ගිනස් වාර්තාවක් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ ඉදිකෙරෙන අලුත් ව්‍යාපෘතිය ගැන මේ තොරතුරු දන්නවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් කොළඹ වරාය නගරයේ සිදු කිරීමට සැලසුම් කර ඇති ආයෝජනයකට රජය වසර 25ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් බදු කපා හැර තිබේ.
Clothespin Management and Development (Private) Limited ආයතනය ගිනස් පොතට එක්වීමේ සැලසුම් සහිතව 'ලොව උස ම සහ විශාලතම කලාගාරය' සහ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් දැවැන්ත බිග් බෙන් ඔර්ලෝසුව හා සමාන වූ මීටර් 15ක සුවිසල් සුවිශේෂි ඉදිකිරීමක් වරාය නගරයේ ඉදිකිරීමට යෝජිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස 2025 ජූලි 14 වන දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්වේ.
Clothespin Towers ද්විත්ව කුලුනු ව්‍යාපෘතියට අයත් වන්නේ මොනවා ද?
වරාය නගරයේ වර්ග මීටර් 24,324ක විශාලත්වයෙන් යුතු භූමියක ඉදිකෙරෙන Clothespin Towers ලෙස නම් කර ඇති ද්විත්ව කුලුනු ව්‍යාපෘතියක් වන මෙහි අධිසුඛෝපභෝගී නිවාස, තරු හතේ හෝටලයක්, ඉහළ පෙළේ අවන්හල්, ඉහළ පෙළේ සිල්ලර වෙළෙඳසල් සහ කුලියට ලබා දෙන කාර්යාල අවකාශ මෙන් ම නවීන මාදිලියේ ඉන්ෆිනිටි පිහිනුම් තටාක සහ සුවතා මධ්‍යස්ථානවලින් සමන්විත ය.
තව ද, LEED රන් සහතිකය අනුව සැලසුම් කර ඇති මෙහි සුහුරු ගොඩනැගිලි පද්ධතියක්, බල ශක්තිය ඉතිරි කරන යටිතල ව්‍යුහයක්, සූර්ය බලශක්තිය, වැසි ජලය රැස්කිරීමේ සහ ස්වයංක්‍රීය දේශගුණ පාලනය කිරීමේ ක්‍රම ඒකාබද්ධ කරයි.
එමෙන් ම, මෙහි එක් කුලුනක ලොව විශාලතම කලාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එය ලොව විශාලතම සිරස් කලාගාරය වනු ඇතැයි ගැසට් පත්‍රයේ සඳහන් වේ.

ව්‍යාපෘතියට වැය වන මුදල කොපමණ ද?
මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ අයෝජනය ඇමෙරිකානු ඩොලර් 540,104,317ක් වන අතර ඉන් ඩොලර් 75,000,000ක් ඉඩම් බදු ගැනීම සඳහා වෙන් කර තිබේ.
වරාය නගරයේ ඉදිකිරීම් සහ පූර්ව මෙහෙයුම් වියදම් සඳහා ඇමෙරිකානු ඩොලර් 465,104,317ක් වැය වන බව ගැසට් නිවේදනයේ දැක්වේ.
මෙම අයෝජනය සිදු කරන පළමු වසර තුළ සේවකයන් 280 දෙනෙකු බඳවා ගැනීමට නියමිතව ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා වන බලපත්‍රය 2025 මාර්තු 28 වන දා නිකුත් කර ඇති අතර ඉන් මාස 6ක් ඇතුළත ව්‍යාපාරය ආරම්භ කළ යුතු බව ද ගැසට් පත්‍රයේ දක්වා ඇත.
2060 දක්වා බදු සහන ලබා දී ඇති ආකාරය
2025 ජූලි 14 වන දා සිට 2060 ජූලි 13 වන දා දක්වා වසර 35ක් වූ උපරිම කාලයකට යටත්ව නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ද අදාළ ව්‍යාපෘතිය සඳහා රජය විසින් Clothespin Management and Development (Private) Limited සමාගම වෙත ලබා දෙනු ලැබ ඇත.
මීට අදාළ දේශීය ආදයම් පනත යටතට ගැනෙන බදු සඳහා 2025 ජූලි 14 වන දා සිට 2060 ජූලි 13 වන දා දක්වා බදු නිදහසක් සහ දිරිගැන්වීමක් ලබා දී ඇත.
