ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත: 'සමරිසි විවාහ බලාත්මක කිරීමක් හෝ දිරිගැන්වීමක් නෑ'
ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රධාන පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ මේ වන විට සංවාදයක් මතුව තිබේ. ඒ අතුරින් ‘කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත’ පසුගිය ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී තෙවනි වර කියවීමෙන් පසුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.
එයින් ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත’ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලදි.
ජනාධිපතිවරවයා පැවසුවේ මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවය.
මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ‘තමන්ගේ ලිංගිකත්වය තෝර ගන්න බැහැනේ කෙනෙකුට. ඉපදෙන කොටම තියෙන ලිංගිකත්වය අනුවනේ අපි ජීවත් වෙන්න ඕනේ’ යනුවෙනි.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත
මෙම පනත කාන්තාවන් සවිබලගැන්වීමට විධිවිධාන සැලසීමටත්, කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටත්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටත් සකස් කළ පනතක් බව පනතේ අර්ථ දක්වා තිබේ.
එසේ ම මෙම පනත කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය යාන්ත්‍රණ සකස් කිරීමටත්, එම අයිතිවාසිකම් උල්ලංඝණය වන අවස්ථාවල දී නඩු පැවරීමට සහ ඒ සම්බන්ධ අනෙක් කරුණු සඳහා විධිවිධාන සැපයීමට සකස් කළ පනතකි.
මෙම පනතේ 02 (ඈ )වගන්තියේ "ස්ත්‍රී පුරුෂ සහ ලිංගික දිශානතිය මත පදනම්ව" සිදුවන වෙනස් කොට සැලකීම්වලින් කාන්තාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාදයක් ඇති වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග එයට සංශෝධන යෝජනා කළේ ය. එහි දී මන්ත්‍රීවරයා යෝජනා කරනු ලැබුවේ "ස්ත්‍රීන්ට සිදුවන ලිංගික අපහරණයන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කිරීම" යන යෙදුම යොදන ලෙසයි. නමුත් එම සංශෝධනය වැඩි ඡන්දයෙන් පරාජය විය.
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව
පනතේ 3 වන වගන්තියෙන් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමට ප්‍රතිපාදන සලසා තිබේ. මෙම කොමිෂන් සභාව අවම වශයෙන් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් හා උපරිම වශයෙන් සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත විය යුතු, ධූර කාලය වසර හතරක් බලපවත්නා කොමිෂන් සභාවකි.
මෙහි සමාජිකයන් පස් දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතත්, තවත් සාමාජිකයන් දෙදෙනෙකු කතානායකවරයා විසින් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිර්දේශ මතත් ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු ය.
පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනය මන්ත්‍රී ධූරයක් දරන අයෙකු මේ සඳහා පත්වීමට නුසුදුස්සෙකු වන අතර, ශ්‍රී ලංකාවේදී හෝ වෙනත් රටක දී නීතියෙන් වරදකරුවෙකු වූවෙකු හෝ මෙතෙක් දෙවරක් ධූර කාලය දැරූ සාමාජිකයන් ද පත්වීමට නුසුදුස්සන් වේ. කොමිෂන් සභාවේ සාමාජිකත්වය දරණ කාන්තාවන් අතුරින් එක් අයෙකු සභාපති ලෙස පත් විය යුතු අතර, සභාපති ලෙස පත්විය යුත්තේ නියත වශයෙන් ම කාන්තාවකි.
නීතිය හෝ ව්‍යවස්ථාකරණය, වෘත්තීය සමිති, කළමනාකරණය සහ පරිපාලනය, ආර්ථික සංවර්ධනය, සෞඛ්‍යය,අධ්‍යාපනය, කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය සහිත හෝ කාන්තාවන්ගේ රැකියා අවස්ථා ඉහළ නැංවීමට කැප වූ තැනැත්තන් මෙම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස නිර්දේශ කළ හැකියි.
මෙම කොමිසමේ ප්‍රධාන ම වගකීමක් වන්නේ මෙම පනතේ අරමුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමය.
