මානව පැපිලෝමා වෛරසය (HPV) හේතුවෙන් ඇතිවන පිළිකා තත්ත්ව ගැන පිරිමි ඔබ දැනුවත් විය යුත්තේ ඇයි?

    • Author, ලී බූබියර්
    • Role, බීබීසී වේල්ස්
  • කියවීමේ කාලය: මිනිත්තු 5

දෙදරු පියෙකුගේ හකු ප්‍රදේශයට යටින් හඳුනා ගත් කුඩා ගැටිත්තක් පිළිකාවක් බවට පත්වීමෙන් පසු ඔහුට සිය දිව අහිමිවීමේ අවදානමක් මතු විය.

ඇන්තනි පෙරියම් පළමු වරට සිය ගැටිත්ත හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ වෛද්‍යවරයා වෙත පැමිණි අතර සති කිහිපයක් ඇතුළත ඔහුට හිස ප්‍රදේශයේ සහ ගෙල ප්‍රදේශයේ මානව පැපිලෝමා වෛරසය (HPV) ආශ්‍රිත පිළිකාවක් පවතින බව හඳුනා ගැනිණි.

HPV යනු සමට බලපාන පොදු වෛරස් කාණ්ඩයක් වන අතර එමගින් බොහෝ දෙනෙකුට ගැටලු ඇති නොවන නමුත් ඇතැම් පිළිකා වර්ග හෝ ලිංගික ඉන්නන් ඇතිවීම සඳහා එය හේතු විය හැක.

"මම HPV ගැන අහලා තිබුණේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් විතරයි. ඒකට මේ වගේ පිළිකා ඇති කරන්න පුලුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැ, විශේෂයෙන් පිරිමින් තුළ" කාඩිෆ්හි වෙසෙන ඇන්තනි පැවසුවේය.

මෙම ලිපියේ ඇතැම් පාඨකයින්ට සංවේදී වියහැකි ඡායාරූප අඩංගු වේ.

"මට තාමත් කන්නයි කතා කරගන්නයි පුලුවන් නිසා මම හිතනවා මම වාසනාවන්තයි කියලා. නමුත් මම මේක තවත් කාලයක් ප්‍රමාද කළා නම්, මට මගේ දිව නැතිවෙන්න හරි මාව මැරෙන්න වුණත් ඉඩ තිබුණා" ඇන්තනි තවදුරටත් පැවසීය.

වේල්සයේ ජාතික සෞඛ්‍ය සේවාව පවසන්නේ HPV වෛරසය ආසාදනය වන බොහෝ දෙනෙකුගේ ශරීරය විසින් එම වෛරසය ස්වයංක්‍රීය ලෙසම ඉවත් කරගන්නා බවයි.

නමුත් HPV වෛරසය ලිංගික ඉන්නන් ඇති කිරීමට හෝ කාලයත් සමඟ පිළිකාවක් බවට පරිවර්තනය වීමට ද හැකියාව පවතින අතර බොහෝවිට පිරිමින් අතර හිස සහ ගෙල ආශ්‍රිත පිළිකාවක් සහ කාන්තාවන් අතර ගැබ්ගෙල පිළිකාවක් ලෙස එය දැකිය හැකිය.

HPV හේතුවෙන් වැඩි අවදානමක් ඇති පුද්ගලයන්ටත් අවුරුදු 12 සහ 13 අතර වයස් කාණ්ඩයේ පසුවන ළමුන්ටත් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය විසින් එන්නත් ලබාගැනීම නිර්දේශ කරයි.

"ඔබ ගැටිතත්ක් සොයා ගත්තා නම් ඒක රිදෙන්නේ නැතිවුණත් පරීක්ෂා කර ගන්න," ඔහු පැවසුවේය.

''මේ වර්ගයේ පිළිකා ගැන, විශේෂයෙන්ම පිරිමින් අතර, තවමත් ප්‍රමාණවත් ලෙස කතාබහක් පවතින්නේ නැහැ. කලින්ම ක්‍රියාත්මක වීමෙන් ඇත්තටම ජීවිත බේරගන්න පුළුවන්."

කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණ ද, 2023 වසරේ මාර්තු මාසයේදී සිදු කළ CT ස්කෑන්, බයෝප්සි සහ MRI පරීක්ෂණ මඟින් ඔහුට මෙම රෝගය ඇති බව තහවුරු විය.

''ඒ වෙනකොට මට වයස අවුරුදු 03 ක සහ අවුරුදු 06 ක දරුවන් දෙදෙනෙක් හිටියා. මට මුලුන්ම කල්පනාවට ආවේ මං ගැන නෙමෙයි එයාලා ගැනයි. මම එයාලා ගැන සෑහෙන බය වුණා'' 41 හැවිරිදි ඔහු පැවසුවේය.

