වරාය නගරය: යහපාලන ආණ්ඩුව පොරොන්දු ඉටු කළාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් පාරිසරික, ආර්ථික සහ සමාජීය ගැටලු මතු වන බවට එම ව්‍යාපෘතිය ආරම්භයේ පටන් චෝදනා එල්ල විය.
එමෙන්ම ඒ අවට මුහුදු තීරයේ කෙරෙන ධීවර කර්මාන්තයට ද ඉන් බලපෑම් එල්ල වන බවට ධීවරයෝ මැසිවිලි නගති.
තමන් බලයට පත් වූ විගස වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතර කරන බව 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී වත්මන් ආණ්ඩුවේ නායකයන් පැවසූහ.
යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු 2015 වසරේ මාර්තු මාසයේ දී වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කටයුතු කළේය.
නමුත් එම ව්‍යාපෘතියේ වැඩකටයුතු 2016 වසරේ දී යළි ආරම්භ කෙරිණි.
පරිසර වාර්තාව අනුමත වීම සහ සින්නක්කර ලෙස ඉඩම් ලබා නොගැනීමට චීන සමාගම එකඟ වීම යන කරුණු මත චීන වරාය නගර ව්‍යාපෘතියට අනුමැතිය ලබා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
මීගමු වෙරළ තීරයට 'හානි'
වරාය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ජාතික ධීවර සහයෝගිතාව පෙන්වා දෙයි.
එහි කැදවුම්කරු මෙන්ම ලෝක ධීවර සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත හර්මන් කුමාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වරාය නගරය ඉදිකිරීම සඳහා මීගමු මුහුදු තීරයෙන් වැලි ගැනීම වසරකට ආසන්න කාලයක සිට සිදු කෙරෙන බවය.
නැව් කීපයක් යොදා ගනිමින් මුහුදු වැලි පොම්ප කිරීම සිදු කෙරෙන බවත් ඔහු කියා සිටියේය.
වරාය නගරය සඳහා මුහුද ගොඩ කිරීමට තවත් වසර දෙකක් වැලි ගැනීමට නියමිත බව කී ඔහු එසේ ලබා ගන්නා වැලි ප්‍රමාණය වැලි ඝන මීටර් මිලියන 60 සිට 100 දක්වා වනු ඇති බව ද පෙන්වා දුණි.
මීගමුව කලපු ධීවර සංවිධානය වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුල සිටම විරෝධය පළ කළ සංවිධානයකි.
මුහුදු පතුලින් ඉවක් බවක් නොමැතිව වැලි ගැනීම තුළ මීගමුව තලාහේන පේරුව මුහුදු ඛාදනයට නතුව විනාශ වන බව මීගමුව කලපු ධීවර සංවිධානයේ මාක්ස් ඇන්ටනි පවසයි.
මේ වන විට මීගමුව බසියාවත්ත ප්‍රදේශයේ නිවාස හතරක් මුහුදු බත් වී තවත් නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ මුඛයේ පවතින බව පෙන්වා දුන් මාක්ස් ඇන්ටනි "වසරක විනාශය ඇස් පනාපිටම" දකින්න ඇති බව ද කියා සිටි.
උපන් ගම්බිම් අහිමිව

පනස්අට හැවිරිදි මේරි කොන්සි මීගමුව බසියා වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
"මුහුදේ වැලි ආණ්ඩුව හූරලා ගත්තම ,අපේ වැලි මුහුද හූරලා ගන්නවා. මේක ඕනෑම මෝඩයෙකුට තේරෙනවා. නමුත් බලධාරීන්ට මේවා නොතේරෙන එක තමයි ගැටලුව" යනුවෙන් ඇය කියා සිටියේ තමන් උපන් ගම්බිම් අහිමිව යාම පිළිබඳ ශෝකය පළ කරමිනි.
"දැන් මගේ ගේ මුහුදුබත් වුනා. මට දැන් උරුම මහා පාර තමයි. අපි ඒ නිසා තමයි විරුද්ධ වුනේ. විශේෂයෙන්ම මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ මේ ව්‍යාපෘතිය නතර කරනවා කියල. නමුත් අද මේ අය ඉස්සර අයටත් වඩා හොඳට කරගෙන යනවා. මේවා ලංකාවේ මාධ්‍යවලවත් පළ වෙන්නේ නැහැ" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
අනාගතයට ඇති බලපෑම

භූගෝල විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පවසන පරිදි මුහුදු පතුලෙන් වැලි ගැනීම තුළ සිදුවන විනාශය තවත් වසර ගණනාවකට බලපානු ඇත.
වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා අවශ්‍ය වැලි ගැනීමට අමතරව වරාය නගරය සඳහා ද මුහුදෙන් මහා පරිමාණයෙන් වැලි ලබා ගැනීම සිදු වන බව කී සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත "මේවා ස්වභාවිකව මුහුදේ තැන්පත් වූ වැලි. මැති ඇමතිවරුන් හෝ කවුරුත් මුහුදේ තැන්පත් කළ දේවල් නොවෙයි" යනුවෙන් සඳහන් කළේය.
ස්වභාවික වැලි සහිත මුහුදු පත්ලේ සජීවී පරිසර පද්ධතියක් පවතින බවත් ඔහු පෙන්වා දුණි.
"වැලි කියුබ් දහයක් පහළොවක් නෙමෙයිනේ. මිලියන ගානක්නේ. කියුබ් මිලියන ගානක් ගොඩ දැමූ විට එතන හිඟයක් ඇති වෙනවා. ඒ හිඟය පුරවන්න පිටින් සාගර ප්‍රවාහ ඔස්සේ වැලි ගහගෙන එනවා. එතකොට පරිසරයට වෙන හානිය කොතෙක් ද කියලා අපට කියන්න බැහැ"
"මේකේ ප්‍රතිඵල දවසින් දෙකෙන් නෙමෙයි සමහරවිට අවුරුදු සිය දහස් ගණනක් දිගටම පවතින්න පුළුවන්" යනුවෙන් සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවේ ප්‍රතිචාරය

ඡායාරූප මූලාශ්‍රය, DEFENCE.LK
ජනතාව හා පරිසරවේදීන් හා විද්වතුන් පෙන්වා දෙන පරිසර විනාශය පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව සමග ගිවිසුමකට එළඹ ඇති බවය.
පසුගිය කාලය තුළ තමන් ජනතාව සමග ඒ සම්බන්ධයෙන් නිරන්තර කතා බහක නිරතව සිටි බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එහෙත් මේ දක්වා තමන්ට ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව සඳහන් කළේය.
පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව ඉන් කොටසක් අදාළ ඉදිකිරීම් සිදු කරන චීන සමාගමට සින්නකරව ලබාදීමට ඇතිකර ගෙන තිබූ එකඟතාව පිළිබඳ එවක මහත් ආන්දෝලනයක් ඇතිවිය.
ඉන් පසු බලයට පත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කියා සින්නකක්ර ඉඩම් ලබා දීමට ඇති කරගෙන ඇති එකඟතාවට සිය රජයේ අනුමැතිය නොලැබෙන බවය.
ඒ අනුව පැරණි ගිවිසුම අත්හිටුවා නව ගිවිසුමක් හරහා එම ඉඩම 99 වසරක බද්දට ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පසුගිය ජනවාරි මාසයේ කියා සිටියේ පැවති ආණ්ඩුව සින්නක්කර ඉඩම් ලබාදීමට කටයුතු නොකළ බවය.










