කාන්තාවකගේ ඇස් පිහාටුවලින් උකුණන් 250ක් සොයා ගැනේ: එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගන්නේ කෙසේ ද?

විශේෂඥයෙකු විසින් කාන්තාවක ඇහි බැමි පරීක්ෂා කරන අයුරු. කාන්තාව රතු පැහැති සාරියක් ඇඳ අසුන්ගතව ඉදිරියට නැවී උපකරණයකට නිකට සහ නළල තබා ගෙන සිටී. විශේෂඥවරයා දම් පැහැති කමිසයක් ඇඳ සිටින අතර අත් වැසුම් පැළඳ සිටී. ඔහු ද අසුන් ගෙන සිටින අතර පරීක්ෂණ උපකරණයට ඇස් තබා කාන්තාව පරීක්ෂා කරමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

    • Author, අපූර්වා අමීන්
    • Role, බීබීසී ගුජරාටි

වෙනස් ආකාරයේ, වෛද්‍යමය වශයෙන් කුතුහලය දනවන දුර්ලභ සිදුවීමක් ඉකුත් දිනකදී ඉන්දියාවේ අම්රේලි ප්‍රදේශයේ සවර්කුණ්ඩලා රෝහලෙන් වාර්තා විය.

සූරත් ප්‍රදේශයේ වෙසෙන 66 හැවිරිදි කාන්තාවක වන ගීතාබෙන් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලේ අක්ෂි අංශයට පැමිණ සිටියා ය. මාස දෙක හමාරක පමණ කාලයක සිට ඇය ඇගේ ඇහි පිහාටු ආශ්‍රිතව දැඩි වේදනාවක් සහ කැසීමක් අත්විඳිමින් සිටියා ය. ඇගේ ඇස් රතු පැහැයට හැරී තිබූ බැවින් ඇයට නිදා ගැනීමට පවා නොහැකි විය.

මෙම කාන්තාව තම තත්ත්වය රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය ම්‍රිගාන්ක්ට පැවසූ අතර, එහිදී එම කාන්තාවගේ ඇහි පිහාටුවල සජීවී කෘමීන් සිටින බව සොයා ගැනිණි. ඒ, සුළු ගණනක් නොව 250කට අධික සංඛ්‍යාවකි.

ආලෝකයට කෘමීන් දක්වන සංවේදීතාව සහ වෛද්‍ය විද්‍යාවේ පවතින ඇතැම් සීමා හේතුවෙන් වෛද්‍යවරයාට සිදුවූයේ එන්නත් නොමැතිව උකුණන් ඉවත් කිරීමේ සැත්කම සිදු කිරීමට ය. එය පැය දෙකක පමණ කාලයක් පුරා සිදු කෙරිණි.

වෛද්‍ය විද්‍යාවට අනුව, මෙම තත්ත්වය 'phthiriasis palpebrarum' ලෙස හැඳින්වේ. එම රෝගී තත්ත්වයට හේතුව, එහි රෝග ලක්ෂණ සහ එවැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක් ද?

මෙම අසාමාන්‍ය සිදුවීමේ පසුබිම

හින්දි බසින් අක්ෂර ඇති වෛද්‍ය බෙහෙත් තුණ්ඩු දෙකක්

ඡායාරූප මූලාශ්‍රය, SUPPLIED

ඡායාරූප ශීර්ෂ වැකිය, ගීතාබෙන් මෙහෙතාගේ ඇසෙන් උකුණෙක් මතු විය

ගීතාබෙන්ගේ මුල් පදිංචිය සවර්කුණ්ඩලා වුව ද දැන් ඇය සූරත්හි ජීවත් වන බව බීබීසී පුවත් වෙත අදහස් දක්වමින් සවර්කුන්ඩලාහි ලල්ලුබායි සෙත් ආරෝග්‍යා මන්දිර් රෝහලේ අක්ෂි අංශයේ වෛද්‍ය ම්‍රිගාන්ක් පටෙල් පැවසුවේ ය.

ගීතාබෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බාහිර රෝගී අංශයට පැමිණි විට, ඇගේ ප්‍රධාන වශයෙන් කියා සිටියේ, මාස දෙකහමාරක කාලයක් පුරාවට ඇගේ ඇසිපියවල දැඩි කැසීමක් පවතින බව ය.

