බර අඩු කරන ඖෂධ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන බවට අනාවරණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජේම්ස් ගැලඝර්
- Role, සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු
බර අඩු කර ගැනීමේ ඖෂධවලට සමස්ත සෞඛ්‍ය කෙරෙහි එල්ල කළ හැකි බලපෑම් පරීක්ෂා කරන පළමු අධ්‍යයනයෙන්, වැදගත් කරුණු රාශියක් අනාවරණය වී ඇති බව පර්යේෂකයෝ පවසති.
මිලියන දෙකක පමණ පිරිසක් මත පදනම් වූ මෙම විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මෙම ඖෂධ හේතුවෙන් හෘද සෞඛ්‍යය යහපත් අතට හැරී ඇති බවත්, ආසාදන මට්ටම් අඩු වී ඇති බවත්, අනිසි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමේ අවදානම මෙන් ම ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය අඩු වී ඇති බවත් ය.
එහෙත්, මෙම ඖෂධවල අතුරු ආබාධ ද ඇති බවට ඇමෙරිකානු පර්යේෂකයෝ අනතුරු අඟවති. මේ ඖෂධ නිසා සන්ධි වේදනාව වැඩි වීම මෙන් ම, ඇතැම් විට මාරාන්තික විය හැකි අග්න්‍යාශයේ දැවිල්ල ඇතුළු තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතී.
කෙසේ වෙතත්, මේ ප්‍රතිඵල ඉතා ප්‍රවේශමෙන් අර්ථ දැක්විය යුතුව තිබේ.
බර අඩු කර ගැනීමේ ඖෂධ අතිශය ජනප්‍රිය වී ඇති මුත්, එයින් සමස්ත අවයව සියල්ලට ම වන බලපෑම ගැන පූර්ණ අවබෝධයක් තවමත් ලැබී නොමැත.
"මෙය තවමත් ගවේෂණය නොකළ අලුත් පැත්තක්," බව වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සායනික වසංගත රෝග විද්‍යාඥ, ප්‍රධාන පර්යේෂක වෛද්‍ය සියාද් අල්-අලී පවසයි.
මුලදී දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා ප්‍රතිකාරයක් ලෙස ලබා දුන් මෙම ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු අන්දමින් බර අඩු වීම සිදු විය. ඒ සමග ම ඔසෙම්පික් සහ වෙගෝවි එදිනෙදා ඇසෙන නම් බවට පත් විය.
දෙවන වර්ගයේ දියවැඩියාව ඇති එක්සත් ජනපද හමුදා නිලධාරීන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කරන ලද මෙම අධ්‍යයනයේදී, වෙනත් රෝගාබාධ 175ක් සඳහා එහි ඇති බලපෑම් මැනීමට, ඇතැමුන්ට ඔසෙම්පික් හෝ වෙගෝවිත්, අනෙක් අයට සම්මත ඖෂධත් ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම නව බර අඩු කර ගැනීමේ ඖෂධ, හෘද සෞඛ්‍යයට සැලකිය යුතු ලෙස ප්‍රතිලාභ ලබා දුන් අතර, ඒවා ලබා ගත් අය, හෘදයාබාධ, ආඝාත, හෘද අකර්මණ්‍ය වීම සහ අධි රුධිර පීඩනය ආදියට මුහුණ දී තිබුණේ අවම මට්ටමකිනි.
එමෙන් ම, මෙම ඖෂධ භාවිත කළ අය තුළ, අනිසි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට (මත්පැන්, ඔපියොයිඩ් සහ ගංජා ඇතුළුව) පෙළඹීමේ අවදානම අඩු වූ අතර භින්නෝන්මාදය, සියදිවි නසා ගැනීමේ සිතුවිලි සහ වෙව්ලීම් තත්ත්වයන් ද අඩු විය.
සහභාගිවන්නන් වසර 3.5ක් වැනි කාලයක් පමණක් ඖෂධ භාවිත කිරීමට යොමු කළ මෙම අධ්‍යයනය කෙටි එකක් වුවත්, එහිදී ඇල්සයිමර් රෝගයේ 12% ක අඩුවීමක් පෙන්නුම් කළේ ය.
එමෙන් ම, ඔවුන් තුළ අක්මා පිළිකා, මාංශ පේශි වේදනාව සහ නිදන්ගත වකුගඩු රෝග මෙන් ම බැක්ටීරියා ආසාදන හා උණ ඇති වීමේ කැපී පෙනෙන අඩුවීමක් ද දක්නට ලැබිණි.
මෙහි අහිතකර බලපෑම ලෙස ඔවුන්ට ආහාර ජීර්ණ ගැටලු ඇතිවීමේ ඉඩ වැඩි විණි. ඔක්කාරය, බඩේ වේදනාව, දැවිල්ල, ඩිවර්ටිකුලයිටිස් (වේදනාකාරී බඩවැල් ඉදිමීම) සහ රක්තවාතය, ඔසෙම්පික් හෝ වෙගෝවි භාවිත කළ අය තුළ බහුලව දක්නට ලැබිණි.