ඇන්තනිගේ ගෙල ප්‍රදේශයෙන් වසා ගැටිති 44 ක් ඉවත් කර ඇති අතර, ඔහුගේ දිව පිටුපස කොටසේ තිබූ ප්‍රධාන ගැටිත්ත රොබෝ ආධාරකයක් ඔස්සේ සැත්කමක් මගින් සොයා ගත්තේය.

"එයාලා මට කිව්වා එයාලා ඒක නියම වෙලාවට හඳුනාගත්තා කියලා," ඔහු පැවසුවේය.

''වසා ගැටිති වලින් එකක් කැඩී යාමට ආසන්නයේ තිබුණේ. තව ටිකක් ප්‍රමාද වුණා නම් ඒක පැතිරෙන්න තිබුණා."

ඔහුගේ විකිරණ චිකිත්සාව සහ රසායනික චිකිත්සාව අතිශය කටුක වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇන්තනිගේ බර කිලෝග්‍රෑම් 22 කින් අඩු විය.

''මගේ කටේ කෙල නැතිවෙලා ගිහිං තිබුණේ'' ඔහු පැවසුවේය.

'' වතුර බොන එක පවා අමාරු වුණා, කට ඇතුළෙදි හැමදේම කුඩු වගේ වුණා''

"මම ඉතා දුර්වල වූ නිසා, අවසානයේදී මට රෝදපුටුවක් පාවිච්චි කරන්නත් සිද්ධ වුණා''

"වීල්චෙයාර් එකකින් කොරිඩෝව දිගේ අරන් ගිහිං රේඩියෝතෙරපි එකට ගන්න හැම වෙලාවකම ඒක මගේ මානසික සෞඛ්‍යයට බලපාන්න පටන් ගත්තා.''

''ඒත් මේ හැමදේම ජයගන්න මට ශක්තිය දුන්නේ මගේ පවුලයි. මට මගේ අවුරුදු 40 උපන්දිනය දකින්න ජීවත් වෙන්න ඕනෙ වුණා''

මානව පැපිලෝමා වෛරසය (HPV) යනු කුමක් ද?

මානව පැපිලෝමා වෛරසය (HPV) සමට බලපෑම් එල්ල කරන අතර එහි විවිධ වර්ග 100කට වඩා වැඩි සංඛ්‍යාවක් පවතී.

ලිංගික ප්‍රදේශය සමෙන් සමට ස්පර්ශ වීමෙන්, යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ මුඛ සංසර්ගය සහ ලිංගික සෙල්ලම් බඩු බෙදා ගැනීමෙන් මෙම රෝගය වැළඳිමේ හැකියාව පවතී.

වේල්ස්හි ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ මෙම එන්නත ලබාදෙන අතර, වයස අවුරුදු 12 සහ 13 අතර ළමුන්ට ලබාදීමේදී එය වඩාත් හොඳින් ක්‍රියා කරයි.

වේලස් විශ්වවිද්‍යාල රෝහල පවසන්නේ 2008 වසරේදී එය හඳුන්වා දුන් පසු වයස අවුරුදු විසිගණන්වල පසුවූ කාන්තාවන් තුළ ගැබ්ගෙල පිළිකා වාර්තා වීමේ අනුපාතය 90% කින් පමණ අඩු වී ඇති බවයි.

කාඩිෆ් සහ වේල් විශ්වවිද්‍යාල සෞඛ්‍ය මණ්ඩලයේ උගුර, කණ සහ නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය උපදේශක සන්දීප් බෙරී මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ දරුවන් එන්නත ලබා ගැනීම සඳහා දිරිමත් කරන ලෙසයි.

"HPV එන්නත වසර ගණනාවක් තිස්සේ ලොව පුරා රටවල භාවිතා කරලා තියෙනවා, ඒක ආරක්ෂිත දෙයක්, වේල්සයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් තමයි සිදු කරන්නේ'' ඔහු පැවසුවේය.

"පිරිමි ළමයින්ට සහ ගැහැනු ළමයින්ට නිරෝගීව ඉන්න ඒක උදව් වෙනවා, HPV නිසා ඇතිවන පිළිකා වළක්වනවා වගේම සමස්තයක් ලෙස මහජනයාගේ සෞඛ්‍යය මට්ටම ශක්තිමත් කරනවා.''

"ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්වන විට සහ ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ වීමට පෙර 8 වන වසරේදී එම එන්නත ලබා දෙනු ලැබේ."