"ඇසි පිය මත ඉස්හොරි වැනි දෑ තිබීම කැසීම සඳහා බලපාන පොදු හේතුවක් වුණත් ඒ මත මත උකුණන් සිටීම ඉතා දුර්ලභ තත්ත්වයක්. අපි විශාල කරලා ප්‍රවේශමෙන් බලද්දී තමයි දැක්කේ ඇසි පිය මත උකුණන් එහෙ මෙහ යන ආකාරය," වෛද්‍ය ම්‍රිගාන්ක් පටෙල් පැවසුවේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"රවුම් හැඩැති උකුණන්ගේ බිත්තරත් දකින්නට ලැබුණා. මේ නිතර හම්බනොවෙන පරපෝෂිතයෙක්. වෛද්‍යවරුන්ගේ වචනයෙන් මේ තත්ත්වය 'phthiriasis palpebrarum' කියලා හඳුන්වනවා."

"එම අවස්ථාවේදී අපි මුහුණ දුන්න ලොකු ම ප්‍රශ්නය තමයි රෝගියාගේ ඇස්වල උකුණො ඉන්නවා කියලා දැනගත්තට පස්සේ ඇය කලබලයට පත් නොවුණ එක. අපි එයාට උපදෙස් දුන්නා. උකුණන් ගොඩක් ඉන්න නිසා ඒකට [ඉවත් කරන්න] වැඩි කාලයක් ගත වෙන්න පුළුවන් කියලා අපි රෝගියාට පැහැදිලි කළා."

ඇගේ පවුලේ සාමාජිකයින්ට ද මෙම තත්ත්වය දුෂ්කර විය. ඔවුන් ඇය සූරත්වල රෝහල් කිහිපයකට ම ගෙන ගොස් තිබූ නමුත් කිසිදු ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී නොතිබිණි.

"අම්මාගේ ඇස් කසන්න ගත්තා. එයාට රෑට නිදාගන්න පවා බැරි වුණා. සූරත්වල රෝහල් කිහිපයකට ම ගියත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. පස්සේ අපි එයාව සවර්කුන්ඩලා රෝහලට එක්කගෙන ගියා. ඊට පස්සේ තමයි වෛද්‍ය ම්‍රීගාන්ක් අපිට කිව්වේ අම්මාගේ ඇහේ උකුණෙක් ඉන්නවා, ඌව එළියට ගන්න වෙනවා කියලා," බීබීසී පුවත් සමග අදහස් දක්වමින් ගීතාබෙන්ගේ පුත්‍රයා වන අමිත් මෙහෙතා පැවසුවේ ය.

"මෙම පරපෝෂිතයා (උකුණන්) අපගේ ශරීරයේ රුධිරය ආහාරයට අරගෙන පෝෂණය වෙනවා. ශරීරයේ අනෙකුත් කොටස් හා සසඳන විට ඇසි පියෙහි සම අතිශයින් සියුම් නිසා, මෙම පරපෝෂිතයාට (උකුණන්ට) පහසුවෙන් රුධිරය පානය කළ හැකියි," වෛද්‍ය ම්‍රිගාන්ක් පැවසුවේ ය.

"ඊට පස්සේ මෙම උකුණන් ඇහි පිය මත ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි රෝගියාට කැසීමක් ඇති වෙන්නේ. රෝගියා උන් ඉවත් කිරීමට උත්සහ කළත්, ඒක පහසුවෙන් කරන්න බැහැ."

උකුණන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය

මෙම වර්ගයේ උකුණන් ආලෝකයට සංවේදී වන අතර ආලෝකය වැටෙන විට සැඟවීමට උත්සහ කරති. එබැවින් එම සත්වයින් ඉවත් කිරීම සඳහා, McPherson නමැති විශේෂ උපකරණයක සහය ලබා ගත යුතු ය. අනතුරුව ඔබ උකුණන එකින් එක ඉවත් කිරීම සිදු කළ යුතු ය.

"පළමුවෙන් ම රෝගියාට ඇසේ එම ප්‍රදේශය හිරිවැටීම සඳහා නිර්වින්දන ඖෂධ ලබා දුන්නා. එතකොට රෝගියාට උකුණන් ඉවත් කිරීමේදී දැනෙන වේදනාවෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. මෙම ප්‍රතිකාරයට පැය දෙකක පමණ කාලයක් ගත වුණා," වෛද්‍ය ම්‍රිගන්ක් පටෙල් පවසයි.

"ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ රෝගියාට සහනයක් දැනෙන්නට පටන් ගත්තා. කැසීම අඩුවෙලා තිබුණා. ඉන්පසු අපි රෝගියාට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා"

"ඉන්දියාවේදී මේ වගේ ‍රෝගී තත්ත්වයන් දැකලා තියෙනවා. පළමු රෝගී තත්ත්වය මාස පහකට පමණ කලින් වාර්තා වුණ වෙලාවේ මම පර්යේෂණ පත්‍රිකා පවා අධ්‍යයනය කළා. මේක දුර්ලභ අවස්ථාවක්," වෛද්‍ය ම්‍රිගන්ක් පවසයි.

සංකීර්ණ ක්‍රියා පටිපාටියකින් පසුව වෛද්‍ය ම්‍රිගන්ක් පටෙල් සහ ඔහුගේ කණ්ඩායම කාන්තාවගේ ඇසි පිය දෙකෙන් ම උකුණන් 250කට වැඩි ගණනක් සහ බිත්තර 85කට වැඩි ගණනක් ඉවත් කිරීමට සමත් වූහ. සැත්කමෙන් පසු දින ම, කාන්තාව පරීක්ෂාවක් සඳහා අක්ෂි බාහිර රෝගී අංශයට රැගෙන ආ අතර ඇගේ ඇස් සම්පූර්ණයෙන් ම පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න බවින් යුක්ත විය.

රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රකාශ් කටාරියා බීබීසීයට පැවසුවේ, "මට වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් මට වසර 21ක පළපුරුද්දක් තියෙනවා, නමුත් මේ දක්වා මම එවැනි රෝගී අවස්ථා දෙකකට වඩා දැකලා නැහැ. නිර්වින්දනය කරන්න අවශ්‍ය නොවුණත් අපේ රෝහලේ මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සංකීර්ණ වුණා."

"රෝගියා මාස දෙකහමාරක පමණ කාලයක් පුරාවට නින්දක් නොමැතිව පීඩා විඳිමින් සිට තිබුණා. ඇය මීට පෙර සූරත්හි වෛද්‍යවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හමුවී තිබුණ ත් රෝගය හඳුනාගෙන නොතිබීම මගින් මෙහි බරපතළකම පෙන්නුම් කරනවා."

මීට මාස පහකට පමණ පෙර, සවර්කුන්ඩලාහි ද මෙවැනි ම සිද්ධියක් වාර්තා විය. එවකට, දරුවෙකුගේ ඇසි පියවල ඉහළ කොටසේ උකුණෙකු සිට හමු විය. එම සත්වයා පහසුවෙන් පිටතට පැමිණි අතර ඔහු පැය එකහමාරකින් පමණ සුවය ලැබීය.

Phthiriasis palpebrarum යනු කුමක් ද?

කළු පැහැති අත්කොට කමිසයක් ඇඳ සිටින වෛද්‍ය ම්‍රිගන්ක් පටෙල්, නිල් පැහැති සෝෆාවක වාඩි වී සිටින අතර කැමරාව දෙස බලා සිටී.

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය ම්‍රිගන්ක් පටෙල්

එක්සත් ජනපද ජෛව තාක්‍ෂණ තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානයට අනුව, Phthiriasis palpebrarum යනු පතයිරස් පියුබස් (Phthirus pubis) යනුවෙන් හඳුන්වන උකුණන් විශේෂය ඇසි පිල්ලම් මත ආසාදනය වන දුර්ලභ රෝගී තත්ත්වයක් වේ. මෙම ආසාදනය සාමාන්‍යයෙන් ස්පර්ශයෙන් පැතිරෙන අතර රෝග ලක්ෂණ අතර දැඩි ලෙස කැසීමක් ඇතිවීම, ඇසි පිය රතු වීම සහ නින්දට බාධා ඇති වීම පෙන්වා දෙයි. ආසාදනය සාමාන්‍ය අක්ෂි ආසාදනයකට සමාන නොවන බැවින් එය හඳුනා ගැනීම දුෂ්කර විය හැකිය.

එක්සත් ජනපද ජෛව තාක්‍ෂණ තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථාන‍යේ වෙබ් අඩවියේ දක්වා ඇති තොරතුරු අනුව, Phthiriasis palpebrarum, phthiriasis ciliaris හෝ ciliary phthiriasis ලිංගාශ්‍රිත උකුණන් ලෙස ද හැඳින් වෙන බහිෂ්පරපෝෂිතයෙකි.

උකුණන් ඇස්වලට ඇතුළු වන්නේ කෙසේ ද?

