සිංහ සම්, පූජනීය අසුන් හා අනෙකුත් ගෝලීය රාජාභිෂේක චාරිත්‍රයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැයි හයවැනි දා පෞරාණික සම්ප්‍රදායට අනුකූලවූ උත්සවයක දී තෙවැනි චාල්ස් රජු ඔටුනු පළඳිනු මුළු ලෝකයම නරඹනු ඇත. නමුත් ලොව පුරා අනෙකුත් රාජාණ්ඩුවල ද ඒ හා සමානවම අසාමාන්‍යවූ රාජාභිෂේක අවස්ථාවන් වෙයි.
වසු පැටවුන්ගේ සමින් තැනූ ඔටුනුවල සිට පූජනීයත්වය නිසා කිසිවෙකු අසුන් නොගන්නා සිංහාසන දක්වා, ලොව මෙතෙක් ඉතිරිව ඇති රාජාණ්ඩු ඔවුන්ගේ රජුන් හා රැජිණියන් සමරන ආකාරය අපි සොයා බලමු.
"රාජාණ්ඩු පැවතෙන්නේ පිළිවෙත් හා චාරිත්‍රවිධි මත යි," පුනරුද ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරන, වින්චෙස්ටර් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය එලීනා වුඩෙකර් පවසයි.
"විවිධ රාජාභිෂේකවල ඔබට දකින්න ලැබෙන අංගයන් තියෙනවා," ඇය පැහැදිලි කරයි. "හැමවිටම ඒවයෙ තියෙනවා එක්තරා විදියක පදවියෙහි පිහිටුවීමක් හෝ සිහසුනට පත්කිරීමක්. සාමාන්‍යයෙන් ඒවයෙ තියෙනවා රාජ කකුධ හෝ චාරිත්‍රානුකූල ඇඳුම් පැළඳුම් සහ අභිෂේක කිරීම වගෙ පූජනීය අංගයන්."
"රජුගේ (හෝ රැජිණගේ) භූමිකාව තහවුරු කිරීමට වගේම රජු හා පාලිත ජනයා අතර සම්බන්ධය තහවුරු කරන්නත් මේ අංගයන් වැදගත් වෙනවා," ඇය වැඩිදුරටත් කියයි.
ආශිර්වාද ගැන්වූ ජලය
තෙවැනි චාල්ස් රජු අභිෂේක කෙරෙන්නේ රහසිගත වට්ටෝරුවකට අනුව සැදූ පූජනීය තෛලයකිනි. එංගලන්ත සභාවේ ද ප්‍රධානියා වන රජුගේ අධ්‍යාත්මික තත්ත්වය අවධාරණය කෙරෙන, උත්සවයේ අති පූජනීය අවස්ථාව ලෙස සැලකෙන මොහොතේ දී කැන්ටබරියේ අගරදගුරු රජුගේ හිසෙහි, පපුවෙහි හා දෑතෙහි කුරුසිය ලකුණු කරමින් රජු අභිෂේක ගන්වයි.
තායිලන්තයේ රාජාභිෂේක උත්සවයන්හි මීට සමාන අවස්ථාවක දී රජු "පවිත්‍රත්වයට පත්කර" අභිෂේක ගැන්වීම සඳහා නව රජු මත ජලය වත්කරයි.
මෙම ජලය රැස්කර ගැනෙන්නේ තායි ජ්‍යොතිෂ්‍යයට අනුව සුබ වේලාවක් වන පෙ.ව. 11:52 හා ප.ව. 12:38 අතරතුරේ රට පුරා ඇති ජල මූලාශ්‍රයයන් 100කට අධික ප්‍රමාණයකිනි. අනතුරුව බෞද්ධ උත්සවයක් මඟින් රජුට ආශීර්වාද ලබාදෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිඳගැනීමට නොහැකි තරම් පූජනීය අසුන්
දේව මෙහෙයේ වැඩිමනක් පුරාවට චාල්ස් රජු රාජාභිෂේක ආසනය මත අසුන්ගෙන සිටියි.
වසර 700කට වඩා පැරණි, ඕක් දැවයෙන් තැනූ මෙම අසුන, එක්සත් රාජධානිය තුළ තවමත් එහි මුල් අරමුණ සඳහා භාවිතා කෙරෙන පැරණිතම ගෘහ භාණ්ඩය යි.
මෙම අසුන නිර්මාණයකර තිබෙන්නේ, ස්කොට්ලන්ත රජුන් රාජාභිෂේක ගැන්වීමේ දී භාවිතා කෙරුණු ඓතිහාසික සංකේතයක් වන දෛවයේ පාෂාණය අඩංගුකරවීමට ය.
