ලිංගික සබඳතාවකදී HIVවලින් අරක්ෂා වීමට පිරිමි ඔබ දැනගත යුතු කරුණු

World AIDS Day

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 වසරේ වාර්තා වූ නව HIV වෛරස ආසාදිතයන්ගෙන් 88%ක් පිරිමි පුද්ගලයන් බව නොවැම්බර් 26 දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේළි පැවසුවා ය.

එය වසර 10කට කලින් පැවතියේ 2:1 අනුපාතයක් ලෙස බව ද ඇය පැවසුවා ය.

වර්තමානයේ HIV සමග ජීවත් වන අයගෙන් වැඩි ප්‍රතිශතයක් පිරිමි පුද්ගලයන් ය.

තව ද, 2023 වසරේ වාර්තා වී ඇති රෝගීන් 694න් 92 දෙදෙනෙකු වයස අවුරුදු 15 සහ 24 අතර තරුණයෝ වෙති.

වාර්තා වන පුද්ගලයින්ගෙන් බහුතරය පිරිමි වන්නේ ඇයි?

මෙලෙස වාර්තා වන්නන්ගෙන් බහුතරයක් පිරිමි වීම පිළිබඳව ද වෛද්‍යවරිය පැහැදිලි කළා ය.

"මේ විදිහට පිරිමි අය අතරින් වැඩි වශයෙන් වෛරසයෙන් වාර්තා වෙන්න ඒ අයගේ ලිංගික චර්යාවන් බලපානවා," ඇය පැවසුවා ය.

"2023 වාර්තා වුණ රෝගීන්ගෙන් 88%ක් පිරිමින්. ළමුන් අතර හෝ, කාන්තාවන් අතර විශේෂ වර්ධනයක් පෙන්නුම් නොකෙරුවත් පසුගිය වසර 10 තුළ දත්ත නිරීක්ෂණය කළ විට අපිට පේනවා පිරිමි අතර HIV වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙනවා," ඇය පැවසුවා ය.

"අන්තර්ජාලය හරහා සහකරුවන් සොයා ගැනීම, නිසි ලිංගික අධ්‍යපනයක් නොලැබීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීu," ද අනාරක්ෂිත ලිංගික සබඳතාවලට හේතු වී ඇති බව වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේළි පැවසුවා ය.

දැනට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය විසින් හඳුනාගනු ලැබ ඇති අවදානම් කණ්ඩායම් කිහිපයක් සමග ඔවුන් ආරක්ෂිත ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ කෙසේ දැයි දැනුවත් කිරීම් සහ අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ලබා දීම සිදු කරයි.

එලෙස හඳුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් කිහිපයක් වෛද්‍යවරිය විස්තර කළා ය.

"පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන පිරිමි, සංක්‍රාන්තික අවධියේ සිටින සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්, ලිංගික ශ්‍රමිකයින්, සහ බීච් බෝයිස්ලා අපි අවදානම් කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඔවුන් සමග කටයුතු කරමින් ඉන්නවා."

How to check

ආරක්ෂිත ලිංගික සබඳතාවක් පවත්වාගන්නේ කොහොම ද?

ආරක්ෂිතව ලිංගික සබඳතාවක් පවත්වා ගැනීම HIV ආසාදනය වීම වළක්වා ගැනීමට ඇති හොඳ ම ක්‍රමය යි.

පිරිමි පුද්ගලයින් ලිංගික සබඳතා පැවැත්වීමේදී ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව බීබීසී සිංහල සිදු කළ විමසීමකදී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මේ ආකාරයෙන් පැහැදිලි කළා ය.

"අපි සාමාන්‍යයෙන් HIV නිවාරණ ක්‍රම කිහිපයක් සඳහා උපදෙස් දෙනවා. එයින් පළමුවැන්න තමයි විවාහය දක්වා ලිංගික සබඳතා ප්‍රමාද කිරීම. එහෙමත් නැතිනම් විශ්වාසවන්ත එක ලිංගික සහකරුවෙකුට හෝ සහකාරියකට පමණක් සීමා වීම."

මීට අමතරව ගත හැකි තවත් පියවර සම්බන්ධයෙන් ද ඇය පැහැදිලි කළා ය.

"කිහිප දෙනෙක් සමග ලිංගික සබඳතා පවත්වනවා නම් හොඳ ම දේ තමයි කොන්ඩම් එකක් පාවිච්චි කිරීම," ඇය විස්තර කළා ය.

මීට අමතරව HIV පූර්ව ආරක්ෂක ප්‍රතිකාර (PrEP) සහ අනාරක්ෂිත ලිංගික සබඳතාවකින් පැය 72ක් ඇතුළත ලබා ගත හැකි ඖෂධ (PEPSE) පිළිබඳ ව ද ඇය පැහැදිලි කළා ය.

How to check

අනාරක්ෂිත ලිංගික සබඳතාවකට පෙර PrEP ලබා ගන්න පුළුවන් කොහොම ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

PrEP යනු ඔබව HIVවලින් ආරක්ෂා කිරීම සඳහා භාවිත කළ හැකි ප්‍රති-වෛරස ඖෂධයකි.

එය ඔබ ලිංගික සම්බන්ධතාවකට පෙර සහ පසුව නියමිත මාත්‍රාවලින් ලබා ගත යුතු ය.

මෙය දිනපතා භාවිතා කිරීම හෝ ලිංගික සම්බන්ධතාවන්ට අදාළව භාවිතා කිරීම සිදුකළ හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ නිල වෙබ් අඩවියේ දැක් වේ.

