IPL 2024: පන්දු යවන්නන්ට භීතිකාවක් වූ දිල්ලි කැපිටල්ස් ලකුණු මැෂිම - ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්

පන්දු යවන්නන්ට භීතිකාවක් වූ දිල්ලි කැපිටල්ස් ලකුණු යන්ත්‍රය - ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් යනු ක්‍රිකට් ලෝලීන් අතර අතිශය ජනප්‍රිය නමක් නොවේ.

එහෙත්, ඔහු මේ වන විට සීමිත පන්දු වාර තරගවල සුවිශේෂී පිතිකරුවෙකු ලෙස ප්‍රවේගකාරී සලකුණක් තබමින් සිටී.

ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරගාවලියේ ආබාධයට ලක්වූ ක්‍රීඩකයෙකු වෙනුවෙන් ආදේශ කෙරුණු ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්වීමට එම දක්ෂතා බලපෑවේ ය.

කෙසේ වෙතත්, දිල්ලි කැපිටල්ස් බලධාරීන් ඔහු පිළිබඳව විශාල බලාපොරොත්තුවක් නොතැබූ බවක් පෙන්නුම් කරමින් ඔහු මිල දී ගෙන තිබුණේ, ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට ය.

මුල් තරග 5කදී 'බංකුව මත'

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ මුල් තරග 5 තුළදී ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්ට සිදුවූයේ, ප්‍රේක්ෂකයෙකු ලෙස ක්‍රියා කිරීමට පමණි.

එම තරග 5 තුළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට දිනා ගත හැකි වූයේ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය පමණි.

පරාජයන් 4කට පසු දිල්ලි කණ්ඩායම මුහුණ දුන් 6 වන තරගය සඳහා ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක්ට කැඳවීමක් ලැබිණි. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ය.

තරග 5කට පසු තමන්ට හිමි වූ අවස්ථාවෙන් දිල්ලි කණ්ඩායම වෙනුවෙන් සිය යුතුකම් ඉටු කළ ජේක්, පන්දු 35කදී ලකුණු 55ක් රැස් කළේ ය.

තරගයේ ජය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමි විය.

මුල් තරගවලදී ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වන විට 6 වන ස්ථානය තෙක් ඉහළට පැමිණ තිබේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේගවත් ම අර්ධ ශතක දෙකට ම හිමිකම් කියන්නේ ද, ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ය.

ඡායාරූප මූලාශ්‍රය, Indian Premier League|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේගවත් ම අර්ධ ශතක දෙකට ම හිමිකම් කියන්නේ ද, ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ය

ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්ගේ IPL දක්ෂතා

එම තරගයෙන් පසු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ක්‍රීඩා කළ ඉතිරි තරග සියල්ලට ක්‍රීඩා කළ ජේක්, තරග 7කදී අර්ධ ශතක 4ක් රැක් කිරීමට සමත් විය.

ඔහු සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව පන්දු 18කදී ලකුණු 65ක් රැක් කළේ ය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 27කදී ලකුණු 84ක් රැස් කිරීමට සමත් විය.

මේ අතර, මැයි 07 වන දා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ද ඔහු පන්දු 19කදී ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.

එහිදී ද, ඔහු ලකුණු 46ක් ම හයේ සහ හතරේ පහරවලින් රැස් කිරීම විශේෂත්වයකි.

වේගවත් ම අර්ධ ශතක

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේගවත් ම අර්ධ ශතක දෙකට ම හිමිකම් කියන්නේ ද, ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ය.

ඔහු මෙතෙක් රැස් කළ අර්ධ ශතක තුනෙන් දෙකක් ම පන්දු 15කදී රැස් කිරීමට සමත් වී තිබේ.

ඔහු එම දක්ෂතාව දැක්වූයේ, මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම්වලට එරෙහිව ය.

ලකුණු 309න් 276ක් 6 සහ 4 පහරවලින්

මේ වන විට, තරග 7කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 309කි.

ඒ අනුව, ඔහු එක් තරගයකදී රැස් කළ ලකුණු සාමාන්‍යය 44.14ක් වැනි ඉහළ අගයක පවතී.

ඔහු රැස් කළ ලකුණු 309ට හතරේ පහර 30ක් සහ හයේ පහර 26ක් ඇතුළත් වේ. ඒ අනුව, එම ලකුණු 309න් 276ක් ම රැස් කර ඇත්තේ, හතරේ සහ හයේ පහරවලිනි.

ඔහු වැඩි ම ලකුණු ලාභීන් අතර 25 වන ස්ථානයේ පසුවන්නේ, සෙසු පිතිකරුවන් රැසක් තරග 11කට ක්‍රීඩා කර සිටියදී වීම විශේෂත්වයකි.

ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් මේ වන විට දක්වා ඇති දක්ෂතා හේතුවෙන් එළඹෙන පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඔහු නැතිව ම බැරි ක්‍රීඩකයෙකු වනු ඇතැයි බොහෝ දෙනෙකු අදහස් පළ කර තිබිණි.

කෙසේ වෙතත්, එම බලාපොරොත්තු බිඳ දමමින් ඔහුට එම අවස්ථාව අහිමි වී තිබේ.

මේ පිළිබඳව තමන් කනගාටු නොවන බවත්, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තමන්ට ඇති ඉඩ වෙන් කර ගැනීම සඳහා වෙහෙසී ක්‍රීඩා කරන බවත් ඔහු මාධ්‍ය‌ වෙත පවසා තිබිණි.

මේ වන විට, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරග 2කට ක්‍රීඩා කර ඇතත්, මෙම ප්‍රහාරාත්මක පිතිකරුවාට පන්දු වාර 20 තරග වෙනුවෙන් ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට තවමත් අවස්ථාවක් උදා වී නැත‍.

කවුද මේ ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්?

2002 වසරේ අප්‍රේල් මස 11 වන දා උපත ලැබූ ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් තවමත් 22 වන වියේ පසු වන තරුණ ක්‍රීඩකයෙකි.

දකුණත් පිතිකරුවෙකු වන ඔහු පාදඟ පන්දු යවන්නෙකු ලෙස ද ඇතැම් විට ක්‍රීඩා කරයි.

ඔස්ට්‍රේලියා එක්දින කණ්ඩායම, ඔස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායම, මෙල්බර්න් රෙනගේඩ්ස්, ඩුබායි කැපිටල්ස්, දිල්ලි කැපිටල්ස් ආදී කණ්ඩායම් කිහිපයක් නියෝජනය කර තිබේ.

2024 පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සිය පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ඔහු එහිදී ලකුණු 10ක් රැස් කළ අතර, දෙවන තරගයේදී පන්දු 18කට ලකුණු 41ක් රැස් කළේ ය.