'අසන්තෙහෙනේ' යනු, 17 වන සියවසේ අගභාගයේ දී පිහිටුවනු ලැබූ අසන්තේ රාජධානියේ අධ්‍යාත්මික ප්‍රධානියා ය.
එහි බලයේ උපරිම අවස්ථාව වන විට, රාජධානිය විසින් වත්මන් ඝානාවට වඩා විශාල ප්‍රදේශයක් ආවරණය කෙරිණි.
ඔවුන්ගේ සංස්කෘතියේ අති පූජනීය වස්තුව වන්නේ 'සික ද්වා කොෆි' ලෙස හැඳින්වෙන රන් කොලොම්බුවකි (ස්ටූල් එකක්). එය අසන්තේ ජනයාගේ "ආත්මය" නියෝජනය කරනබව විශ්වාස කෙරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම කොලොම්බුව කෙතරම් පාරිශුද්ධ ද යත් රජුට පවා ඒ මත හිඳගැනීමට අවසරයක් නැත. එනිසා, රාජාභිෂේකය අතරතුරේ දී නව අසන්තෙහෙනේ කොලොම්බුව මත අසුන් ගැනීම වෙනුවට ඊට ඉහළින් ඔසවා පහත්කෙරෙයි.
කෙසේ වෙතත්, 1900 ගණන්වල දී බටහිර අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට් යටත්විජිතයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් හොජ්සන් ඔහුට රන් කොලොම්බුව මත හිඳගැනීමට අවශ්‍යයැ යි බලෙන් ඉල්ලා සිටි අතර, එය සොයාගෙන එන්නැ යි සොල්දාදුවන්ට අණ කළේ ය.
මෙනිසාවෙන් එහි කැරැල්ලක් ඇතිවූ අතර, අසන්තේ මව් රැජිණ වූ 'යා අසන්තේවා' ඊට නායකත්වය දුන්නා ය. අවසානයේ ඇය පරාජය කෙරුණු අතර අසන්තේ රාජ්‍යය බ්‍රිතාන්‍යයන් විසින් අල්ලා ගැනුණි. අසන්තේ රාජාණ්ඩුව 1935 වන තෙක් ප්‍රතිෂ්ඨාපනය නොකෙරිණි.
උඩු වියන්, වටතිර හා වස්ත්‍ර
බ්‍රිතාන්‍ය රජුගේ රාජාභිෂේකය කෙතරම් පූජනීය හා රහසිගතයැ යි සැලකෙන්නේ ද යත්, දේව මෙහෙයේ එම මොහොත පුරාවට ජනයාගේ දර්ශනයෙන් රජු මුවාකිරීම සඳහා ඔහුට ඉහළින් උඩු වියනක් ඔසවයි.
එසේම, සභාව "ගෝඩ් සේව් ද කිං" (දෙවියෝ රජු රකිත්වා) යනුවෙන් හඬනගා ප්‍රකාශ කරනු ඇත.
ජපාන අධිරාජයා සිහසුනට පත්කිරීමේ උත්සවයේ දී ද මීට සමාන මොහොතවල් දක්නට හැකි ය.
උත්සවය අවස්ථාවේ දී, 'තකමිකුරා' නම් මණ්ඩපයක් මත පෞරාණික අභරණය හා අසිපත (ජපාන රාජ කකුධ) සමග සිහසුනට ඉදිරියෙන් සිටගෙන සිටින අධිරාජයා නිරාවරණය කිරීම සඳහා දම්පැහැ තිර හකුළනු ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධිරාජයා, විශේෂ අවස්ථාවන්හි දී අධිරාජයින් පමණක් අඳින කහ-තැඹිලි පැහැ ලෝගුවකින් සැරසී උපචාරානුකූල ප්‍රකාශ පත්‍රයක් කියවයි.
මීළඟට, ජනයා "බන්සයි!" යනුවෙන් හඬනගයි. එහි අර්ථය වන්නේ "අධිරාජයා දිගුකල් වැජඹේවා" යන්න යි.
චාල්ස් රජු අනෙකුත් විදේශික ප්‍රභූන් සියගණනක් ද සමග මෙම සිංහාසනාරූඪයට සහභාගීවිය.
පිහාටු සහ සිංහ සම්
එක්සත් රාජධානියේ රජු හෝ රැජිණ විශේෂ රාජාභිෂේක ලෝගු අඳියි. පෙරහැර වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරට ඇතුළුවෙද්දී ඔටුනු පැළඳීමට නියමිත රාජකීයයා, අතින් එම්බ්‍රොයිඩර් කළ රන් රේන්දයෙන් අලංකාර කළ, සුදු මුගටි වර්ගයක අධිමිල සමින් වාටි සැරසූ දිගු, රතු විල්ලුද රාජ්‍ය ලෝගුව පැළඳ සිටියි.
