බංග්ලාදේශ මැතිවරණය වැදගත් වන්නේ ඇයි? එහි කැපී පෙනෙන අපේක්ෂකයින් කවුද?

තරීක් රහ්මාන් / අමීර් ෂෆීකුර් රහ්මාන්
කියවීමේ කාලය: මිනිත්තු 6

2024 වසරේ ඒකාධිපති නායිකා ෂෙයික් හසීනාගේ වසර 15ක පාලනය අවසන් කළ ශිෂ්‍ය විරෝධතාවලින් පසුව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු මැතිවරණය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 12) ආරම්භ විය.

ශිෂ්‍ය නැගිටීම් අතරතුර විරෝධතාකරුවන් 1,400ක් පමණ මිය ගිය අතර ඔවුන් මර්දනය කිරීම සඳහා ඍජුව ම නියෝග කළ බවට හසීනාට චෝදනා එල්ල වුව ද, ඇය එම චෝදනාව ප්‍රතික්ෂේප කළා ය.

හසීනා පලා ගිය දා සිට බංග්ලාදේශය පාලනය කරනු ලැබුවේ, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් විසිනි.

බංග්ලාදේශයේ 13 වන ජාතික පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයින් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙම මැතිවරණයේ සන්දර්භය වෙනස් ය.

හසීනාගේ පක්ෂය වන අවාමි ලීගයට මෙම මැතිවරණයට තරග කිරීම තහනම් කර ඇත. ඒ සමග ම, දශක එක හමාරක් තුළ පැවති මතභේදාත්මක මැතිවරණ තුනකට පසු, දැන් මිලියන 120කට අධික ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබී තිබේ.

ඒ අනුව, මෙවර මැතිවරණය බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ ඉස්ලාමීය පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි අතර තරගයක් ලෙස පවතිනු ඇත.

මේ, තීරණාත්මක බංග්ලාදේශ මැතිවරණය සහ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ කැපී පෙනෙන අපේක්ෂකයින් දෙදෙනා පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

තරීක් රහ්මාන් යනු කවුද?

තරීක් රහ්මාන්

බංග්ලාදේශයේ පළමු හමුදා පාලකයා සහ දිවංගත ජනාධිපති සියාඋර් රහ්මාන් සහ හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වන තරීක් රහ්මාන් 1965 නොවැම්බර් 20 වන දින උපත ලැබීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

BNP වෙබ් අඩවියේ ද ඔහුගේ උපන් දිනය ලෙස මෙම දිනය දැක්වෙන නමුත් ඔහුගේ මැතිවරණ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ ඔහු 1968 නොවැම්බර් 20 වන දින උපත ලැබූ බව ය.

එම වෙබ් අඩවියට අනුව, ඔහු ඩකාහි බීඒඑෆ් ෂහීන් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති අතර, පසුව 1980 දශකයේදී ඩකා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයට ඇතුළත් වී තිබේ. කෙසේ වෙතත්, ඔහු තම උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළේ ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැත.

එසේ වුව ද රහ්මාන් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම 'උසස් ද්විතීයික' ලෙස සඳහන් කර ඇත.

BNP විසින් සපයන ලද තොරතුරුවලට අනුව, සියාඋර් රහ්මාන්ගේ පවුල ද විමුක්ති යුද්ධයේදී තවත් බොහෝ හමුදා නිලධාරීන්ගේ පවුල් සමග සිරගත කරනු ලැබූහ. ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන තරීක් රහ්මාන් සහ අභාවප්‍රාප්ත අරෆත් රහ්මාන් ද ඒ අවස්ථාවේ සිරගත කෙරිණි.

බංග්ලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයකට තරීක් රහ්මාන් නායකත්වය දෙන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ සමග ම ඔහු පළමු වරට ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වී සිටී.

මැතිවරණයට මාසයකට පෙර සිදුවූ තම මවගේ අභාවයෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධූරයට පත්වූ අතර බංග්ලාදේශයේ "මීළඟ අගමැති" ලෙස ඔහුගේ ආධාරකරුවෝ ඔහු පිළිබඳව විස්තර කරති.

රහ්මාන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් ඔහුට ඇති දූෂණ චෝදනා සහ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න මතු කළ ද, ඔහුගේ පක්ෂය වන BNP ඔහුව 'තනි, ශක්තිමත් නායකයෙකු' ලෙස ඉදිරිපත් කරයි. කෙසේ වෙතත්, ඔහු සහ ඔහුගේ පක්ෂය මෙම දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා පෙර පැවති අවාමි ලීග් රජයේ හුදු ප්‍රචාරයන් බවට විස්තර කර ඇත.

2007 වසරේදී බංග්ලාදේශයේ හමුදා සහය ලත් භාරකාර රජය සමයේදී දූෂණ චෝදනා මත තරීක් රහ්මාන් අත්අඩංගුවට ගන්නා ලදී. මාස දහඅටක් සිරගතව සිටීමෙන් පසු, ඔහු 2008 සැප්තැම්බර් මාසයේදී නිදහස ලැබූ අතර සිය පවුලේ අය සමග ලන්ඩනයට සංක්‍රමණය විය.

