මනූෂ නානායක්කාරගේ අපේක්ෂිත ඇප පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි

දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට (ජනවාරි 21 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (ජනවාරි 19 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, Manusha Nanayakkaara| Facebook

දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (ජන: 21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (ජන: 19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විසින් මෙම දැනුම් දීම කරනු ලැබීය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 21 වන දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවලට ශ්‍රමිකයින් යොමු කිරීමකට අදාළ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මේ හරහා අපරාධමය වරදක් අනාවරණය වී තිබේ දැයි විමර්ශන කරන බවත් එම නිලධාරියා පැවසීය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව මේ වන විට ප්‍රකාශ 35 ක් පමණ සටහන් කරගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේ ය.

මෙම විමර්ශනයට අදාළව රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනයේ නියුතු පුද්ගලයින්ගේ ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව පෙත්සම්කාර මනූෂ නානායක්කාර මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු අනාවරණය නොවන බවත් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත්, ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍යව තිබෙන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම අවස්ථාවේදී මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වන කරුණු පරීක්ෂා කර බැලීමේදී නිශ්චිත වරදක් සම්බන්ධයෙන් විමර්ශන කරන ආකාරයක් පෙනී නොයන අතර මොනයම් හෝ කරුණක් සොයා ගැනීම සඳහා විමර්ශන කරන ආකාරයක් පෙනී යන බවත් සඳහන් කර සිටියේ ය.

කෙසේ වෙතත්, තම සේවාදායකයා අත්අඩංගුවට ගැනු ඇතැයි මතුවූ බිය හේතුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඒත් මෙම අවස්ථාවේදී තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන බැවින් මීට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, තම සේවාදායකයා හෙට (ජනවාරි 21 වැනිදා) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන ලබන 22 වැනිදා කැඳවීමට නියම කෙරිණි.