කොමිසමට ඇති බලයේ ස්වභාවය
පනතේ පස්වන වගන්තියේ කොමිෂන් සභාවට හිමිවන බලතල සම්බන්ධයෙන් දක්වා තිබේ.
- කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය හෝ උල්ලංඝණය වීමට යාම පිළිබඳව පැමිණිලි භාර ගැනීම, පරීක්ෂා කිරීම සහ විමර්ශනය
- එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයේ සිදුවන නඩු විභාගයක දී අධිකරණයේ අවසර ඇතිව ඒ සඳහා මැදිහත් වීම
- තැනැත්තන්ගෙන් තොරතුරු හා වාර්තා ඉල්ලා සිටීම ඇතුළුව සාක්ෂි රැස්කිරීම
- ඉහත ගැටළු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම
පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබී මාසයාක කාලයක් තුළ කොමිසම විසින් පරීක්ෂණයක් පැවැවැත්විය යුතු අතර, නඩු පැවරීමට අවශ්‍ය යයි කොමිසම සිතන්නේ නම් අදාල අධිකාරිය ලවා නඩු පැවරීම සිදු කළ යුතුයි.
කොමිසමේ තීන්දු සම්බන්ධයෙන් තෘප්තියට පත් නොවන්නෙකුට අභියායචනා කිරීමේ අවස්ථාව ද හිමිව තිබේ.
‘මේ පනත හොඳ පනතක්’
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය බිබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ මෙම පනත හොඳ ඉදිරි පියවරක් බවයි. ‘මේ සම්මත වුණු පනත ඉතා හොඳ පනතක්. කොමිෂන් සභාවක් හදන්න තමයි ඒකෙන් යෝජනා කරලා තියෙන්නේ. ඕනෑ කෙනෙක්ට පත් වෙන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. කාන්තාවන් සව්බල ගැන්වීමට හොඳ ඉදිරි පියවරක් කියලා කියන්න පුළුවන්,’ මන්ත්‍රීවරිය පැවසුවා ය.
‘කාන්තාව පිළිබඳ අර්ථ දැක්වීම පැහැදිලි නෑ’
මෙම පනත සම්බන්ධයෙන් එක් පසෙකින් ධනාත්මක ප්‍රතිචාර ලැබෙන නමුත් LGBTQ+ ප්‍රජාව නියෝජනය කරන ඇතැම් සංවිධාන පෙන්වා දෙන්නේ විශේෂයෙන් ම සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් මෙම පනතට ඇතුලත් වන්නේ ද යන්න පැහැදිලි නොමැති බව ය.
Trans Equality of Sri Lanka සංවිධානය වෙනුවෙන් අදහස් දැක් වූ සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් වන සකුනි මායා පවසන්නේ මෙම පනතේ කාන්තාවන් සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් නොමැති බවයි. "උපදිනකොටම ස්ත්‍රීන් විදිහට ඉපදුණේ නැතත් ස්ත්‍රීන් විදිහට ජීවත් වෙන අය මේ පනතට ඇතුලත් ද කියන එක පැහැදිලි නෑ. සමහර අය තමන්ගේ ලිංගික අනන්‍යතාවය කාන්තාවන් විදිහට වෙනස් කරගෙන තියෙනවා. නමුත් සමහර අය නෑ. මේ අය ඇතුළත් ද කියන එක අපට පැහැදිලි නෑ," ඇය පෙන්වා දෙයි.
‘කාන්තාව හඳුනාගන්නේ කොහොමද කියලා නිශ්චිත නෑ. සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සමහර අයට ජාතික හැඳුනුම්පතක් තියෙනවා. නමුත් සමහර අයට එහෙම හදාගන්න අවස්ථාවක් ලැබිලා නෑ. ඒ නිසා අපේ අයිතිවාසිකමුත් මේ පනත යටතේ නිශ්චිත විදිහට අඩංගු විය යුතුයි කියලා අපි හිතනවා,’ සකුණි පවසයි.
