෙවීම, අත්පත් කරගත් කෞතුක වස්තු සහ ඛනිජ සම්පත් ආපසු ලබා දීම ආදිය පිළිබඳ දිශාවකට යොමු විය යුතු බවයි. ඊට එක් උදාහරණයක් ලෙස දැන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඔටුන්න හිමි ආභරණවල කොටසක් වී ඇති මෙතෙක් ලොව සොයාගෙන ඇති විශාලතම දියමන්තිය වන 'අප්‍රිකාවේ තාරකාව' දියමන්තිය ඔවුහු සඳහන් කරති.
බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වී තිබීම නිසා ඇතිවූ සිදුවීම්වලට බ්‍රිතාන්‍ය රජයෙන් වන්දි ලබාගැනීම සඳහා වන එම ඉල්ලීම්, නයිරෝබි නුවර උතුරු කොටස් දක්වා ද පැතිර තිබේ.
කෙන්යාව ද පසුගිය සතියේ සංක්‍රාන්ති කාලයකට මුහුණ දුන්නේ ය. ඒ 1963 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව කෙන්යාවට පත් වූ පස්වෙනි ජනාධිපතිවරයා ලෙස විලියම් රූටෝ දිවුරුම් දීමත් සමඟ ය.
ඔවුන්ගේ රාජ්‍ය නායකයා වෙනස් වීම වැනි, රටේ අවධානය අනිවාර්යයෙන් ම යොමුවෙන සිදුවීමක් සිදුව තිබියදීත්, රැජිනගේ මරණය කෙන්යාවේ පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රවෘත්තියක් බවට පත් විය. එය එරට හිටපු යටත්විජිත පාලකයා සමඟ රටෙහි තවමත් ඇති සම්බන්ධය පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් ද ඇති කර තිබුණි.
"පුද්ගලයෙකු මිය යාම කණගාටුවට කරුණකි," යි ජනාධිපති රූටෝ දිවුරුම් දුන්, ආසන 60,000 කින් යුත් මෝයි ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයෙන් පිටත සිටි 30 හැවිරිදි නෙල්සන් ජෝ පැවසුවේ ය.
"නමුත් ඔවුන් අප්‍රිකානු සංස්කෘතියටත්, අප්‍රිකානු ජාතීන්ටත්, අපගේ ධනයටත්, අපගේ සමාජයටත් කළ දේ වෙනුවෙන් අපෙන් සමාව ගත යුතුයි."

ඡායාරූප මූලාශ්‍රය, Joe Barrett/ BBC
ඔහු අසල සිටි 29-හැවිරිදි සැමී මුස්යෝකා ද ඊට සිය එකඟත්වය පල කළේ ය. "අපට තවමත් හැඟෙන්නේ අපට සමාන පුද්ගලයන් ලෙස නොව 'දේවල්' ලෙසට සලකන බවයි."
පුද්ගලයන් ලෙස නොව, අජීවී වස්තුන් ලෙස සලකනු ලැබීම නිසා ඇතිවූ කම්පනය අප්‍රිකානු සමාජයේ මුල්බැසගෙන තිබේ. දෙවන එළිසබෙත් රැජින රජ වී මාස කිහිපයකට පසු, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කෙන්යාවේ ආරම්භ වූ 'මවු මවු කැරැල්ල' කුරිරු ලෙස මර්දනය කෙරුණු අතර, කෙන්යාවේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරන්නේ පුද්ගලයන් 90,000 ක් පමණ මරණයට පත්කර හෝ, වධහිංසාවලට ලක් කර හෝ ආබාධිත බවට පත්කර ඇති බවයි.
2013 වසරේදී, එක්සත් රාජධානිය, සිය යටත් විජිත පාලන සමයේදී මොවුන් හට අත්විඳීමට සිදුවූ හිරිහැර සඳහා වන්දි වශයෙන්, වැඩිහිටි කෙන්යානුවන් 5,000 ක් සඳහා ඩොලර් මිලියන 22.6 ක් හෙවත් පවුම් මිලියන 19.9 ක් ගෙවීමට එකඟ වී තිබේ.
ජනාධිපති රූටෝගේ පදවි ප්‍රාප්ති උත්සවය සඳහා රැස් සිටි තරුණ කෙන්යානුවන් මෙන් නොව බොහෝ වැඩිහිටි කෙන්යානුවන්, තවමත් පැරණි යටත් විජිතය ගැන සිතන්නේ යහපත් ආකාරයෙනි.
මේ වන විට පනස් විය ඉක්මවා සිටින කැරොලයින් මුරිගෝ, රැජිනගේ මරණය පිළිබඳ පුවත තමන්ට ඉතා කණගාටුදායක පුවතක් බව පවසන්නී ය.
"ඇය, මම මගේ ජීවිත කාලය පුරාවටම දැන සිටි කෙනෙක්. ඇගේ මරණය දුකක්. නමුත් ඇයගේ ජීවිතයේ අවසානය කරා ළඟා වුණා. අපි අලුත් රජතුමාට සුභ පතනවා."
46 හැවිරිදි මේරි මුතෝනි සිතන්නේ අධිරාජ්‍ය යනු වර්තමානයේත් කෙන්යානුවන්ට අදාළ වන දෙයක් බවයි. "අපේ ආර්ථිකය වැඩිදියුණු කිරීමට සහ අපේ රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත." ඇය පවසන්නී ය.