ඒ අනුව, බදු නිදහස හිමි වන වසර විසිපහක කාල සීමාව අවසන් වීමෙන් පසු ආනයනික බදු අනුපාතයෙන් 50%ක දිරිගැන්වීමක් වසර 10ක කාලයකට ලැබිය යුතු බව ද එහි දක්වා තිබේ.
2002 අංක 14 දරන එකතු කළ අගය මත දරන බදු පනත යටතේ කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන ව්‍යාපාර ආශ්‍රිත සියලු භාණ්ඩ හා සේවා ආනයන සහ දේශීය මිල දී ගැනීම් සඳහා 2025 ජූලි 14 වන දා සිට 2050 ජූලි 13 වන දා දක්වා බදු නිදහසක් හිමිව ඇත.
එමෙන් ම, 2025 ජූලි 14 වන දා සිට 2050 ජූලි 13 වන දා දක්වා 2002 අංක 11 දරන මුදල් පනත හා 2005 අංක 5 දරන මුදල් පනතේ සියලු විධිවිධානවලින් මෙම ව්‍යාපෘතිය නිදහස් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Gazette Notification
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1989 අංක 13 දරන සුරාබදු විශේෂ විධිවිධාන පනත, රේගු ආඥා පනත, 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන පනත සහ 1979 අංක දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතින් පනවා ඇති සියලු බදු, තීරු බදු සහ අය කිරීම්වලින් ද ඉහත කාල සීමාව දක්වා නිදහස් කරනු ලැබ තිබේ.
තවද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ ඉහත කාල සීමාවට කොළඹ වරාය නගරයට පනවා ඇති නියෝගවලින් හැර අනෙකුත් විධිවිධානවලින් ද ව්‍යාපෘතිය නිදහස් වන්නේ ය.
මෙම ව්‍යාපෘතිය සඳහා 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත, විනෝද බදු පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලිම් සහ සූදු බදු පනතින් කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ලබා දී නැත.
එමෙන් ම, 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත ද 2025 ජූලි 14 වන දා සිට 2050 ජූලි 13 වන දා දක්වා සියලු විධිවිධානවලින් නිදහස් කර ඇත.
"ශ්‍රී ලංකාවේ සංස්ථාගත Clothespin Management and Development (Private) Limited සමාගම, කොළඹ වරාය නගරය තුළ Clothespin Towers යන නාමයෙන් ස්ථාවර වන කලාත්මක සහ ගෘහ නිර්මාණ ශිල්පීය නිරූපකයක් ලෙස නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් සිටින අතර මෙමගින් ලොව පිළිගත් ආයෝජකයන්, ගෝලීය බලපෑම්කරුවන් සහ ප්‍රසිද්ධ සමාගම් ආකර්ෂණය කරගනු ඇතැයි," අතිවිශේෂ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ගනුදෙනුව සිදුවුණේ කෙසේ ද?
කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය එහි ආයෝජන සමාගමක් වන චයිනා හාබර් සමාගම හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ව්‍යාපෘතියක් බව චයිනා හාබර් සමාගමේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
කෙසේ වෙතත්, වරාය නගරයේ භූමි අයිතිය ශ්‍රී ලංකා රජය සතු වන හෙයින් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ගනුදෙනු සියල්ල කැබිනට් මණ්ඩලය හරහා සිදු වෙයි.
ඒ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණේ ඒ අනුව ය.
Clothespin Management and Development (Private) Limited යනු කුමක් ද?
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් Clothespin Management and Development (Private) Limited නමැති ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක් විසින් සිදු කරනු ලබන බව අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.
Clothespin Management and Development (Private) Limited නමින් යුත් එම සමාගම ඩුබායිහි ක්‍රියාත්මක වන සමාගමක් බව පැවසෙන අතර, ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදංචි කර ඇති බව එම වෙබ් අඩවිය පවසයි.
කෙසේ වෙතත්, අදාළ සමාගම පිළිබඳ වැඩිදුර විස්තර සොයා ගැනීම සඳහා ඉන්ටර්නෙට්හි සොයා බැලුව ද, සමාගමට අදාළව තොරතුරු හෝ එහි නිල වෙබ් අඩවියක් සොයා ගැනීමට නොහැකි විය.