නිල් පැහැති තිර රෙද්දක් ඉදිරිපස කළු පැහැති අත්දිග කමිසයක් අත් මැණික් කටුවෙන් ඉහළට නවා කැමරාව දෙස බලා සිටගෙන සිටින වෛද්‍ය ප්‍රකාශ් කටාරියා

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය ප්‍රකාශ් කටාරියා

"මෙය ඉතා දුර්ලභ රෝගයක්. මේ කීටයන් මදුරුවන් දමන බිත්තර තුළ සිටින කීටයන් වර්ගයට සමාන වර්ගයක්. බොහෝ විට, මෙය සිදුවන්නේ ආසාදනයක් නිසා, සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවතින දුර්වලතා හෝ රෝගියා ඔහුගේ ඇස් කසන විට පවා," අහමදාබාද්හි ධෲව් රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු වන හර්ෂාඩ් අගජා බීබීසීයට පැවසුවේය.

"අපගේ වෘත්තීය දිවියේදී අපි වසර ගණනාවකට පෙර අහමදාබාද්හි ෂර්දාබෙන් රෝහලේදී එවැනි සිද්ධියක් දුටුවා. නමුත් මෙම අවස්ථාව ඉතා ම දුර්ලභයි."

විවිධ ආකාරයේ පරිසර හෝ නිවසේ ඇති කොට්ට හේතුවෙන් උකුණන් ශරීරයට ඇතුළු විය හැකි වීම මීට හේතුවයි.

"මෙම රෝගය මිනිසුන් තුළ මෙන් ම ගවයන් තුළ ද සොයාගෙන තිබෙනවා. අපි සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරනවා නම්, මෙවැනි උකුණන් ඇඳ ඇතිරිලි, කොට්ට හෝ ඇඳුම්වල පවා ඉඳලා හමුවෙන්න පුළුවන්," වෛද්‍ය ම්‍රිගන්ක් පවසයි.

"තවත් එක හේතුවක් තමයි මෙම රෝගය අහම්බෙන් ඇති වෙන්නත් පුළුවන්. යම් අයෙකු වනාන්තරයක් වගේ තැනකට ගිහිං හෝ ගවයන් ස්පර්ශ වුණා ම, උන් ඇඟට ඇලිලා ඉඳලා ඔළුවට ගිහිං ඇහි පිහාටුවලටත් එන්න පුළුවන්."

"මෙම රෝගය අතිශයින් දුර්ලභ තත්ත්වයක් පමණක් නෙවෙයි, එය පළමු වතාවට ගුජරාටයෙන් වාර්තා වුණේ. නමුත් මේ උකුණන් දකුණු ඉන්දියාවේ බහුලව දක්නට ලැබෙනවා. මාර්තු-අප්‍රේල් මාසවල තමයි ගොඩක් ම දකින්න පුළුවන්," අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය අලප් බවිෂි බීබීසීයට පැවසුවේය.

"මේ රෝගය එතරම් සංකීර්ණ නැහැ, නමුත් ඇසෙන් උකුණන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ වගේ ම සූක්ෂම ලෙස සිදු කළ යුතුයි. හේතුව කීටයන් මරා දැමිය හැකි කිසිදු ඖෂධයක් නැහැ. ඒ නිසා, උකුණන් එකින් එක අල්ලලා ඇසෙන් ඉවත් කළ යුතුයි. උන්ව සම්පූර්ණයෙන් ම මරා දැමිය හැකි ඖෂධයක් නැහැ. ඒ විතරක් නෙවෙයි, උන් ආලෝකයට බිය නිසා, ආලෝකය නොමැතිව උන් ඉවත් කළ යුතුයි, ඒක තමයි අමාරු ම දේ."

හිසේ සිටින උකුණන් සහ ඇසි පිය මත සිටින උකුණන් අතර වෙනස කුමක් ද?

සවර්කුන්ඩලාහි ශ්‍රී ලල්ලුබායි ෂේත් රෝහලේ ඉදිරිපස

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

ඡායාරූප ශීර්ෂ වැකිය, සවර්කුන්ඩලාහි ශ්‍රී ලල්ලුබායි ෂේත් රෝහල

"ඔළුවේ ඉන්න උකුණන් සහ ඇසේ ඉන්න උකුණන් වෙනස්. ඇසේ ඉන්න උකුණන් ඇසේ පිහාටු මත චලනය වන අතර ආලෝකයෙන් පලා යනවා. අනතුරුව සම්පූර්ණයෙන් ම අඳුරු බවින් යුතු ඇහිපිල්ලම් තුළ මෙම උකුණන් ජීවත් වෙනවා," වෛද්‍ය ඇලප් බවිෂි බීබීසීයට පවසයි.