උත්සවය අවසානයේ ඔවුන් අඳින්නේ වෙනත් ලෝගුවකි. 1953 වසරේ දෙවැනි එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයේ දී ඇය මීටර හතක දිගු සේද ගවුමක් ඇඳ සිටියා ය. ඒ මත, එකිනෙකට වෙනස් රන් හා රිදී කෙඳි 18 වර්ගයකින් එක්සත් රාජධානියේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල ලාංඡන එම්බ්‍රොයිඩර් කරන්නට පැය 3 500ක් වැයවී තිබුණි.
දකුණු අප්‍රිකාවේ රජවරුන් අටදෙනා අතරින් වඩාත්ම බලගතු තැනැත්තෙකු වන සූලු රජු ද ඔවුන්ගේ රාජාභිෂේකය අතරතුරේ විශේෂ ඇඳුමින් සැරසෙයි.
සාම්ප්‍රදායික සූලු උත්සවය අතරතුරේ, රජු තමා 'තෝරාගත් තැනැත්තා' ය යන්න ඔප්පු කිරීම සඳහා ඔවුන් විසින් දඩයම් කරනු ලැබූ සිංහයෙකුගේ සමින් සැරසී, ඔවුන්ගේ (මළගිය) මුතුන්මිත්තන්ගේ සහයෝගය අයැදීම සඳහා පූජනීය ගවගාලකට ඇතුළුවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2022 වසරේ පැවැත්වුණු සූලු ඔටුනු පැළඳවීමේ උත්සවයේ දී මිසුසූලු ක ස්වෙලිතිනි රජු දිවි සමක් ඇඳ, පිහාටු පැළඳ ඊට සහභාගී විය. දකුණු අප්‍රිකානු ජනපති විසින් ඔහුට සම්භාවනා සහතිකයක් එහිදී පිරිනැමිණි.
වස්සන්ගේ සමින් තැනූ ඔටුනු
ඕනෑම රාජාභිෂේක චාරිත්‍රයක වැදගත්ම අංගයන්ගෙන් එකක් වන්නේ ඔටුනුය. එය, රජු පාලකයා ලෙස වෙන්කර දක්වන දෘශ්‍යමාන සංකේතයක් වෙයි.
එක්සත් රාජධානියේ දී, තෙවැනි චාල්ස් රජු පද්මරාග හා ඉන්ද්‍රනීල මාණික්‍යයන් සවිකළ ඝන රන් රාමුවකින් තැනූ සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්නෙන් කිරුළු පළඳිනු ඇත. ඔහුගේ පාලන කාලය තුළ එය භාවිතා කෙරෙනු ඇති එකම අවස්ථාව මෙය යි.
රාජාභිෂේක උත්සවයේ අගභාගය එළැඹෙන විට චාල්ස් රජු කිලෝග්‍රෑම් 1.06ක් බරැති රාජකීය රාජ්‍ය ඔටුන්න පැළඳගනු ඇත. එය, පාර්ලිමේන්තුව ඇරඹීමේ රාජ්‍ය උත්සවය වැනි නිල උත්සව අවස්ථාවන්හි දී පළඳිනු ලබයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෙසෝතෝහි රාජාභිෂේක අවස්ථාවන්හි දී, සාම්ප්‍රදායික ප්‍රධානීන් දෙදෙනෙකු නව රජුගේ හිස මත වසු පැටවුන්ගේ සමින් කළ නළල්පටක් සහ පිහාටුවක් පළඳවයි.
එසේම ඔවුන් උත්සවය අතරතුරේ සාම්ප්‍රදායික සත්ත්ව සම් සහ රන් කිඹුලෙකු එම්බ්‍රොයිඩර් කළ නිල් පැහැ කංචුකයක් අඳින අතර නැටුම්, ගැයුම් ද පැවැත්වෙයි.
තෙවැනි ලෙට්සි රජුගේ ඔටුනු පැළඳවීම සිදුකෙරුණේ ලෙසොතෝහි මසෙරු අගනුවර පිහිටි ක්‍රීඩාංගනයක ය. ඊට, චාල්ස් රජු සහ එකල දකුණු අප්‍රිකාවේ ජනපති වූ නෙල්සන් මැන්ඩෙලා සහභාගී විය.












