සංශෝධිත පෝට් සිටි ව්‍යාපෘතියත් 'නීති විරෝධීයි'

ඡායාරූප මූලාශ්‍රය, Getty

අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයේදී අත්සන් තැබීමට යෝජිත සංශෝධිත 'පෝට් සිටි' වරාය නගර ව්‍යාපෘතියද නීති විරෝධී බව පරිසරවේදීහු පවසති.

ව්‍යාපෘතියට අනුමැතිය ලබාගැනීමේ සිට මුල සිටම සියල්ල ක්‍රියාත්මක වූයේ නීති විරෝධී ආකාරයකින් බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ වරාය නගරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සජීව චාමිකර, සංශෝධිත ව්‍යාපෘතියෙන් පවා ශ්‍රී ලංකාවට බරපතල අලාභහානි සිදුවන බවට අනතුරු අඟවයි.

මුල් අදියරේදී හෙක්ටෙයාර 233 ක ප්‍රමාණයක ඉදිකිරීමට නියමිතව තිබුණු වරාය නගරය, යහපාලන ආණ්ඩුව විසින් හෙක්ටෙයාර 269 දක්වා වැඩි කර තිබෙන බවයි සජීව චාමිකර පවසන්නේ.

සංශෝධිත ව්‍යාපෘතිය වෙනුවෙන් මුල් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට ව්‍යතිරේකයක් එක් කිරීමත් නීති විරෝධී බව වරාය නගරයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty

"ඒ වාර්තාව සඳහා රජය දැඩි බලපෑමක් කරලා කොන්දේසි 71 ක් යටතේ අනුමැතියක් ලබාගෙන තියෙනවා," බව පවසන සජීව චාමිකර වැඩිදුරටත්කියා සිටියේ එම කොන්දේසි කවරේදැයි ජනතාවට හෙළි කර නැති බවයි.

කෙසේ නමුත් රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රටක බලධාරීන්ට සිදුවන්නේ නොවේදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, එය සැබෑවක් නමුත් වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අවාසි සහගත වූවක් බවයි.

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ වරාය නගර ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක වූ අවස්ථාවේ එහි ප්‍රතිඵලයක් වශයෙන් ධීවරයන් විසි දහසකට ආසන්න පිරිසක් අවතැන් වූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් අගමැතිවරයාගේ චීන සංචාරය පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු <link type="page"><caption> නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160406_pavithra_ranil_china_visit" platform="highweb"/></link> කියා සිටියේ ශ්‍රී ලංකාවට වාසි සහගත වන ආකාරයේ කොන්දේසි මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි.