ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩදීමට එරෙහි පෙත්සම: හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුට සහ වත්මන් ජනපතිට නොතීසි යැවීමට නියෝග
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් හා චක්‍ර ලේඛ නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ ය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ය.
ඒ අනුව, මෙම පෙත්සම ජූලි මස 20 වන දා අධිකරණය හමුවේ සලකා බලන බව දන්වමින් වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියම කළේ ය.
හිටපු ජනපතිවරුන්ට සහ වත්මන් ජනපතිට චෝදනා
පෙත්සම්කරු තර්ක කරන්නේ, ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමට නීතිමය හැකියාවක් නොමැති බව ය.
එහෙත්, 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාව සැත්කමක් මගින් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙන බවට පෙත්සම්කරු චෝදනා කරයි.
මෙවැනි ලිංගික වෙනස්වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කළ පෙත්සම්කරු, එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව සඳහන් කළේ ය.
පසුගිය රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මෙවැනි වැඩසටහන්වලට සහය දෙමින් වර්තමාන රජය ද පුද්ගලයින්ට නීති විරෝධී ලෙස ලිංගික පරිවර්තනයන් සිදු කර ගැනීමට අවශ්‍ය සහය දෙමින් කටයුතු කරන බවත් ඔහු සිය පෙත්සම තුළින් චෝදනා කර තිබේ.
මේ ආකාරයෙන් සිය කැමැත්ත පරිදි ලිංගික අනන්‍යතාව වෙනස් කිරීම හරහා සමලිංගික විවාහවලට මග පෑදෙන බවත් එය ද නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු පෙත්සමේ සඳහන් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී නිකුත් කරන ලද තීන්දුවකට අනුව ජනමත විචාරණයකින් තොරව පුද්ගල අභිලාෂය පරිදි ලිංගභේදය තීරණය කිරීම සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව සඳහන් කර ඇතැයි පෙත්සම්කරු කියා සිටියි.
මෙම නීතිවිරෝධී ක්‍රියාවට ඉඩ සැලසීම තුළින් වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවත්, ඒ අනුව ජීව විද්‍යාත්මක පදනමකින් තොරව සිය අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අනුමැතිය දෙමින් නිකුත් කර තිබෙන සියලු චක්‍රලේඛ හා රාජ්‍ය වැඩසටහන් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කාන්තා කටයුතු අමාත්‍යවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.