සැබවින් ම 'දෑස් විවර කරන අන්දමේ' හෙළිදරව්වක්
Nature Medicine ප්‍රකාශයට පත් කරන ලද දත්තවලට අනුව, අඩු රුධිර පීඩනය, ක්ලාන්ත වීම, හිසරදය, නින්දට බාධා වීම, වකුගඩුවල ගල්, වකුගඩු දැවිල්ල සහ ආතරයිටිස් ඇතුළු විවිධ අස්ථි හෝ සන්ධි වේදනාවන් වැඩි වීමක් ද පෙන්නුම් කර තිබිණි.
"විවිධ අවයව පද්ධතිවලට මේ ඖෂධ බලපෑම් කරන ආකාරය ඇත්තෙන් ම 'දෑස් විවර කරන අන්දමේ' හෙළිදරව්වක්," යි ආචාර්ය ඇලි බීබීසී ප්රවෘත්ති වෙත පැවසීය.
මේ පුළුල් බලපෑම පැහැදිලි ය. එමෙන් ම තේරුම් ගැනීමට අපහසු යි."
අතිරික්ත බර අඩු කර ගැනීමෙන් සෞඛ්‍යය වැඩි දියුණු වෙයි. නිදසුනක් වශයෙන්, ස්ලීප් ඇප්නෝයා හෙවත්, නින්දේදී හුස්ම ගැනීම නතර වන විට සහ නැවත ආරම්භ වන විට ශ්වසන මාර්ගය අවහිර වීම, දිව සහ උගුර වටා බර අඩු කර ගැනීම නිසා පහත වැටෙනු ඇතැයි සැලකේ.
නමුත් මෙම ඖෂධ ශරීරයේ සෛල හා පටකවල හැසිරීම සෘජුව ම වෙනස් කරන බව පෙනේ.
වෛද්‍ය ඇලි මෙසේ පවසයි. "තරබාරුකම මොළයට අහිතකර යි. එමෙන් ම තරබාරුකම මානසික සෞඛ්‍යයට ද අහිතකර යි. තරබාරුකම හදවතට අහිතකර යි. තරබාරුකම හැම ලෙඩක ම මුල වෙන්න පුළුවන්."

ඡායාරූප මූලාශ්‍රය, Matt Miller/WashU Medicine
ඔසෙම්පික්වල සහ වෙගෝවිවල ඇත්තේ එක ම ක්‍රියාකාරී අමුද්‍රව්‍යයකි. එහි සෙමග්ලූටයිඩ් විවිධ මාත්‍රාවලින් ඇති අතර, එය 'ග්ලූකගන් වැනි පෙප්ටයිඩ -1' හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට සමාන ය.
ආහාර ගැනීමෙන් පසු බඩවැල් මගින් මුදා හරින ලද GLP-1 රුධිරය හරහා ගමන් කරන අතර, මොළයේ සෛල මතුපිට ඇති කුඩා ප්‍රතිග්‍රාහකවලට ඇලී සිටී.
මෙය ආමාශයේ ආහාර ඇති බව මොළයට දැනුම් දෙන අතර, ආහාර ගැනීමෙන් පසු මිනිසුන්ගේ කුසගින්න අඩු වන්නේ එබැවිනි.
කෙසේ වෙතත්, GLP-1ට ප්‍රතිචාර දක්වන ප්‍රතිග්‍රාහක, හෘදයේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සමහර කොටස්වල ද ඇතුළුව ශරීරය පුරා දක්නට ලැබේ.
"මෙම වර්ගයේ ඖෂධ මොළයේ ප්‍රතිචාර යාන්ත්‍රණ මර්දනය කරන බව ඉතා පැහැදිලි යි. එබැවින් එය මත්පැන්, දුම්කොළ සහ සූදුව වැනි දේ පරිභෝජනය කිරීමේ ඕනෑකම වළක්වනවා," යි ආචාර්ය ඇලි පැවසීය.
එමෙන් ම, මේ අතරේ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අනතුරු ඇඟවීමේ සීනුව ලෙස ක්‍රියා කරන දැවිල්ල දැනීමේ මට්ටම් අඩුවීම, සෞඛ්‍යයට පුළුල් පරාසයක බලපෑම් ඇති කරයි.
'ඔසෙම්පික් දරුවන්'
මෙම ඖෂධවල සෞඛ්‍ය ප්‍රතිලාභ පරාසය හේතුවෙන්, ඖෂධ භාවිත කරන්නන් ඒ සඳහා දිරිමත් විය හැකි බව වෛද්‍ය ඇලි පවසයි.