විශේෂඥ වෛද්‍ය විනෝ පැවසුවේ, මෙම ඖෂධ නිකුත් කිරීම සිදු කරනුයේ වෛද්‍ය නිර්දේශ මත බව ය.

දිවයින ම ආවරණය වන ආකාරයෙන් ඇති ලිංගාශ්‍රිත රෝග සායන 40කින් එම පහසුකම ලබා ගත හැකි බව ඇය පැවසුවා ය.

වර්තමානයේ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් පිරිමි සහ සංක්‍රාන්ති ලිංගික-කාන්තා ප්‍රජාවන් අතරින් ඉහළ අවදානමක් සහිත ලිංගික සම්බන්ධතා පවත්වන සාමාජිකයින්ට PrEP සපයයි.

පිරිමි (MSM) හෝ සංක්‍රාන්ති ලිංගික කාන්තා ප්‍රජාව සමග ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින්ගේ සාමාජිකයෙකු වීම, පසුගිය මාස 3 තුළ අනියම් පිරිමි සහකරුවෙකු සමග අනාරක්ෂිත (කොන්ඩම් රහිත) ගුද මාර්ග සංසර්ගය, පසුගිය මාස 6 තුළ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වී තිබීම, ලිංගික සම්බන්ධතාවලදී මනෝ-ක්‍රියාකාරී ඖෂධ භාවිත කිරීම, රුධිරයේ HIV වෛරස ප්‍රමාණය හොඳින් පාලනය නොවූ HIV ආසාදිත ලිංගික සහකරුවෙකු සිටීම PrEP භාවිත කිරීමට වෛද්‍ය නිර්දේශ සඳහා තිබිය යුතු නිර්ණායකයන් ලෙස වැඩසටහනේ නිල වෙබ් අඩවියේ දැක් වේ.

අනාරක්ෂිත ලිංගික සබඳතාවකට ඔබ නිරාවරණය වුණා නම්?

ඔබ අනාරක්ෂිත ලිංගික හැසිරීමක් සිදු කළේ නම් හැකි ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් ලිංගාශ්‍රිත රෝග සහ HIV වැළඳීම වළක්වා ගැනීමට අවස්ථාව ඇති බව ඔබ දැන සිටියා ද?

PEPSE යනු HIV ආසාදනයක් ඇතැයි කියනු ලබන සහකරුවෙකු සමග අනාරක්ෂිත ලිංගික නිරාවරණයකින් පසුව HIV ආසාදනය වැළැක්වීම සඳහා ගත හැකි ප්‍රති-වෛරස ප්‍රතිකාර සැලැස්මකි.

ඔබට අනාරක්ෂිත ලිංගික හැසිරීමක් ඇත්නම් එය ගත හැකි බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වෙන් අඩවියේ සඳහන් ය.

මෙම ඖෂධ ප්‍රතිකාර ගැනීම අවදානම් සහිත නිරාවරණයෙන් පසුව හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු අතර වඩාත් සුදුසු වන්නේ පැය 24ක් ඇතුළත මිස පැය 72කට පසුව නොවන බව එහි සඳහන් ය.

PEPSE යනු HIV සඳහා වන ‘පසු උදෑසන පෙත්තක්’ නොවන බවත් කොන්ඩම් සමග ආරක්ෂිත ලිංගික හැසිරීම් සඳහා ආදේශකයක් නොවන බවත් දැන ගැනීම අත්‍යවශ්‍ය බව ද , එය ලිංගික ක්‍රියාවලියේදී කොන්ඩමයක් අසාර්ථක වුවහොත් වැනි අවසාන විසඳුම ලෙස භාවිත කළ යුතු හදිසි පියවරක් බවත් වෙබ් අඩවියේ දක්වා තිබේ.

PEPSE ඖෂධ ලබා ගැනීමෙන් ඔබව වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් හෝ සැලසුම් නොකළ ගැබ්ගැනීම්වලින් ආරක්ෂා නොවේ.

ඔබ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය සිදුරු වූවා නම් හෝ ඔබ HIV ආසාදිතයෙකු සමග අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදුණේ නම්, හැකි ඉක්මනින් පැය 72ක් ඇතුළත ළඟ ම ඇති ලිංගාශ්‍රිත රෝග සායනය අමතා වෛද්‍ය නිර්දේශය මත මෙම ඖෂධ ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය විනෝ පෙන්වා දෙයි.

How to check

HIV සහ ඒඩ්ස් වළක්වා ගැනීමට ඔබට නොමිලේ සහ පහසුවෙන් සේවාවන් ලබා ගත හැක්කේ කොහොම ද?

ඔබට ඕනෑ ම ලිංගාශ්‍රිත රෝග සායනයකින් HIV පරීක්ෂා කර ගත හැක. ලිංගාශ්‍රිත රෝග සායනවලදී පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩලය රහස්‍ය භාවය රැක ගනිමින් පූර්ව සහ පශ්චාත් පරීක්ෂණ උපදේශන කටයුතු සිදු කරති.

දිවයින පුරා එවැනි සායන 41ක් ඇති අතර ඔබට නොමිලේ HIV පරීක්ෂා කර ගත හැකි ය.

තව ද ඔබට ඒවාට යාමට නොහැකි නම් HIV ස්වයං පරීක්ෂණයක් නොමිලේ කර ගත හැකිය.

ඊට අමතරව කොන්ඩම් ඇතුළු අවශ්‍ය දේ මෙම සායනවලින් හෝ එසේත් නොමැති නම් ඔබට ක්ෂණික දුරකතන අංක (0716379192/ 0112667163) අමතා හෝ know4sure වෙබ් අඩවිය හරහා නිවසට ගෙන්වා ගැනීමට හැකි ය.

මූලාශ්‍රය - ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන