වසර 33කට පසු පූජාවන් සඳහා නිදහස් කෙරුණු යාපනයේ කෝවිල

Sri Muttumari Amman Kovil, Jaffna

ඡායාරූප මූලාශ්‍රය, Vijayakala Maheswaran

යුද්ධය හේතුවෙන් යුධ හමුදා කඳවුරු සීමාව වෙත පවරාගෙන තිබූ යාපනය, වලිකාමම්, කට්ටුවාන් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ආගමික වතාවන් සඳහා නිදහස් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන යුධ හමුදා නිලධාරීන් කටයුතු කොට තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා කෝවිලේ පූජකවරු කණ්ඩායමක්, වසර 33කට පසු යුධ හමුදාව නිදහස් කළ කෝවිල් භූමියට පැමිණ පූජාවක් පැවැත්වූහ.

යුධ ගැටුම් හේතුවෙන් 1990 වසරේ කට්ටුවාන්හි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල පැවති භූමිය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ස්ථාපිත කඳවුරු සීමාවට ඇතුළත් කරගෙන තිබිණ.

දශක ගණනාවක් අතහැර දමා තිබුණු කෝවිලේ යුධ හමුදා සාමාජිකයින් විසින් පහන් දල්වා තිබූ ආකාරය තමන් දුටු බව කෝවිලේ පූජාවන් සඳහා සහභාගීවූවෝ පැවසූහ.

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල පූජා කටයුතු සඳහා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මෙසේ පැවසුවා ය:

"වසර 33කට පසුව කට්ටුවාන් ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල නිදහස් කිරීම ප්‍රදේශයේ ජනතාවගේ පැසසුමට ලක්වෙලා තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවගේ මුල් ඉඩම් ප්‍රමාණයක් තවමත් පවතින්නේ ආරක්ෂක අංශ කඳවුරු සීමාවන් තුළ. ඒ ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට අවශ්‍ය පියවර රජය ගනිමින් ඉන්නවා."

කෝවිල පූජාවන් සඳහා නිදහස් කළ ද, කෝවිල් භූමිය අවට ජනතාවගේ ඉඩම් තවමත් නිදහස් කිරීමට පියවර ගෙන නොමැති බව කට්ටුවාන් ඉඩම් අහිමි ජනතාව ප්‍රකාශ කරති.

යුද්ධය නිමාවී වසර 14ක් ගතවුව ද අදාළ කෝවිල ඇතුළු යාපනය, වලිකාමම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 3000ක් පමණ තවමත් යාපනය යුධ හමුදා කඳවුරු සීමාවන් වෙත පවරාගෙන ඇති බව යාපනය, වලිකාමම් ඉඩම් අහිමි ජනතාව පවසති.

Sri Muttumari Amman Kovil, Jaffna

ඡායාරූප මූලාශ්‍රය, Vijayakala Maheswaran

යුධ ගැටුම් බහුලව පැවති වකවානුවේ යාපනය පලාලි, කන්කසන්තුරය, පේදුරුතුඩුව, මුහමාලෙයි ආදි ප්‍රදේශයන්හි ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ කඳවුරු ස්ථාපිත සීමාවන්ට පවරා ගැණින.

සිවිල් ජනතාවගේ වගා ඉඩම් හා ජනතාව ජීවත්වූ ඉඩම් රැසක් එවක ආරක්ෂක අංශ විසින් පවරාගත් අතර, වලිකාමම් කොට්ඨාශයේ විසූ ජනතාව අවතැන්ව යාපනයේ ස්ථාපිත කඳවුරු 14ක් වෙත පැමිණියහ.

යාපනය දිස්ත්‍රික්කය තුළ මුල් ඉඩම් හිමි ජනතාව වෙත නිදහස් කිරීමට තවත් කොපමණ ඉඩම් ප්‍රමාණයක් පවතින්නේදැ යි යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන්ගෙන් විමසූ විට, තවත් ඉඩම් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් යාපනය ආරක්ෂක අංශ කඳවුරු සීමාවන් තුළ පවතිනබව හෙතෙම පැවසීය.

"එහෙත් නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය ඉල්ලීම් මේ වන විට අපි ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ ඉල්ලීම් වෙනුවෙන් අනුමැතිය ලද විගස නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා," ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.