මේ අතර, චයිනා හාබර් සමාගමේ නිලධාරියා පැවසුවේ, Clothespin Management and Development (Private) Limited සමාගම ඩුබායිහි ඉදිකිරීම් සමාගමක් ලෙස ක්‍රියාත්මක වන බව ය.
කොළඹ වරාය නගරයට අයත් භූමිය සහ එහි අයිතිය
කොළඹ වරාය නගරයේ ගොඩ කළ හෙක්ටයාර 269ක භුමියෙන් හෙක්ටයාර 178ක් ආයෝජන සඳහා වෙන්කර ඇති අතර, ඉතිරි හෙක්ටයාර 91, මාර්ග සහ මහජන උද්‍යාන වැනි පොදු ස්ථාන සඳහා වෙන්කර තිබේ.
චයිනා හාබර් සමාගමේ නිලධාරියා පැවසුවේ, වරාය නගරයේ භූමියෙන් 100%ක අයිතිය ශ්‍රී ලංකා රජයට අයත් වන බව ය.
කෙසේ වෙතත්, වරාය නගරය ඉදිකළ සමාගම වන චයිනා හාබර් සමාගමට 43%ක භූමි ප්‍රමාණයක් කල්බදු රඳවාගැනීමේ හිමිකම් (Leasing Holding Rights) යටතේ ආයෝජන සඳහා ලබා දී ඇතැයි එම නිලධාරියා සඳහන් කළේ ය.
අදාළ නිලධාරියා පැවසූ ආකාරයට, Clothespin Management and Development (Private) Limited ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතිය ඉදිකෙරෙන්නේ, චයිනා හාබර් සමාගමට කල්බදු රඳවාගැනීමේ හිමිකම් මත පැවරී ඇති භූමියේ ය.
වරාය නගරය ගැන ආණ්ඩුවේ 'ස්ථාවරයේ වෙනසක්'
කොළඹ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් මුල සිට දැඩි විරෝධය පළ කළ පාර්ශව අතරින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන් ම සිටි කණ්ඩායමක් විය.
2015 වසරේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන රැලිවල ප්‍රධාන මාතෘකාවක් බවට කොළඹ වරාය නගරය පත්වී තිබිණි.
2015 වසරේ පෙබරවාරි 08 වන දා තංගල්ල ප්‍රදේශයේදී පැවති රැලියකදී පැවසුවේ, වරාය නගරය ඉදිකිරීම සඳහා "මහමුහුද ගොඩකිරීම නතර කිරීම සඳහා අවශ්‍ය බලපෑම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ගෙන යන," බව ය.
"ලංකාවෙ පළවෙනි වතාවට කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපිට අක්කර 575ක්, ස්වල්ප ප්‍රමාණයක් නෙවේ, කල්පනා කරල බලන්න, අක්කර 575ක්. චීනට ගොඩ කරල, චීනට දූපතක් හදන්න දුන්න. අක්කර 575ක්. අපේ රටේ කුඹුරක් ගොඩ කරන්න නීතියක් තියෙනව. අපේ රටේ මඩ වගුරක් ගොඩ කරන්න නීතියක් තියෙනව. අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නෑ...."
"මට ඉන්ජිනේරු මහත්තයෙක් කිව්ව ගල් විතරක් කියුබ් කෝටි 12ක්. කෝටි දෙකයි හොයාගෙන තියෙන්නෙ. ගල් කඩන්නෙ කොහෙන් ද කියල බලල නෑ. පෙරේදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්ත කිව්වා රාජිත සේනාරත්න මේ ව්‍යාපෘතිය ඉස්සරහට දිගට ම කරගෙන යන්න. ඕකට නෙවෙයි, රාජපක්ෂලා පරාද කළේ. ඕකට නෙවෙයි රනිල්ලට මෛත්‍රීලට බලය දුන්නෙ... මහමුහුද ගොඩ කිරීම නතර කළ යුතු යි. නතර කිරීම සඳහා අවශ්‍ය කරන බලපෑම ඉදිරියට ගෙන යාම ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරනවා."