‘පනත ඉලක්ක කර තිබෙන්නේ කොමිසම ස්ථාපිත කිරීම’
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත මූලික වශයෙන් ම ඉලක්ක කරගෙන තිබෙන්නේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳව බව නීතීඥ ගයාත්‍රි නවරත්න පෙන්වා දෙයි. ‘මේ පනතේ මූලිකව ම ඇතුලත් වෙන්නේ කොමිෂන් සභාවක් පිහිටුවලා ඒ මඟින් කාන්තාවක් වීම මත සිදුවෙන හිංසනයක් ගැන සොයා බලන එක. මේ පනත ‘කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම පිළිබඳ සම්මුතිය’ පදනම් කරගෙන තිබෙන බව පේන්න තියෙනව,’ ඇය පෙන්වා දෙයි. ‘මේ පනත තුළ කාන්තාව කියන්නේ කවුද කියන එකට හරි නිර්වචනයක් දීලා නෑ. නමුත් ඒ වගේ දේවල් වලින් එහාට ගිහින් වැඩි අවධානයක් ලබා දීලා තිබෙන්නේ කොමිසම සම්බන්ධයෙන්.’
‘ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනවා නම් හොඳයි’
නීතීඥ ගයාත්‍රි පෙන්වා දෙන්නේ මෙවැනි බොහෝ පනත් සම්මත වුව ද ප්‍රායෝගික තලයේ ඇතිවන ගැටළු සහ අභියෝග නිසා ඒවායේ මුල් අරමුණ ඉටු කරගැනීමට නොහැකි වී ඇති බවයි. එනිසා මෙම පනත ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම වැදගත් බව ඇය පවසයි. ‘නීතියක් නැතිව තියෙනවාට වඩා මේ වගේ පනතක් එන එක හොඳයි කියලා මම හිතනවා. නමුත් පහුගිය කාලයක් පුරාම ලංකාවේ විවිධ නීති හැදුණා. ඒ නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක හේතුවෙන් මෑතක දි ගොඩක් නීති ආවත් ඒවා පුරවැසියන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ ගැටළුව තියෙනවා. මේ කොමිෂන් සභාව වුණත් ඇත්තටම ක්‍රියාත්මක වෙනවා නම් ඉතා හොඳයි.
යුක්තියට පහසුවෙන් ළඟා වීමේ හැකියාව
නීතීඥ ගයාත්‍රි පෙන්වා දෙන්නේ තම අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාම අසීරු කෙනෙකුට වුවත් මෙම කොමිෂන් සභාව හරහා යුක්තිය ඉල්ලා සිටීමට අවස්ථාව පනතෙන් සලසා දී ඇති බවයි. ‘පනතේ එක් තැනක සඳහන් වෙනවා මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඉන්න අතරවාරයක වුණත් අපට මේ කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය හරහා යුක්තිය ඉල්ලා සිටීම දුෂ්කර අවස්ථාවක දී අපට මේ කොමිසම හරහා කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ගැන කාර්යක්ෂමව යුක්තිය ඉටු කරගන්න පුළුවන් බවක් පේනවා. සම්පත් හිඟය වගේ සීමාවන් නොමැතිව කොමිසම ඒ විදිහට ක්‍රියාත්මක වුණොත් ඒ ප්‍රථිපල අපට අපේක්ෂා කරන්න පුළුවන්."
ඒ සඳහා විසඳුමක් ද පන්තෙන් ම යෝජනා කර තිබෙන බව ඇය පෙන්වා දෙයි. "මේ වගේ කොමිෂන් සභාවල අපි දකින අභියෝගයක් තමයි ඒ අයට සම්පත් හිඟයි. අවශ්‍ය මානව සම්පත්, පහසුකම් සහ තාක්ෂණය වගේ දේවල් වල හිඟයක් තියෙනවා. නමුත් මේ පනත හරහා කොමිසමට විදේශ ආධාර ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා දී තියෙනවා. සම්පත් හිඟ වීමේ ගැටළුවට උත්තරයක් එයින් හොයාගන්න පුළුවන්."
