ලෝකයේ ඇති 'භයානක ම රෝගයක්' වන සෙප්සිස් ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද?

සෙප්සිස් බැක්ටීරියාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

වසරකට ලෝකයේ පුද්ගලයින් මිලියන 11කට පමණ ජීවිත අහිමි කරන සෙප්සිස් හෙවත් ලේ විෂවීමේ රෝග තත්ත්වය පිළිබඳව දැඩි ලෙස අවදානය යොමු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

ලෝකය පුරා ම සෙප්සිස් රෝගීන් මිලියන 50කට ආසන්න පිරිසක් වසරකට වාර්තා වන බව සෞඛ්‍ය දත්තවලින් අනාවරණය වී ඇත.

ලෝක සෙප්සිස් දිනය සැප්තැම්බර් 13 වන දාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති හමුවකදී මෙම රෝගී තත්ත්වය පිළිබඳ කරුණු රැසක් අනාවරණය විය.

සෙප්සිස් රෝගය යනු කුමක් ද?

නිර්වින්දන හා දැඩි සත්කාර වෛද්‍ය සංගමයේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පියුෂා ජයවර්ධන සෙප්සිස් තත්ත්වය සම්බන්ධව මෙලෙස පැහැදිලි කළා ය.

"සෙප්සිස් කියන්නේ ඕනෑ ම ආසාදනයකින් පසුව ඇති වන සංකූලතාවක්."

"සෙම්ප්‍රතික්ෂාවක් වගේ, මුත්‍රා දැවිල්ලක් වගේ ඇති වුණොත් ඒක සමහර අයගේ හොඳ තත්ත්වයකට හැරෙනවා. නමුත් සමහර පුද්ගලයන්ගේ ඒක තවදුරටත් උඩු දුවලා යන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයකදී ඒ විෂබීජ මුළු ශරීරයේ ම පැතිරීම මගින් ශරීරයේ ම ප්‍රතිශක්තිකරණය වැරදි විදියට, ශරීරයට ම හානි කිරීමක් තමයි සෙප්සිස් කියලා අපි කියන්නේ," වෛද්‍යවරිය පැවසුවා ය.

නියුමෝනියාව, මුත්‍රා ආසාදන හෝ කටුවකින් සිදුවන තුවාලයක් වැනි ඕනෑ ම තත්ත්වයක් සෙප්සිස් දක්වා වර්ධනය විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරිය අනතුරු ඇඟවීය.

සමාන්‍ය ආසාදනයක් සෙප්සිස් තත්ත්වය දක්වා වර්ධනය වීමේදී මරණයට පත්වීමේ අවදානම ද ඉහළ යන බව ඇය අවධාරණය කළා ය.

"සෙප්සිස් තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත්, ඉක්මන් ප්‍රතිකර නොලැබුණොත් සෙප්සිස් කම්පන තත්ත්වයක් දක්වා වුණත් යන්න පුළුවන්. ඒ කම්පන තත්ත්වයකට රෝගියෙක් යොමු වුණොත් මරණය සිදු වීමේ ප්‍රතිශතය 40%ක් හෝ ඊට වැඩි යි කියලා තමයි අපිට දත්තවලින් ලැබිලා තියෙන්නේ."

රෝග ලක්ෂණ මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සමාන්‍ය ජනතාව අතර මෙන් ම ඇතැම් සෞඛ්‍ය අංශවල ද සෙප්සිස් තත්ත්වය පිළිබඳ ඇති දැනුම අඩු බව පැවසූ විශේෂඥ වෛද්‍ය පියුෂා ජයවර්ධන සෙප්සිස් තත්ත්වය හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කළා ය.

"යම් ආසාදන තත්ත්වයක් ශරීරයේ තියෙන බවක් පෙන්නුම් කරන්න ඕනේ. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සමහර විට හුස්ම ගැනීමේ අපහසුතාව, මුත්‍රා දැවිල්ල එවැනි දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒ ඕනෑ ම එකක් වෙනත් රෝග තත්ත්වවලදීත් ඇති වෙන ලක්ෂණ වෙන්න පුළුවන්. එතකොට අපි දැන ගන්න ඕනේ ඒ ගැන පොඩි සැකයක් තියාගෙන ඉන්න මේක සෙප්සිස් තත්ත්වය විය හැකි ද? කියන ප්‍රශ්නය අපි නිතර ම නැගිය යුතු යි."