"අස්වැන්න නෙළන සමයේදී හුළඟට වෙනත් අංශු වැනි කොටස් එක්ක පාවෙලා පිරිසිදු බවින් අඩු පුද්ගලයින්ගේ ඇස්වලට මේ වර්ගයේ උකුණන් ඇතුළු වෙනවා. ඒවා වේදනාකාරී නොවන නිසා මුල් අවධියේදී හඳුනා ගැනීම දුෂ්කරයි."

"උකුණන් වර්ග කිහිපයක් ඉන්නවා. ඔළුවේ ඉන්න උකුණන්. ප්‍රජනක ඉන්ද්‍රීන් අවට රෝමවල ඉන්න උකුණන්. මේ උකුණන් පියවි ඇසින් දකින්න බැහැ, උන්ව අන්වීක්ෂයකින් පමණයි බලන්න පුළුවන් වෙන්නේ."වෛද්‍ය ම්‍රිගන්ක් පවසයි.

"මෙම උකුණන් පෙනුමෙන් විනිවිද පේනවා. ඒ නිසා උන් සමට සම්බන්ධ වුණා ම, දකින්න අපහසුයි. උකුණන් තුළ රුධිරය සංසරණය වන ආකාරය අන්වීක්ෂයක් මගින් බලන්න පුළුවන්. මෙය උකුණන්ගේ ශරීර කොටස් පිළිබඳ අදහසක් ද ලබා දෙනවා."

මූලික රෝග ලක්ෂණ

හිස ඉහළ කොටසේ තට්ට්ටය පෑදී ඇති පුද්ගලයෙක් කණ්නාඩියක් දෙස හැරී දෑතින් තම හිස පරීක්ෂා කරමින්. ඔහුගේ පසුපසින් එය දර්ශනය වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම වර්ගයේ උකුණන්ට හිසකෙස්වල සිට ඇස් වෙත ළඟා විය හැකි ය (සංකේතාත්මක රූපයක්)

වෛද්‍ය ම්‍රිගන්ක් පවසන්නේ රෝගියා සූරත්හි ජීවත් වූ අතර සවර්කුන්ඩලා ප්‍රදේශයේ ද නිවසක් තිබූ බව ය. සවර්කුන්ඩලාහි නිවස බොහෝ දුරට වසා දමා තිබී ඇත. එබැවින්, උකුණන් ඇතිවීමට හේතුව නිවස වසා දමා තිබීම සහ නිවස වටා ගවයින් සිටීම විය හැකි ය.

රෝග ලක්ෂණ අතරට ඇස්වල වේදනාව, ඇස් නිරන්තරයෙන් කැසීම සහ නින්ද නොයාම ඇතුළත් විය හැකි බව වෛද්‍ය ම්‍රිගන්ක් පවසයි.

ඇසි පියවල විවිධ ප්‍රදේශවලින් ශ්‍රාවයක් පිටවීම මෙන් ම ඇස් පිය ඉදිමීම මූලික රෝග ලක්ෂණ වන අතර, ඒවා කැසීම ඇති වීමට හේතු වේ. මෙම තත්ත්වය සම ආසාදනය වීමෙන් හට ගනී.

මෙවැනි රෝග වළක්වා ගැනීමට ගත යුතු පූර්වාරක්ෂ පියවර මොනවා ද?

"රෝගීන් දිනකට දෙවරක් හෝ තෙවරක් තම අත් සහ විශේෂයෙන් මුඛය සේදිය යුතු‍යි. මේ වගේ අවස්ථාවලදී ළමුන් සහ වැඩිහිටියන් බොහෝ සෙයින් පීඩාවට පත්වනවා. තරුණයින් තුළ මෙම සිදුවීම් දක්නට ලැබෙනවා අඩුයි," වෛද්‍ය හර්ෂද් අඝාජා පවසයි.

"පළමුවෙන් ම, ඕනෑ ම පුද්ගලයෙකුට ඇස් සම්බන්ධයෙන් එවැනි සැක සහිත තත්ත්වයක් තිබෙනවා නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. ඒත් සහනයක් නොමැති නම්, ඔවුන් පළපුරුදු වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. ඇස පිළිබඳ පවතින ගැටලු සැහැල්ලුවට ගැනීම අනාගතයේදී වැඩි හානියක් සිදු කළ හැකි දෙයක්. නිවසේදී පිරිසිදුකම පවත්වා ගැනීම ද වැදගත් වෙනවා," වෛද්‍ය ප්‍රකාශ් කටාරියා පවසයි.