ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පකිස්ථානයට ජය: නවසීලන්තය අවසන් පූර්ව වටයට: වසර 12ක් පැරණි කෝලිගේ වාර්තාව ෆර්හාන් බිඳ දමයි
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
2026 පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව අද (පෙබ: 28) පකිස්ථානයෙන් ගිලිහී ගියේ ය.
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති තරගයෙන් පකිස්ථානය ලකුණු 5ක ජයක් හිමි කර ගත්ත ද, අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදා වූයේ, නවසීලන්ත කණ්ඩායමට ය.
ඒ අනුව, මේ වන විට අවසන් පූර්ව වටය සඳහා දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ නවසීලන්තය සුදුසුකම් ලබා සිටී.
ශ්‍රී ලංකා - පකිස්ථාන තරගය
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 212ක් රැස් කළේ ය.
එහිදී, ආරම්භක පිතිකරු ෂහිබ්සාදා ෆර්හාන් ලකුණු 100ක් රැස් කළ අතර, ඔහු මෙම තරගාවලියේ රැස් කළ දෙවන ශතකය එය විය.
ඩිල්ෂාන් මදුශංක කඩුලු 3ක් බිඳ හෙළී ය.
ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 207ක් රැස් කළේ ය.
එහිදී, අතිශය අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට දසුන් ශානක සමත් විය.
ඔහු පන්දු 31කදී ලකුණු 79ක් රැස් කළේ ය. අවසන් පන්දු වාරයේදී ලකුණු 28ක් රැස් කිරීමට තිබූ අතර, ෂහීන් අෆ්රිඩිගේ පන්දු හමුවේ නායක දසුන් ශානක ලකුණු 22ක් රැස් කිරීමට සමත් විය.
තරගය ජය ගත්ත ද පකිස්ථානයට අවසන් පූර්ව වටය අහිමි වුණේ ඇයි?
පකිස්ථානයට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64කින් පරාජය කිරීමට සිදුව තිබිණි.
ඒ අනුව, ඔවුන් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු එකතුව 147ක් හෝ ඊට අඩු සංඛ්‍යාවකට සීමා කර ගත යුතු විය.
එහෙත්, ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සීමාව අභිබවා ගිය හෙයින් පකිස්ථානයට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.
එහි වාසිය අත්වූයේ, නවසීලන්ත කණ්ඩායමට ය.
පකිස්ථාන පිතිකරුවන්ගෙන් වාර්තා කිහිපයක්
මෙම තරගයේදී පකිස්ථාන කණ්ඩායමේ පිතිකරුවන් වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත් වූහ.
විරාට් කෝලිගේ වාර්තාව බිඳ හෙළූ ෆර්හාන්
සුවිශේෂී වාර්තාවක් වූයේ, ආරම්භක පිතිකරු ෂහිබ්සාදා ෆර්හාන් පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියකදී පිතිකරුවෙකු රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව රැස් කිරීම ය.
ඔහු බිඳ හෙළුවේ වසර 12කට පෙර එනම් 2014 වසරේදී විරාට් කෝලි ලකුණු 319ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාව ය.
ෆර්හාන් ඉනිම 6කදී ලකුණු 383ක් රැස් කිරීමට සමත් විය.
පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියක ශතක දෙකක් රැස් කළ එක ම පිතිකරු
පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියක ශතක දෙකක් රැස් කළ පළමු සහ එක ම පිතිකරු බවට ෂහිබ්සාදා ෆර්හාන් සමත් විය.
ඔහු මෙම තරගයේදී රැස් කළේ, මෙවර තරගාවලියේ දෙවන ශතකය යි.
පකිස්ථානය වෙනුවෙන් හොඳ ම ආරම්භක ලකුණු සබඳතාව
ඊට අමතරව, පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියක එක් තරගයක ආරම්භක පිතිකරුවන් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව අද වාර්තා විය.
ෆර්හාන් සහ ෆකාර් සමාන් ආරම්භක සබඳතාව වෙනුවෙන් ලකුණු 176ක් රැස් කළහ.
මේ අතර, ෆකාර් සමාන් මෙම තරගාවලියේ පළමු වරට අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.