ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත වැසියන්ගේ හිසකෙස් ගැලවී යාමේ අභිරහසක්

To investigate whether hair loss among people is caused by fungal infections, biopsies and blood tests were conducted on some individuals

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක ජනතාවගේ හිසකෙස් ගැලවී යාමේ අභිරහස් සිදුවීමක් නිසා ප්‍රාන්ත වැසියෝ දැඩි ලෙස ව්‍යාකූලත්වයට පත්ව සිටිති. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, 2025 ජනවාරි සිට, වයස අවුරුදු හතරේ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 200කට වැඩි පිරිසක් වේගවත් හා අනපේක්ෂිත ලෙස හිසකෙස් ගැලවී යාම් පිළිබඳ වාර්තා කර තිබේ.

ඇතැමුන් සම්පූර්ණයෙන් ම හිස් කෙස්වලින් තොර තත්ත්වයට පත් වී ඇති අතර, මේ නිසා ඔවුන් තුළ කනස්සල්ල හා භීතියක් හට ගෙන තිබේ. බලධාරීහු ඊට හේතු සොයමින් සිටිති.

ෂෙගෝන් තාලූකාවේ පහුර්ජිරා ගම්මානයේ වෙසෙන ආනන්ද් (සැබෑ නම වෙනස් කර ඇත), මෙම තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ගෙන් කෙනෙකි. 2024 දෙසැම්බර් 31 දින සිට ඔහුගේ හිසකෙස් ගැලවී යාමට පටන් ගත්තේ ය. පසුව ඔහු කරණවෑමියෙකු වෙත ගොස් සම්පුර්ණයෙන් ම හිස මුඩු කර ගත්තේ ය. ඊට පසු, ඔහුගේ හිසකෙස් නැවත වර්ධනය වූ නමුත් පසුව නැවතත් හිසකෙස් වැටීම ආරම්භ වි තිබේ.

මෙම තත්ත්වය ආරම්භ වන්නේ, හිස් කබලේ ඇති වන කැසීමකින් වන අතර පසුව හිසකෙස් වේගයෙන් ගැලවී යයි. ඇතැම් අයගේ හිසකෙස් නැවත වර්ධනය වූ නමුත් ඊට හේතුව කුමක් දැයි තවමත් පැහැදිලි වී නොමැත.

දැනට, ඉන්දියාවේ විකල්ප වෛද්‍ය අමාත්‍යාංශය හෙවත් ආයුෂ් අමාත්‍යාංශය රෝගීන්ගේ රෝග ලක්ෂණ මත පදනම්ව හෝමියෝපති ඖෂධ ලබා දෙයි.

රජය, විශේෂඥයින් සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) මෙම සංසිද්ධිය සඳහා විය හැකි හේතුව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ බෝපාල්, චෙන්නායි, පූනේ සහ දිල්ලියේ විද්‍යාඥ කණ්ඩායම් මෙම තත්ත්වය පවතින ගම්මානවලට ගොස් රෝගීන්ගේ හිසකෙස්, නිය, ලේ, මුත්‍රා සහ ප්‍රාදේශීය ජල මූලාශ්‍රවල සාම්පල එක් රැස් කළහ. මෙම සාම්පල අකෝලා රජයේ වෛද්‍ය විද්‍යාලයේදී විශ්ලේෂණය කර ඇත.

"මෙය දිලීර ආසාදනයක් නිසා ඇති වූවක් නොවන බව බයෝප්සි සහ රුධිර පරීක්‍ෂණවලින් පැහැදිලිව ම තහවුරු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එය නිශ්චිත රෝගයක් ලෙස වර්ගීකරණය කරන්නත් තාම හැකියාවක් නෑ. තත්ත්වය නිශ්චිතව දැන ගැනීම සඳහා පර්යේෂණ සිදු කරනවා. ජල මූලාශ්‍ර පිළිබඳ අධ්‍යයනයන් ද සිදු කරනවා," වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති වෛද්‍ය මීනක්ෂි ගජ්බියේ බීබීසී මාරාති සේවය වෙත පැවසුවේ ය.

වෛද්‍ය විද්‍යාලයේ කණ්ඩායමක් ද ගම්වල සංචාරයක නිරත විය.

"මෙය දිලීර ආසාදනයක් බව ප්‍රකාශ කළ නොහැක්කේ දිලීර ආසාදනවලදී එවැනි වේගවත් හිසකෙස් ගැලවී යාමක් සාමාන්‍යයෙන් සිදු නොවන නිස යි," බුල්දානා දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය අමෝල් ගයිට් බීබීසී මාරාති සේවයට පැවසීය.

හිසකෙස් වැටීම සහ සමාජයෙන් කොන් කිරීම

sudden hair loss has caused social problems for some villagers.
ඡායාරූප ශීර්ෂ වැකිය, හිසකෙස් ගැලවී යාම හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ට සමාජයේ වෙනස් ලෙස සැලකීම්වලට මුහුණ දීමට සිදුවී ඇත

මෙම තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගම්මානවල ජනතාව සමාජයෙන් වෙන් කර තැබීමේ තත්ත්වයට මුහුණ පා සිටිති.

බීබීසී මාධ්‍යවේදීන් එහි ගිය විට ඇතැම් තරුණ තරුණියන් ඉදිරියට ඇවිත් කතා කිරීමට පවා බිය විය.

විවාහයන් පවා නවතා දමා ඇති අතර, හිසකෙස් ගැලවී යන අය සමාජීය කටයුතුවලින් ඉවත් කර ඇත. සමහර සිසුන් පාසලේදී සහ විද්‍යාලයේදී හාස්‍යයට ලක්වන බවට ද පැමිණිලි ලැබී ඇත.

"මගේ පුතාගේ කොණ්ඩය ගිහින්. ඔහුගේ විවාහය පිළිබඳව සිදුකරන සාකච්ජා පවා නැති වෙලා. මගේ පුතා ගමේ කිසිවෙකු ඉදිරියට එන්නේ නැහැ," 55 හැවිරිදි පාර්වතී (නම වෙනස් කර ඇත) එසේ පැවසීය.

60 හැවිරිදි කාවේරි ධලෝකාර්ගේ කොණ්ඩය ඇගේ ඉණට තරම් දිගුව වැවී තිබුණු නමුත් දැන් ඇගේ හිසකෙස් ගැලවී ගිය ස්ථාන කිහිපයක් දක්නට ලැබේ.

"මුලින් ම කෙස් ටිකක් ගැලවිලා ගියා. ඊට පස්සෙ මම කොණ්ඩෙ පීරුවා. ඒ වෙලාවේදී කොණ්ඩෙ ගොඩක් ගැලවිලා ගියා. කොණ්ඩේ හෝදද්දි ඔක්කොම ගැලවිලා ගියා. කොණ්ඩෙ ගොඩක් ගැලවෙන එක දුක යි," ඇය පැවසුවා ය.

60-year-old Kaveri Dhalokar has collected the hair that has fallen out
ඡායාරූප ශීර්ෂ වැකිය, කාවේරි ධලෝකාර් ඇගේ ගැලවී ගිය හිසකෙස් සියල්ල බෑගයක දමාගෙන සිටී

හිසකෙස් ගැලවී යාම බෝවන තත්ත්වයක් නොවන බවට සහතික කිරීම වෙනුවෙන් දිල්ලිහි පිහිටි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යායතනයේ (AIIMS) විශේෂඥ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය සෝමේෂ් ගුප්තා එම ප්‍රදේශයට ගොස් තිබේ.

"මුලදී හිසකෙස් ගැලවී ගිය අයගේ හිසකෙස් නැවත වර්ධනය වීමට පටන් ගෙන තිබෙනවා. මෙම ගැටලුව දිගු කලක් පවතිනු ඇතැයි මම හිතන්නේ නැහැ. හිසකෙස් ආයෙත් වර්ධනය වීමත් හොඳයි," ඔහු බීබීසීයට පැවසුවේ ය.

"එය වෛරස් ආසාදනයක් කියලා පෙනෙන්නට නැහැ. ඒ වගේ ම එය බෝවන බවක් ද පෙන්නුම් කරන්නේ නැහැ," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

"රෝගීන් ෂැම්පු සහ තෙල් භාවිත කරන විට ප්‍රවේශම් විය යුතු යි. ඔවුන් තමන්ගේ ම පනා භාවිතා කළ යුතු යි. කලබල වෙන්න හොඳ නෑ," යනුවෙන් ජාතික ඒඩ්ස් පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ශීලා ගොඩ්බෝලේ පැවසුවා ය.

Investigations continue in affected areas to find out the reason for the hair loss
ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 ජනවාරි මාසයේ සිට, වයස අවුරුදු හතරේ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 200කට වැඩි පිරිසක් වේගවත් හා අනපේක්ෂිත ලෙස හිසකෙස් ගැලවී යාම ගැන දැනුම් දී ඇත.

කොවිඩ් -19 වසංගතය අතරතුර ඉහළ මානසික ආතතිය වැනි සිදුවීම් හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ගේ තාවකාලික හිසකෙස් වැටීමේ සිදුවීම් සඳහා හේතු වී ඇති අතර, බුල්දානාහි මෙන් හදිසි, දේශීය සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැත.

පරිසර දූෂණය බොහෝ විට එවැනි අවස්ථාවන්හිදී හේතු අතර ඉදිරියෙන් පවතින අතර, නිලධාරීන් ජල මූලාශ්‍ර පරීක්ෂා කිරීම සහ වෙනත් පාරිසරික සාධක සොයා බැලීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත.

බලපෑමට ලක්වූ ගම්මානවල භූගත ජල සාම්පල විශ්ලේෂණය කර ඇති අතර, ජලය පානය කිරීමට ආරක්ෂිත බව සහතික කිරීම සඳහා පූර්වාරක්ෂාවක් ලෙස සියලු ම ප්‍රාදේශීය ජල මූලාශ්‍ර ක්ලෝරීන් යොදා පිරිසිදු කිරීමට දිස්ත්‍රික් පරිපාලනය උපදෙස් දී ඇත.