උණ, දැඩි හුස්ම ගැනීමේ අපහසුතා, සිහිකල්පනාව මද ගතිය, සමේ පැහැයේ වෙනසක් ඇති වීම, අධික ලෙස ඩහදිය දැමීම, මුත්‍රා පිටවීම අඩු වීම වැනි ලක්ෂණ සමාන්‍ය ආසාදනයක් සෙප්සිස් තත්ත්වයක් දක්වා වර්ධනය වන බවට ලක්ෂණ විය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරියා පෙන්වා දුන්නා ය.

අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වන සෙප්සිස් රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළා ය.

"ප්‍රතිජීවක ඖෂධ තමයි අපි නියම කරන්නේ. සොයාගෙන තියෙනවා ඒ ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාද වන සෑම පැයට ම 10%ක මරණය ඇති වීමේ අවස්ථාව වැඩි වෙනවා කියලා. විනාඩි 10ක ප්‍රමාදයක් වුණොත් 100%ක මරණයක් එන්න පුළුවන් දැඩි සෙප්සිස් තත්ත්වයක නම්."

sepsis

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මරාන්තික සෙප්සිස් රෝගයේ වැඩි අවදානම කාට ද?

"සෙප්සීස් රෝගය අපි සලකනවා පපුවේ අමාරුවක් හැදිලා එන රෝගියෙක් වගේ ම හදිස්සි රෝග තත්ත්වයක් විදියට. ඒ තරම් බරපතළ යි," පියුෂා ජයවර්ධන විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ, කුඩා ළමුන්, ගැබිනි මව්වරුන්, වයස්ගත පුද්ගලයන්, ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්, දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සෙප්සිස් රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇති බව ය.

රෝගය වළක්වා ගන්නේ කෙසේ ද?

"සෙප්සිස් රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා උදව් වෙනවා ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට අනුව හරියට ම ඒ අදාළ වෙලාව තුළ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම. උණුකර නිවාගත් වතුර පානය කිරීම. වැදගත්ම කාරණාව දෑත් සේදීම. ඒක තමයි වැදගත් ම ක්‍රමය විෂබීජවලින් ඇති වන තත්ත්වවලින් වැළකීමට," රෝගය වළක්වා ගත හැකි ක්‍රම වෛද්‍යවරිය පැවසුවා ය.

සෙප්සිස් රෝගය හේතුවෙන් ශරීර අවයවවලට දැඩි හානි සිදුවන අතර, සෙප්සිස් රෝගයෙන් මිය නොයන බොහෝ රෝගීන් වසර ගණනාවක් පවතින මානසික හා ශරීරික දුර්වලතාවලට ලක් වන බව නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පියුෂා ජයවර්ධන සඳහන් කළා ය.

ලෝකයේ මරණ පහකින් එකකට හේතුව සෙප්සිස් බව දන්නවා ද?

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විනෝදනී වනිගසේකර පෙන්වා දෙන්නේ, සෙප්සිස් රෝගීන් වාර්තා වන හා මිය යන සංඛ්‍යාවට වැඩි ගණනක් ලොව පුරා සිටිය හැකි බව ය.

"මුළු ලෝකයේ ම ගත්තොත් මේ තත්ත්වයෙන් පීඩා විඳින ප්‍රමාණය මිලියන 47ත් 50ත් අතර හඳුනා ගන්නවා වර්ෂයකට. මේ හඳුනාගත්ත ඒවායෙන් මිලියන 11ක් පමණ මරණයට පත් වෙනවා. මීටත් වඩා මේ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් මොක ද අපි වගේ රටවල්වල සංඛ්‍යා ලේඛන රැස් කිරීම අඩුයි."

ලෝකයේ සිදුවන සෑම මරණ පහකින් එකක් ම සෙප්සිස් තත්ත්වය හා බැඳුණ මරණ ලෙස හඳුනාගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය විනෝදනී වනිගසේකර සඳහන් කළා ය.