ශ්‍රී ලංකාවේ සිට යාත්‍රා කළ බහුදින ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් මුහුදේදී ගිනි තැබුවේ ඇයි? යාත්‍රාවේ සිටි ධීවරයින්ට සිදුවන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Seychelles Defence Forces | Facebook
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් රාජ්‍යයේදී ගිනි තබා විනාශ කිරීම ගැන ධීවර සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
සීෂෙල්ස් රාජ්‍ය ආරක්ෂක බළකාය මගින් මෙරටට අයත් බහුදින යාත්‍රාවක් භාරයට ගෙන, ගිනි තබා විනාශ කරන ඡායාරූප සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දෙසැම්බර් 31 වන දා ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග මෙම කතාබහ ඇති විය.
සීෂෙල්ස් ආරක්ෂක බළකාය පවසන්නේ කුමක් ද?
සීෂෙල්ස් මුහුදු සීමාවේ නිසි අවසරයකින් තොරව නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටි විදේශීය ධීවර යාත්‍රාවක් සාර්ථකව තම භාරයට ගන්නා ලද බව එම ෆේස්බුක් සටහනේ සීෂෙල්ස් ආරක්ෂක බළකාය (SDF) සඳහන් කර තිබිණි.
එම යාත්‍රාවේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාර්ය මණ්ඩල සමාජිකයන් 6 දෙනෙකු සිටි බවටත් ඔවුන්ට සීෂෙල්ස් මුහුදේ මසුන් ඇල්ලීමට අවශ්‍ය අවසරය නොතිබුණ බවටත් එහි තවදුරටත් සඳහන් විය.
තවදුරටත් පරීක්ෂා කිරීමේදී මුහුදේ යොදා තිබූ ධීවර ආම්පන්න හා අලුතින් අල්ලා ගන්නා ලද මසුන් හමුවීම තුළින් මෙම යාත්‍රාව නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි බව තහවුරු වූ බව ද සීෂෙල්ස් ආරක්ෂක බළකායේ සටහනේ දක්වා තිබිණි.
"ස්ථාපිත නෛතික ක්‍රියා පටිපාටිවලට අනුකූලව සහ අවශ්‍ය ආරක්ෂාව සහ නීතියමය පරීක්ෂාවන් සම්පූර්ණ කිරීමෙන් පසුව, නීති කඩ කළ යාත්‍රාව සම්බන්ධයෙන් නිසි නීතිමය ආකාරයෙන් කටයුතු කළා," යැයි බහුදින ධීවර යාත්‍රාවේ ගිනි තබා විනාශ කරන ලද ඡායාරූප ද සහිතව පළ කළ ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Seychelles Defence Forces | Facebook
'අධිකරණ තීන්දුවක් නැතුව එහෙම කරන්න පුළුවන් ද?'
මෙලෙස ගිනි තබා ඇත්තේ, මාරවිල – තල්විල ධීවරයෙකුට අයත් "ඉශානි දුව" නමැති බහුදින ධීවර යාත්‍රාව වන අතර ඉකුත් දෙසැම්බර් 7 වන දින වෙන්නප්පුව ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර මෙහි ධීවරයන් 6 දෙනෙකු රාජකාරියේ නිරතව සිටි බව යාත්‍රාවේ හිමිකරු සුසිල් ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත පැවසීය.
"ඊයේ සීෂෙල්ස් රාජ්‍යයෙන් අපේ ධීවර දෙපාර්තුමේන්තුව දැනුවත් කර තිබෙනවා. ඒ අවස්ථාවේ හා ඔවුන්ගේ සමාජ මාධ්‍ය හා නිල වෙබ් අඩවියේ කියලා තියෙන්නේ ඔවුන්ගේ රටට අයත් මුහුදු සීමාවට ඇවිල්ලා මාළු අල්ලපු නිසා ගිනි තිබ්බා කියලා.
"මේක පුදුම කතාවක් කොහොම ද නීතියක් නැතුව එහෙම කරන්නේ, අධිකරණ තීන්දුවක් නැතුව එහෙම කරන්න පුළුවන් ද?
"මට දින කීපයකට පෙර දැනුම් දුන්නා, බෝට්ටුවෙන් සැටලයිට් වැඩ කරන්නේ නැහැ, අලුත් සැටලයිට් එකක් එවන්න කියලා. වැරැද්දක් තිබුණා නම් අධිකරණයකට ඉදිරිපත් කරලා දඬුවමක් දුන්නා නම් හරි. මේ ගැන මැදිහත් වෙන්න කියලා අපේ රජයෙන් ඉල්ලනවා," යැයි යාත්‍රාවේ හිමිකරු ඉල්ලා සිටී.
මෙම සිදුවීමෙන් පසුව ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයන් 6 දෙනා සම්බන්ධව මෙතෙක් කිසිදු තොරතුරක් මෙතෙක් නොලැබී ඇති බව ද යාත්‍රාවේ හිමිකරු සුසිල් ප්‍රනාන්දු පැවසීය.
"මේ අය කරලා තියෙන්නේ ගිනි තියලා, ඒ කරන වැඩේ සමාජගත කරන එක. මේ සිදුවීම නිසා මුහුදු පරිසරයටත් විශාල විනාශයක් කරලා තියෙනවා. මේ තත්ත්වය ගැන හිතලා අපේ රටේ ආණ්ඩුව විතරක් නෙමෙයි ජාත්‍යන්තර ආයතනත් මේ ගැන ක්‍රියා කරන්න අවශ්‍යයි," ශ්‍රී ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු සිදුවීම සම්බන්ධව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Seychelles Defence Forces | Facebook
ධීවර අමාත්‍යංශයේ ප්‍රතිචාරය කුමක් ද?
මේ පිළිබඳව බීබීසී සිංහල ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාසගෙන් විමසීමක් කළේ ය.
"අපිට තියෙන්නේ දැනට එයාලා වාර්තා කරපු එක විතරයි. සීෂෙල්ස් තානාපති කාර්යාලයෙන් වැඩිදුර විස්තර ඉල්ලලා තියෙනවා. දැනට දන්නේ හලාවත රෙජිස්ටර් වෙච්ච යාත්‍රාවක්. එතන ස්කීපර් එක්ක අපේ ධීවර සාහෝදරවරු 6 දෙනෙක් ඉඳලා තියෙනවා."
ධීවරයන් අත්අඩංගුවට ගෙන යාත්‍රාව විනාශ කර ඇත්තේ "සීෂෙල්ස් රාජ්‍යය සම්මත කර ගත් නීතියකට අනුව" බව ධීවර, ජලජ හා සාගර සම්පත් ලේකම්වරයා සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් ධීවරයන් සම්බන්ධ නීතිමය කටයුතු සඳහා එරට පවතින ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය මැදිහත් වන බවත් එම නීතිමය කටයුතුවලින් පසුව එම ධීවරයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.