"මෙම තත්ත්වයන් නිසා සැබවින් ම අවදානමට ලක්ව ඇති පුද්ගලයින්ට මෙම අමතර සෞඛ්‍ය ප්‍රතිලාභ අමතර වාසි සපයනවා,"යි ඔහු පැවසීය.
නමුත් සෞඛ්‍යයට බලපාන අන්දමේ අධික බරක් නොමැති පුද්ගලයන් සඳහා, ඇතැම් විට "ඔවුන් ම 'මිලදී ගන්නා' මේ අවදානම, ඉන් ඔවුන් ලබන ප්‍රතිලාභවලට වඩා ගොඩක් වැඩි යි".
කෙසේ වෙතත්, මෙම අධ්‍යයනයේ අඩුපාඩු සහ සීමා තිබේ.
මෙම අධ්‍යයනයට සභාගි වූවන්ගෙන් වැඩි දෙනා සුදු පිරිමින් වූ බැවින්, මෙම ඖෂධයෙන් සරු බව වැඩි වීම හෝ අනපේක්ෂිත "ඔසෙමික් ළදරුවන්" ඉපදීම වැනි කාන්තාවන්ට විශේෂිත කිසිදු බලපෑමක් එයට ඇතුළත් වී නැත.
එමෙන් ම, වෙනත් ඖෂධවලට වඩා සමහරුන්ට ඔසෙම්පික් හෝ විගොවි නියම කිරීමට ඇති හේතුවලින් ද මේ සොයා ගැනීම්වල ඇතැම් කරුණු පැහැදිලි කර දෙනු ඇත.
ආරක්ෂිත බලපෑම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පූර්ණ සායනික අත්හදා බැලීම් දැනටමත් හෘද සෞඛ්‍යයට ඉන් ලැබෙන ප්‍රතිලාභ මෙන් ම ඔක්කාරය ඇති වීම වැනි අතුරු ආබාධය ද ඇති බව සනාථ කර තිබේ. නමුත් වෙනත් සොයා ගැනීම්වලට මෙන් ම මෙයට ද, වැඩි පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.
ඇල්සයිමර් රෝගය ආරම්භ වන්නේ, එහි රෝග ලක්ෂණ දිස්වීමට දශකයකට පමණ පෙර ය. නමුත් සෙමග්ලූටයිඩ් වසර කිහිපයක් ගැනීමෙන් ඇල්සයිමර් රෝගයට එරෙහි බලපෑමක් ඇති කරන බව මේ අධ්‍යයනය පෙන්වයි.
මෙම බලපෑම සැබෑ දැයි සොයා බැලීමට දැනටමත් අත්හදා බැලීම් සිදු වෙමින් පවතී.
ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවීඩ් සත්තාර් පැවසුවේ, "මෙවැනි අත්හදා බැලීම් අපව සත්‍යයට වඩාත් සමීප කරනු ඇත," යනුවෙනි.
"වාසනාවට... ඉදිරි වසර එකත් හතරත් තුළ ඉන් කිහිපයක් හෝ වාර්තා වේවි."
එමෙන් ම, මෙම අධ්‍යයන හරහා උනන්දුවක් ඇති වන අතරේ ම, මෙම නවතම අධ්‍යයනයේ සොයාගැනීම් මේ ඖෂධ නියම කරන ආකාරය කෙරෙහි බලපෑම් කිරීමට තරම් ශක්තිමත් නොවන බවත් ඔහු පැවසුවේ ය.
කේම්බ්රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍රීමත් ස්ටීවන් ඕ'රහිලි පැවසුවේ, මෙම අධ්‍යයන "ප්‍රවේශමෙන්" අර්ථ නිරූපණය කළ යුතු නමුත් දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ ඖෂධවල ආරක්ෂාව පිළිබඳව "ඵලදායී සහතිකයක්" ලබා දෙන බව ය.
එමෙන් ම අනෙකුත් රෝගීන් පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල ලැබෙන තෙක් "උද්යෝගයෙන් යුතුව බලා සිටියහ".
මෙහි "වඩාත් ම පුදුමසහගත සොයා ගැනීම" වූයේ බර අඩු කර ගැනීම නිසා සන්ධි මත පීඩනය අඩු වූවත්, බර අඩු වීම පෙන්වන මේ ඖෂධ නිසා සන්ධි වේදනාව වැඩි වීම ය.
නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සමහර සෛලවල GLP-1 ප්‍රතිග්‍රාහක තිබීමෙන්, මෙම ඖෂධවල බලපෑම "තරමක් අනපේක්ෂිත" වන බව පෙන්වන අතර ඒවාට සමහර වේදනාකාරී ආබාධ ලිහිල් කරන අතරේ ම අනෙක් ඒවා අනුමාන වශයෙන් උග්‍ර කළ හැකි යි," මහාචාර්ය ඕ'රහිලි පවසයි.