කාන්තාවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඉතා හොඳ ප්‍රවණතාවයක් බව ගයාත්‍රි පෙන්වා දෙයි. කාලයක් පුරාවට විවිධ සංවිධාන සහ ක්‍රියාකාරීන් විසින් සිදු කරගෙන ආ කාන්තා සවිබල ගැන්වීමේ කටයුතු රාජ්‍ය අනුග්‍රහය මත සිදුවීම කාන්තාවගේ ජීවන තත්වය උසස් කිරීමට අවස්ථාවක් ලබා දෙන බව ඇය පවසයි.
අලුත් නොවූ නීතිය
මෙම පනත හරහා ද පැමිණිලි කළ හැකි දේ පිළිබඳ වක්‍රාකාරයෙන් සීමාවක් පැනවී ඇති බව නීතීඥවරිය පෙන්වා දෙයි. මෙය කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ම ගෙන එන්නක් වුවත් නැවතත් මුලින් තිබූ නීති සමඟ ගමන් කිරීමට සිදු වන නිසා පනතේ අරමුණු ඒ ආකාරයෙන් ඉටු කරගැනීමට හැකිදැයි සැකයක් ඇති බව ඇය පවසයි. ‘මෙම පනතේ 17 (2) (1) වගන්තියේ දක්වලා තියෙනවා අපට පැමිණිලි සිදු කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙන විධිවිධානවලට යටත්ව කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මූලික අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන් මේ රටේ මීට කලින් පනවා තිබෙන අණ පනත්වලට යටත්ව කියලා. විශේෂයෙන් ම චාරිත්‍රානුකූල නීති රටේ තියෙනවා නම් ඊට යටත්ව තමයි අපි මූලික අයිතිවාසිකම් භුක්ති විඳින්නේ.’
ඇය පෙන්වා දෙන්නේ එවැනි නීති බොහොමයක් පුරුෂ මූලිකව නිර්මාණය වී ඇති ඒවා බවයි. ‘මුස්ලිම් විවාහ නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය වගේ දේවල්වල තියෙනවා කාන්තාවන්ට අසමාන ලෙස අසාධාරණ ලෙස සලකන තත්වයන්. එතකොට මේ පිහිටුවන්න හදන කොමිසමට කටයුතු කරන්න වෙන්නේත් මේ නීතිවලට යටත්ව. ඒක කොයි තරම් දුරට ඵලදායී වේවි ද?’ ඇය විමසයි.
‘සියලු පාර්ශවවල මත විමසන්න තිබුණා’
මෙම පනත සකස් කිරීමේ දී විවිධ කණ්ඩායම්වල අදහස් විමසුවේ නම් මීට වඩා හොඳ නීතියක් සකස් කරගැනීමට අවස්ථාවක් තිබූ බව නීතීඥ ගයත්‍රිගේ මතයයි. කාන්තාවන් වැනි සමාජය තුල සංවේදී මාතෘකාවක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පිරිසකගේ අදහස් ලබා ගැනීම වැදගත් බව ඇය පෙන්වා දෙයි. ‘සමාජයේ කාන්තාවන් සම්බන්ධයෙන් කතා කරන අයව ආන්තීකරණය කරලා තියෙන්නේ. එහෙම නැතිව හැම පාර්ශවයක් එක්කම කතා කරලා මේ කෙටුම්පත සකස් කරන්න තිබුනා. එහෙම කතා කළා නම් අද සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ඉදිරිපත් කරන කාන්තාව ගැන නිර්වචනය නොමැතිවීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නෑ. පනතක දි එයින් ආවරණය වන අය නිර්වචනය කරගැනීම මූලික දෙයක්. ඒ නිසා නීතියට අදාලවන අයගේ හෝ මතය නීතියක් සකස් කිරීමේ දී විමසිය යුතුයි,’නීතීඥවරිය අවසන් වශයෙන් පැවසුවා ය.