කොහිනූර්: මතභේදාත්මක දියමන්තිය රාජාභිෂේක ඔටුන්නට සවි නොකෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, Royal Collection Trust
- Author, ෂෝන් කෝලන්
- Role, රාජකීය වාර්තාකරු
මතභේදාත්මක කොහිනූර් දියමන්තිය රාජාභිෂේකය සඳහා භාවිතා නොකෙරෙනු ඇතැ යි බකිංහැම් මාළිගය පවසයි.
ඒ වෙනුවට, රාජ මෙහෙසිය කැමිලා, මේ වන විට එහි ප්‍රමාණය වෙනස් කිරීම සඳහා ටවර් ඔෆ් ලන්ඩන් මාළිගයෙන් පිටතට රැගෙන ඇති මේරි රැජිණගේ ඔටුන්නෙන් ඔටුනු පළඳිනු ඇති.
මෙය, "මෑත ඉතිහාසයේ" දී රාජාභිෂේකයක් සඳහා ඔටුන්නක් "නැවත භාවිතා කරනා" පළමු අවස්ථාව ලෙස සැලකෙයි.
දෙවැනි එලිසබෙත් රැජිණගේ ආභරණවල දියමන්ති ද ඊට එකතු කෙරෙනු ඇත.
රජු සමග කැමිලා ද,වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරේ දී ඔටුනු පළඳිනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලොව විශාලතම කැපූ දියමන්තිවලින් එකක් වන කොහිනූර්හි අයිතිය සම්බන්ධයෙන් මතභේදයන් පවතින අතර, එය භාවිතා කළේ නම් ඉන්දියාව සමග රාජතාන්ත්‍රික මට්ටමේ කෝලාහලයක් ඇතිවනු ඇතැ යි අදහස් මතුව තිබුණි.
මව් රැජිණගේ ඔටුනු පැළඳවීමේ දී භාවිතා කෙරුණු මෙම දියමන්තියේ නියම හිමිකරු තමන් බවට ඉන්දියාව ප්‍රකාශයන් කීපයක් සිදුකර තිබුණි.
ඒ වෙනුවට, කැමිලා මේරි රැජිණගේ ඔටුන්නෙන් ඔටුනු පළඳිනු ඇතිබවත්, එම ඔටුන්න නැවත භාවිතා කරන්නේ "තිරසරබව සහ කාර්යක්ෂමතාව සඳහායැ"යි බකිංහැම් මාළිගය කියා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිණට උපහාරයක් ලෙස, ඇගේ පුද්ගලික ආභරණ එකතුවේ වූ කලිනන් III, IV, හා V යන දියමන්තිවලින් එම ඔටුන්න සැරසෙනු ඇත.
මේවා අභාවප්‍රාප්ත රැජිණ විසින් හාරිච්චිවල අමුණා පළඳින්නට යෙදුනු අතර, දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කලිනන් දියමන්තියෙන් කපාගත් ඒවා වෙයි.
තෙවැනි චාල්ස් රජු රාජකීය ආභරණ එකතුවේ ප්‍රධානතම ආභරණය ලෙස සැලකෙන සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පළඳිනු ඇත. එය, රජුගේ හිසෙහි ප්‍රමාණයට සරිලන ලෙස සකස්කොට නැවතත් ටවර් ඔෆ් ලන්ඩන් මාළිගයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබේ.
එය තනවනු ලැබුණේ, ඉංග්‍රීසි සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස විනාශ කෙරුණු පෙර ඔටුන්නක අනුරුවක් ලෙස, 1661 දී දෙවැනි චාල්ස් රජු වෙනුවෙනි.
අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිණ ද ඇගේ රාජාභිෂේකය සඳහා සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න භාවිතා කළමුත්, ඉතිහාසය පුරාවට අනෙකුත් රජුන් හා රැජිණියන් වඩාත් කුඩා හෝ ඒ අවස්ථාව සඳහාම විශේෂයෙන් තනවන ලද ඔටුනු භාවිතාකර තිබේ.
දිගු රාජාභිෂේක සති අන්තයේ සැලැස්ම මෙන්න:
මැයි 6 සෙනසුරාදා: වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරේ දී රාජාභිෂේක දේව මෙහෙය; රාජාභිෂේක රථ පෙරහැර; බකිංහැම් මාළිගයේ සඳලුතලයේ පෙනී සිටීම.
මැයි 7 ඉරිදා: වින්ඩ්සර් මාළිගයේ විවිධ ප්‍රසංගය හා ආලෝක සංදර්ශනය; 'කොරෝනේෂන් බිග් ලන්ච්' නම් වීථි උත්සව.
මැයි 8 සඳුදා: එක්සත් රාජධානිය සඳහා අමතර බැංකු නිවාඩුව; 'බිග් හෙල්ප් අවුට්' සංවිධානය ප්‍රාදේශීය ස්වේච්ඡා කටයුතුවල යෙදීමට ජනයාට ආරාධනා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters / His Majesty King Charles III
මතභේදයන්
කොහිනූර් ලොව විශාලතම හෝ වඩාත්ම පළුදු රහිත දියමන්තිය නොවූව ද, එහි ඉතිහාසය නිසාවෙන් එය ඉතාම මතභේදාත්මක දියමන්තියක්බවට පත්ව තිබේ.
දියමන්තියේ මූලාරම්භය පිළිබඳව බොහෝ කලක් තිස්සේ නොයෙක් න්‍යායයන් හා මිත්‍යාවන් තිබිය ද, එය 1739 දී ඉරාන පාලකයෙකු වූ නාදර් ෂා විසින් ඉන්දියාවෙන් ලබාගත්තක්බවට ඉතිහාසඥයින් එකඟ වෙයි.
කොල්ලකෑම් හා යටත්කර ගැනීම් හරහා දියමන්තියේ හිමිකාරීත්වය කීප වරක්ම වෙනස්වුව ද, 1849 දී පන්ජාබය අල්ලාගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාණ්ඩුකාරවරයාට එහි හිමිකම පැවරිණි.
ඉන්දියානු උපමහද්වීපයේ විශාල ප්‍රදේශ යටත්කර ගත් නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම වෙත, පරාජයට පත්වූ ළමා රජෙකු විසින් එහි හිමිකම් පැවරීමේ පසුබිම මතභේදාත්මක ය.
එය "තෑග්ගක්" ය යන්න පිළිගත් සම්මතය වන නමුත්, කොහිනූර් දියමන්තිය පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයක සමකතු වන බීබීසී මාධ්‍යවේදිනී අනීතා ආනන්ද් මෙසේ පවසයි: "බයිනෙත්තු තුඩක් ඉස්සරහ ඉඳන් ලබාදීපු 'තෑගි' වැඩිමනක් ගැන මම දන්නේ නැහැ."
එය වඩා දීප්තිමත්වීම සඳහා 1850 ගණන්වල දී ඇල්බර්ට් කුමරු එය යළි කැප්පවූ අතර, වික්ටෝරියා රැජිණ වෙනුවෙන් හාරිච්චියක අමුණනු ලැබුණි. කාලයත් සමග එය රාජකීය ආභරණ අතරට එකතු කෙරිණි.
දියමන්තියේ නීත්‍යානුකූල අයිතිය සඳහා පාකිස්ථානයේ හා ඇෆ්ඝනිස්ථානයේ ඇතැමුන් ද හිමිකම් ප්‍රකාශකර ඇත.