අප්‍රිකානු මහද්වීපයේ රාජ්‍ය නායකයින් සහ නිලධාරීන්ගේ නිල ශෝක පණිවිඩවල රැජිනගේ පාලනය සහ මහද්වීපය සමඟ ඇගේ වූ දිගුකාලීන බැඳීම ඉතා ඉහළින් ප්‍රශංසා කර ඇති අතර, 2007 දී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ඇය අවසන් වරට ගිය අප්‍රිකානු රට වන උගන්ඩාවේ, ඇයට ගෞරව දැක්වීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ද පවත්වා තිබුණි.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ එක් උරුමයක් ලෙස, නයිජීරියාව ලොව විශාලතම ඇන්ගලිකන් සමාජයක් බවට පත් වී තිබේ. 'නයිජීරියාවේ පල්ලිය' එහි මූලස්ථානය වූ අබුජා හි, එළිසබෙත් රැජින වෙනුවෙන් අනුස්මරණ සේවාවක් පැවැත්වූ අතර එහි ප්‍රධානී අතිපූජ්‍ය අලි බුබා ලැමිඩෝ පැවසුවේ, එංගලන්ත පල්ලියේ ප්‍රධානියා වූ රැජින නයිජීරියාවේ ඇන්ග්ලිකන්වරුන්ට ද අතිශය වැදගත් වන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Tamara Ebiwei/ BBC
මෙම දේව මෙහෙයට සහභාගී වූ බීබීසී වාර්තාකරුවෙකු පැවසුවේ, එය ශෝකී උත්සවයක් වූ නමුත් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ශෝකය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නො වූ බවයි. ඇතැම්විට, අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය උරුමය පිළිබඳ ඇති වී ඇති උණුසුම් විවාදය මිට හේතු වන්නට ඉඩ තිබේ.
නයිරෝබිහි මාතාරේ අවිධිමත් ජනාවාසයේ වෙසෙන 32 හැවිරිදි ඩග්ලස් මුවන්ගි සිතන්නේ රැජින 70 වසරක් තිස්සේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කළ සේවය වෙනුවෙන් ඇය සැමරිය යුතු බවයි. එය රටවල් 56 ක සංවිධානයකි. ඒ රටවල බොහොමයක් පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයන් ය.
2018 දී මහ රැජින අතින් 'රැජිනගේ තරුණ නායකයින්ගේ සම්මානය' ලබා ගැනීම සඳහා ඔහු බකිංහැම් මාලිගයට පැමිණියේ ය. ඔහුට, තාක්ෂණ කුසලතා ඇති තරුණයින්ට සහාය වීමට උපකාර වන 'රැජිනගේ පොදු රාජ්‍ය මණ්ඩලීය භාරය' වෙතින් පුහුණුව සහ අරමුදල් ලැබී තිබේ. 2014 වර්ෂයේ සිට, මාතාරේ ප්‍රදේශයේ 14,000 කට අධික පිරිසකට මෙම භාරය උපකාර කර ඇති බවත් ඔහු පවසන්නේ ය.
"එම සම්මානය අපට වටිනාකමක් ලබා දුන්නේ ය. අපි පොදුරාජ්‍ය මණ්ඩලය පුරා සිදුවෙමින් පවතින යහපත් දේ පිළිබඳ ඉගෙන ගනිමින් එය අපගේ රටට ගැළපෙන සේ වැඩිදියුණු කරන්නේ කෙසේදැයි බලමු. දිවංගත මහරැජින ඉතා තරුණ කාලයේදී ම රැජින බවට පත් වූ අතර ඇය තරුණයින්ගේ නායකත්වය කෙරෙහි විශ්වාසය තැබුවා ය." යි ඔහු පවසයි.
එහෙත් සියල්ලන්ටම එය හැඟෙන්නේ ඒ ආකාරයෙන් නො වේ. කෙන්යාවේ ජාතික ක්‍රීඩාංගනයෙන් පිටත සිට සිය අදහස් දක්වන ව්‍යාපාරිකයෙකු වන ජෝ පවසන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් තමන්ට උදව් ලැබෙන ආකාරයක් ඔහු නොදකින බවයි.
"අපි එහි සිටීම පවා පිස්සුවක්. පොදුරාජ්‍ය මණ්ඩලය අපට උපකාර කරන්නේ කෙසේද යන්න මම සොයා බලා තිබෙනවා. කෙන්යාව පොදුරාජ්‍ය මණ්ඩලයේ සිටීමෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ එහි නායකයින් කිහිප දෙනෙකුට සහ පුද්ගලයන් කිහිප දෙනෙකුට පමණයි."
රැජිනගේ මරණයෙන් පසුව ඇති වූ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් කියාපාන්නේ, යටත් විජිත යුගයේ ඇති වූ බොහෝ තුවාල තවමත් සුව වී නො මැති බවයි. මෙම තුවාල සුව කර වේදනාකාරී අතීතය අමතක කිරීම සඳහා, නව රජු සහ බ්‍රිතාන්‍යය රජය අප්‍රිකානුවන් සමඟ අවංක සංවාදයක යෙදිය යුතු මොහොත එළඹ ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.










