විනිසුරු සරවණරාජා: ‘දුන්න තීන්දුව වෙනස් කරන්න කියලා එතුමට බලපෑම් ආවා’

ඡායාරූප මූලාශ්‍රය, Facebook
ජීවිත තර්ජන ඇති බව පවසමින් මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී.සරවණරාජාගේ ඉල්ලා අස්වීම පිළිබඳ සිද්ධිය පිළිබඳ අද (සැප්තැම්බර් 3 වැනිදා) පාර්ලිමේන්තුවේදී විවාදාත්මක තත්ත්වයක් ඇතිවිය.
සමගිජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ, විනිසුරුවරයා ඉල්ලා අස්වී ඇත්තේ ඔහුට එල්ල වූ බලපෑම් නිසා බවය. “දුන්න තීන්දුව වෙනස් කරන්න කියලා එතුමාට බලපෑම් ආවා. ඒක තමයි ඇත්ත. ඒ දීපූ තීන්දුව වෙනස් කරන්න කියලා බලපෑම් ආවා. ඒකයි ආතතිය කිව්වේ.”
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද කියා සිටියේ මුලතිව් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම බරපතල කාරණාවක් බවය. එය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල කාරණායක් බව ඔහු පෙන්වා දුන්නේය.
“ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න සූදානම් වන්න එපා”
ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉල්ලා සිටියේ, මේ සිද්ධිය පිළිබඳ වගකීම ආණ්ඩුව වෙත එල්ල නොකරන ලෙසය.
“එතුමා රටින් ගිහාම තමා ලිපියක් ලැබෙන්නේ, අධිකරණ සේවා කොමිෂන් සභාවට. එහෙම මානසික ආතතියක්, බලපෑමක් තිබුණා නම් විදේශීය රටකට ගිහිල්ලා මෙහෙට ලිපිය ලැබෙන්න සලස්වන්න උවමනාවක් නැහැ. අනිත් එක විනිසුරුවරයෙකුට බලපෑමක් තිබුණානම් ඒ බලපෑම කරන්නේ ආණ්ඩුවෙන්ද? මන්ත්‍රීවරයෙක්ද ? සාමාන්‍ය පුරවැසියෙක්ද කියන එක අදාළ නැහැ. ඒ විනිසුරුවරයාට සම්පූර්ණ බලතල ව්‍යවස්ථාව අනුව දීලා තියෙනවා. ඒ බලපෑම කරපු පුද්ගලයාට සිතාසි නිකුත් කරලා ගෙන්වා ගන්න පුලුවන්. වරෙන්තුවක් නිකුත් කරන්න පුළුවන්. නඩුවක් විභාග කරලා දඬුවම් කරන්න පුලුවන්. අභියාචනාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න පුලුවන්. ඒ සියලු බලතල තියෙන්නේ විනිසුරුවරයාටමයි. ඒ බලය ඔහු පාවිච්චි නොකළ නම් ඒකේ වගකීම ඔහු භාරගත යුතුයි.” අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ “මේ සම්බන්ධව කිසිදු වගකීමක් ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න සූදානම් වන්න එපා. හේතුව මේ මහේස්ත්‍රාත්වරුන්ගේ , දිසා විනිසුරුවරුන් සම්බන්ධ සම්පූර්ණ විනය බලධාරියා, පාලනය කරන්නේ, පත් කිරීම් කරන්නේ සියල්ල කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව නිර්මාණය කරපු කොමිෂන් සභාවක්. ඒ විනිසුරුවරයා පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාටවත් බලයක් නැහැ. ඒ බලය තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට පමණයි. යම්කිසි කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා අධිකරණ සේවා කොමිෂන් සභාවට යවන්න. ඒකට නියෝග දෙන්න අපිට බලයක් නැහැ. ඒකට කරුණු ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් නැහැ. ඒ සියලු බලතල අගවිනිසුරුවරයාගේ සභාපතීත්වයෙන් තියෙන කොමිෂන් සභාවට කරුණාකරලා යවලා එහෙන් උත්තරයක් ලබා ගන්න.”
ජීවිත තර්ජන ඇති බව පවසමින් විනිසුරු සරවණරාජා ඉල්ලා අස්වෙයි
ජීවිත තර්ජන ඇතැයි පවසමින් මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවණරාජා සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට සඳහන් ලිපියක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතන අතර එහි නිරවද්‍යතාව බීබීසි සිංහල සේවය විසින් තහවුරු කර ගන්නා ලදි.
2023 සැප්තැම්බර් 23 දාතමින් යුත් එම ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට යොමු කර ඇති අතර තමන් දරණ ලද සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එහි සඳහන් කර තිබේ.
තමන්ගේ ජීවිතයට ඇති තර්ජන සහ අධික මානසික පීඩනය හේතුවෙන් මෙම තීරණය ගත් බව අදාළ ලිපියේ සඳහන්ය.