ලන්ඩනයේ වසර දාහතකට ආසන්න කාලයක් දේශපාලන රැකවරණ ලැබීමෙන් පසු, ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී ඩකා නුවරට පැමිණියේ ඔහුගේ පක්ෂයෙන් අතිවිශිෂ්ට පිළිගැනීමක් ද ලබමිනි.

මූලික වශයෙන්, බංග්ලාදේශයේ දිවංගත ජනාධිපති සියාඋර් රහ්මාන් විසින් ආරම්භ කරන ලද බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ඔහුගේ බිරිඳ වන හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව නැගී සිටි නමුත් පසුව, දුෂ්කරතා සහ අස්ථාවරත්වයන්ට මුහුණ දෙමින් අභියෝගාත්මක අවධියකට පිවිසි අතර අවසානයේ එය ඔවුන්ගේ වැඩිමහල් පුත් තරීක් රහ්මාන්ගේ ඍජු මෙහෙයවීම යටතට පත් විය.

2018 වසරේදී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ඛලීඩා සියාට සිර දඬුවම් නියම වූ පසු, රහ්මාන් ලන්ඩනයේ සිට පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

මීට පෙර, 2002දී, සියා ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඒකාබද්ධ මහ ලේකම්වරයා ලෙස නම් කෙරිණි. පසුව, 2009දී, පක්ෂයේ පස් වන ජාතික සමුළුවේදී ඔහු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස නම් කෙරිණි.

අමීර් ෂෆීකුර් රහ්මාන් යනු කවුද?

අමීර් ෂෆීකුර් රහ්මාන්

ජමාත්-ඊ-ඉස්ලාමි සහ අමීර් රහ්මාන්ගේ වෙබ් අඩවියට අනුව, ඔහු 1958 ඔක්තෝබර් 31 වන දින මවුල්විබසාර්හි කුලෞරාහිදී උපත ලැබීය. ඔහුට සහෝදරයන් තිදෙනෙකු සහ එක් සහෝදරියක සිටින අතර ඔහු පවුලේ තුන් වන දරුවා වේ.

ඔහු 1974දී සිය SSC විභාගය සමත් වූ නමුත් ඊට පෙර 1973දී ජසාද් චත්‍ර ලීගයට සම්බන්ධ වූ බව පක්ෂයේ වෙබ් අඩවිය පවසයි. පසුව, 1976දී HSC විභාගය සමත් වීමෙන් පසු, ඔහු සිලෙට් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය.

වෛද්‍යවරයෙකු ලෙස පුහුණුව ලැබූ ෂෆීකුර් රහ්මාන්, වයස අවුරුදු 19දී ජමාත්-ඊ-ඉස්ලාමි ශිෂ්‍ය අංශයට එක්වූ අතර එය ඔහුගේ දේශපාලන දිවියේ ආරම්භය විය.

ඔහු 1984දී නිල වශයෙන් ජමාත් පක්ෂයට සම්බන්ධ වූ අතර, 2020දී ෂෙයික් හසීනාගේ පාලනය යටතේ ජමාත් පක්ෂයට දේශපාලන කටයුතුවල නිරත වීම තහනම් කරන ලද විට පක්ෂයේ ප්‍රධානියා බවට පත්විය.

ජමාත්-ඊ-ඉස්ලාමි වෙබ් අඩවියේ පක්ෂ නායක ෂෆීකුර් රහ්මාන්ගේ චරිතාපදානයේ සඳහන් වන්නේ ඔහු, 1973දී ජසාද් චත්‍ර ලීගය හරහා ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ වූ බවත් වසර තුනකට පසු ඉස්ලාමි චත්‍ර ෂිබීර් සමග සම්බන්ධ වූ බවත් ය.

රහ්මාන් සහ ඔහුගේ පක්ෂය දිගු කලක් බංග්ලාදේශ දේශපාලනයෙන් තරමක් ඈත් වී සිට ඇත. කෙසේ වෙතත්, 2024 විරෝධතා හේතුවෙන් බංග්ලාදේශය දේශපාලන රික්තකයකට ඇද වැටුණු අතර, හසීනා පිටුවහල් කර ඇගේ අවාමි ලීග් පක්ෂය තහනම් කිරීමෙන් පසුව, යළි තමන්ට අවස්ථාවක් නිර්මාණය වී ඇති බව ඔවුන්ට නිරීක්ෂණය විය.

රොයිටර්ස් පුවත් සේවයට අනුව, ජමාත් පක්ෂය තම නායකයා විස්තර කරන්නේ "සරල සහ ඕනෑ කෙනෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි නිහතමානී, විනයගරුක ජීවිතයක් ගත කරන" අයෙකු ලෙස ය.

රහ්මාන්ගේ බිරිඳ අමිනා ෂෆීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන් ම වෛද්‍යවරියක ද වූවා ය. ඔවුන්ගේ පුත්‍රයා සහ දියණියන් දෙදෙනා ද වෛද්‍යවරු වෙති.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට සහ ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයට ඇති අභියෝග මොනවා ද?

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට ඇති ප්‍රධාන අභියෝග කිහිපයක් පෙන්වා දිය හැක.

ඒ අතර පක්ෂයේ කැරලිකාර අපේක්ෂකයා, රට පුරා සිටින පක්ෂ නායකයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහිව එල්ල වන කප්පම් ගැනීම් සහ වංචා චෝදනා, තරුණ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රචාරක කටයුතු ප්‍රමාණවත් නොවීම, සමාජ මාධ්‍ය තුළ ප්‍රතිවාදී ජමාත් සංවිධානයේ ප්‍රචාරණ කටයුතුවලට වඩා පසුපසින් සිටීම, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රතිවාදියාගේ ආගම භාවිත කිරීම සහ අසල්වැසි ඉන්දියාව සමග බංග්ලාදේශයේ සබඳතා සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරයේ අපැහැදිලි බව පිළිබඳ චෝදනා තිබේ.

මේ අතර, නිරායාසයෙන් ජනතාවගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවීම, 1971 බංග්ලාදේශ විමුක්ති යුද්ධයේදී ජමාත් සංවිධානයේ භූමිකාව පිළිබඳ ප්‍රශ්නය, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ජමාත් සංවිධානයේ ස්ථාවරයේ අපැහැදිලි බව පිළිබඳ චෝදනා, රජයක් හෝ රටක් පවත්වාගෙන යාමේ අත්දැකීම් නොමැතිකම, මැතිවරණ ප්‍රචාරක පොරොන්දු ක්‍රියාවන්ට සිදු කෙරේ ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට ඇති සැකය, භූ දේශපාලනයේ පක්ෂයේ ස්ථාවරය කුමක් වේ ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් අපැහැදිලි බවට වන චෝදනා ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයට ඇති අභියෝග අතර වේ.

මෙම මැතිවරණය වැදගත් වන්නේ ඇයි?

මෙය හේතු කිහිපයක් නිසා කැපී පෙනෙන මැතිවරණයකි.

මෙය 2024 ජූලි මස සිදුවූ ශිෂ්‍ය නැගිටීමෙන් පසු මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව පමණක් නොව, බංග්ලාදේශයේ ප්‍රමුඛ දේශපාලන චරිත දෙක වන ෂෙයික් හසීනා සහ ඛලීඩා සියා නොමැතිව දශක ගණනාවකට පසු මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය යි.

අවාමි ලීගය තහනම් කිරීමත් සමග, රටේ ප්‍රධාන ඉස්ලාමීය පක්ෂය පළමු වරට මහ මැතිවරණයක ප්‍රධාන තරගකරුවෙකු බවට පත්ව තිබේ.

ඡන්දදායකයින් නව රජයක් තෝරා ගැනීමට පමණක් නොව, පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් වන 'ජූලි ප්‍රඥප්තිය' ක්‍රියාත්මක කරන්නේ ද යන්න තීරණය කරන ව්‍යවස්ථාමය ජනමත විචාරණයකට ද ඡන්දය දෙනු ඇත. රටින් පිටත සිටින බංග්ලාදේශ ඡන්දදායකයින්ගේ ඡන්ද පත්‍රිකා ද පළමු වරට මෙවර මැතිවරණයේදී පිළිගනු ලැබේ.

වසර ගණනාවක දේශපාලන කැළඹිලි සහ අස්ථාවරත්වයෙන් පීඩා විඳි රටක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකෘතිමත් වීමක් කළ හැකි ද යන්න මෙම මැතිවරණය පරීක්ෂාවක් ද වනු ඇත.

අද දින සෑම ඡන්දදායකයෙකුට ම ඡන්ද පත්‍රිකා දෙකක් ලැබෙනු ඇත.

පළමු සුදු පැහැති ඡන්ද පත්‍රිකාව යොදාගෙන ඔවුන් තම මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රීවරයෙකුට ඡන්දය ලබා දෙනු ඇත.

දෙවන රෝස පැහැති ඡන්ද පත්‍රිකාව ජාතික ජනමත විචාරණයක් සඳහා වන අතර, එහිදී ඡන්දදායකයින්ට පාර්ලිමේන්තුවේ වැඩි කාන්තා නියෝජනයක්, අගමැතිනියගේ වාර කාල සීමාවන් සහ සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත ද්වි-මණ්ඩල පාර්ලිමේන්තුවක් ඇතුළු යෝජිත ප්‍රතිසංස්කරණ පැකේජයට ඔව් හෝ නැත යනුවෙන් පිළිතුරු දීමට අවස්ථාව ලැබේ.

ජනමත විචාරණය සම්මත වුවහොත්, ඉදිරියේදී සිදු කරන ඕනෑ ම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයකගේ අනුමැතිය අවශ්‍ය වනු ඇත.