සරවණරාජා විනිසුරුවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව විනිසුරුවරයෙකු පත් කරනු ලැබීමට නියමිතය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
'මේ ගැන සොයා බලනවා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවණරාජා ඉල්ලා අස්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් කරුණු විමසු අවස්ථාවේදී අමාත්‍යවරයා බීබීසි සිංහල සේවයට පැවසුවේ තමන් ඒ ගැන සොයා බැලූ බවයි.
" මට දැන ගන්න ලැබුණා මේ ගැන. ඒ පිළිබඳව මා සොයා බැලීමක් කළා" යැයි අමාත්‍යවරයා පැවසුවේය.
මෙම විනිසුරුවරයා අභියාචනාධිකරණය හමුවේ විභාගවන නඩු පහකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිට ඇතැයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා උපදෙස් ගැනීම සඳහා විනිසුරුවරයා සිය කැමැත්තෙන්ම නීතිපතිවරයා හමුවීමට ගොස් ඇත්තේ අදාළ නඩුවල වගඋත්තරකරුවෙකු නිසා බවද ඔහු පැවසීය.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ, විනිසුරුවරයාට ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවය.
මෙම විනිසුරුවරයා සතියකට පමණ පෙර කොළඹට පැමිණ සිය මෝටර් රථයද විකුණා ඇති අතර ඔහු බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකුද හමුවී මෙලෙස ධුරයෙන් ඉවත්ව ඇති බවට තොරුතුරු සොයා බැලීමේදී අනාවරණය වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව අඩු කරලා ද ?
මේ අතර, විනිසුරු ටී. සරවණරාජාට ලබාදී තිබු ආරක්ෂාව අඩු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූවගෙන් බීබීසි සිංහල සේවය විමසීමක් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සෑම විනිසුරුවරයෙකුට නියමිත ආරක්ෂක භටයින් පිරිසක් අනුයුක්ත කර ඇති බවයි.
"නියමිත සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ප්‍රමාණය ලබා දීලා ඇති. ඒ ගැන සොයා බලනවා."යනුවෙන් ඔහු පැවසීය.
මේ අතර විනිසුරු ටී. සරවණරාජ මේවන විට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට දෙමළ භාෂා පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ.
'මේක බෞද්ධ රටක් කියලා මේ මහේස්ත්‍රාත්වරයාට අපි මතක් කර දිය යුතුයි'
මේ අතර පසුගිය ජුලි මස 7 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතුවලට මැදිහත්වීමට මහේස්ත්‍රාත්වරයාට දැනුමක් හෝ බලයක් නොමැති බවයි.
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
"කුරුන්දි විහාරයේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරලා සර්වඥ ධාතුන් තැන්පත් කරන්න ගියාම මහානායක හිමි ඇතුළු මහා සංඝරත්නයට සහ බැතිමතුන් පිරිස මැර දෙමළ දේශපාලකයින් පළවා හැර තිබෙනවා මලක්වත් පුජා කරන්න දෙන්නේ නැතුව."
"ඒ ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ තීරණ ගැන අපට කිසිසේත්ම සෑහීමට පත්වෙන්න බැහැ. ඒ චෛත්‍ය සංරක්ෂණය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයෝ. ඒකට පාවිච්චි කරන ද්‍රව්‍ය ගැන කතා කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් හෝ දැනුමක් නැහැ. ඒකෙ තියෙන පුවරුව ගැන ප්‍රශ්න කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් නැහැ. ඒක කරන්නේ පුරාවිද්‍යා නිලධාරින්."
"දැනට දින කිහිපයකට උඩදී මේ දෙමළ ජාතික මහේස්ත්‍රාත්වරයා කුරුන්දි විහාරය නිරීක්ෂණ චාරිකාවක් ආවා. මමත් එතැන හිටියා."
"ඒ අවස්ථාවේ ඔවුන් එතැන සාකච්ජා කරද්දී එම විහාරය වන්දනා කරමින් සිටි විහාරාධිපති සාන්තබෝධි හිමියන් සහ අනෙක් සංඝරත්නය නවත්වලා, දැන් හාමුදුරුවන්ට විරුද්ධව කටයුතු කරනවා. පරික්ෂණය අතරතුර වන්දනා කළා කියලා."
"මේක බෞද්ධ රටක් කියලා මේ මහේස්ත්‍රාත්වරයාට අපි මතක් කර දිය යුතුයි."
"පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙසට මට අදහස් ප්‍රකාශ කරන්න මහේස්ත්‍රාත්වරයා ඉඩක් ලබා දුන්නේ නැහැ." මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මුලතිව් මහේස්ත්‍රාත්වරයා විභාග කළ නඩු මොනවාද ?
මෑත කාල සීමාවේදී වැඩි අවධානයක් හිමිවූ සිදුවීම් දෙකකට අදාළ නඩු කටයුතු පැවතියේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි.
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුතු පැවැත්වුණේ ටී. සරවණරාජා විනිසුරුවරයා ඉදිරියේදීයි.
කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද විනිසුරු සරවණරාජා ඉදිරියේය.








