ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලාංකීය සමාජයේ 'සිංගල් අම්මා' කෙනෙක් වීම කෙතරම් අභියෝගාත්මක ද?
ගෝලීය දෙමාපිය දිනය යේදී තිබුණේ ජූනි 1 වන දා ය.
2012 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය දෙමාපිය දිනය, සියලු දෙමාපියන් "දරුවන් වෙනුවෙන් කරන පරාර්ථකාමී කැපවීම සහ මාපිය දූදරු සම්බන්ධතාව පෝෂණය කිරීමට ඔවුන් තම ජීවිත කාලය පුරාවට ම සිදු කරන කැප කිරීම" ඇගයීම සඳහා අවස්ථාව සලසා දෙයි.
මෙවර එහි තේමාව 'The Promise of Playful Parenting' (කෙළිදෙලින් යුත් මාපිය රැකවරණය සඳහා වන පොරොන්දුව) ලෙස එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි, දරුවන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා පවුල, දෙමාපියන් සහ ඔවුන් රැකබලා ගන්නන්ගෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු වේ.
ඔවුහු දරුවන්ට සහ නව යොවුන් වියේ පසුවන දරුවන්ට අනන්‍යතාවය, ආදරය, රැකවරණය, ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා ජීවත් වීමට නිවහනක්, ආරක්ෂාව, ආර්ථික සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය ලබා දෙති.
නමුත් ඇතමෙකු පවසන්නේ, ඔවුන්ගේ එම කැපකිරීම් ඇගයීම සඳහා වෙන්ව ඇති මෙම දිනය තවමත් ශ්‍රී ලාංකියින්ට එතරම් හුරුපුරුදු දිනයක් නොවන බව ය.
මෙම ලිපියේ අරමුණ ගෝලීය දෙමාපිය දිනයේදී ඒ ගැන අවධානයට ලක් කිරීම පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ බොහෝ දුරට "තහනම් සංකල්පයක්" බවට පත්ව ඇති 'සිංගල් පේරන්ට්' යන සංකල්පය පිළිබඳව විමසා බැලීම ත් මෙරට සමාජය තුළ ‘තනි මවක’ වීම කෙතරම් දුරකට අභියෝගාත්මක ද යන්න පිළිබඳව විමසා බැලීම ත් ය.
ඒ සඳහා බීබීසී සිංහල සමග සංවාදයට එක් වූයේ රසංගා ය. ඇය මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන අතර දශයකට ආසන්න කාලයක් මෙරට සමාජය තුළ "විවිධ අභියෝගවලට" මුහුණ දෙමින් "තනි මවක" ලෙස තම දියණිය පෝෂණය කිරීමට කැපවී සිටින තරුණියකි.
'පේරන්ටින් කියන එක මගේ ජීවිතයේ මම කොහෙත් ම බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි...'
"පේරන්ටින් කියන එක මගේ ජීවිතයේ මම කොහෙත් ම බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි," රසංගා සිය ජීවිතයේ අභියෝගාත්මක ම තීරණය ගැනීමට සිදු වූ හේතුව පැහැදිලි කිරීමට මුලපිරුවේ එලෙසිනි.
ඇය තමන් ගර්භණී බව දැනගන්නේ තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර ඇති මොහොතකදී ය. එය ඇයට එතරම් සුන්දර අත්දැකීමක් නොවීය. මවක වීම ඇය ඒ මොහොතේ අපේක්ෂා නොකළ දෙයක් විය. නමුත් ඔවුන් දෙදෙනා අතර පැවති ගැටලුකාරී තත්ත්වයත්, එය තම දියණියට කෙසේ බලපානු ඇති ද යන සැකයත් මත ඇය ඔහුගෙන් වෙන් වීමට තීරණය කළා ය.
"පේරන්ටින් කියන එක මගේ ජීවිතයේ මම කොහෙත් ම බලාපොරොත්තු වුණ එකක් නෙවෙයි. පේරන්ටින් කියන සබ්ජෙක්ට් එක මට පුළුවන් කියලා අදහසක් මගේ ඔළුවේ තිබ්බේ නෑ. ප්‍රෙග්නන්සි එක මම දැනගන්නේ, මම සහ හස්බන්ඩ්, සෙපරේට් වෙලා සති තුනක් වගේ ඇතුළත."
'නිදි නැති රැයවල්, නවත්ත ගන්න බැරි තරම් අඬන ඒවා ඇති වෙන්න මට තිබුණා...'
රසංගා සඳහන් කළේ, ගර්භණි සමය ඇයට එතරම් සුන්දර කාලයක් නොවුණු බව ය. සැමියාගෙන් ලැබිය යුතු රැකවරණය නොලැබීම, සායනවලට සහභාගී වීමේදී දැනුණු කම්පනය ඇය විස්තර කළේ මෙලෙසිනි.
"මුලදී මට ගොඩක් දේවල්වලට මූණ දෙන්න සිද්ධ වුණා. ගර්භණී කාලයෙන් පටන් ගත්තා ම, ඒ කාලය මට කොහොමත් ම ලේසි වුණේ නැහැ. පවුලේ අනිත් අයගේ සහය මට ලැබුණට, දවස අවසානයේ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට, හස්බන්ඩ්ගේ රැකවරණය හොයනවනේ වයිෆ් කෙනෙක්. ඕවා මට තිබුණේ නැහැ. ක්ලිනික් යද්දී ඒ කපල්ස් දකින කොට ඒ කම්පනයත් එක මම හරි ම පීඩනයකින් ඒ කාලය ගත කළේ. නිදි නැති රැයවල්, නවත්ත ගන්න බැරි තරම් අඬන ඒවා, ඕව ත් ඇති වෙන්න තිබුණා මට." ඒ උණාට හැම වෙලේ ම මගේ ඔළුවේ තිබුණේ, 'නෑ මම එයා වෙනුවෙන් කොහොම හරි මේක කරනවා,' කියන එක," ඇය පැවසුවා ය.
ඇය මීට වසර තුනකට පෙර 'Being a single parent is not easy' යන මැයෙන් ෆේස්බුක්හි ලියූ ලිපියේ ද සඳහන් කර තිබුණේ, තනි මවකට හෝ පියෙකුට මුහුණ දීමට සිදුවන අපහසු ම දේ චිත්තවේගීය ස්ථාවරත්වය අහිමි වන අවස්ථාව බව ය.
එහි ඇය මෙසේ ද ලියා තිබිණි.
"සිංගල් පේරන්ට් කෙනෙක් කියලා කියන්නේ, මව සහ පියා කියන චරිත දෙක ම කරන එක මවකට හෝ එක පියෙකුට."
බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ඇය පැවසුවේ, දියණිය මෙලොවට බිහි කළ පසු තමා යම් මානසික පීඩාවකට ලක් වුව ද පසුව යළිත් රැකියාවේ නිරත වීමට හැකිවීමත් සමග එම තත්ත්වය පහව ගිය බව ය.
"එයාව හම්බ වුණාට පස්සසේ පොඩි ඩිප්‍රෙසිව් ගතියක් තිබුණා, මොක ද මට හිතුණේ නැහැ මගේ ජීවිතයේ ආයෙත් අර කලින් තිබුණ නිදහස, ඒ තිබුණ විශ්වාසය මට තියේවි කියලා. මම හිතුවේ මගේ ජීවිතේ ආයේ හරවන්න බැරි තරමට, නිකම්, අවුල් වෙලා වගේ කියලා. මට ආයෙත් රස්සාවක් කරන්න බැරි වේවි වගේ කියන එකත් එක්ක මානසික පීඩනයක් තිබුණා. ඒත් ජොබ් එක කරන්න පටන් ගත්තට පස්සේ ඒක හරි ගියා. මට දැනුණා මට ආයෙත් ස්වාධීන වෙන්න පුළුවන් කියලා. මාවත් බලාගෙන එයාවත් බලාගන්න පුළුවන් කියන විශ්වාසය මට ආවා."
'ඔයා මට කියන්නේ ළමයෙකුත් ඉන්න දික්කසාද ගෑනියෙක් එක්ක ජීවිත කාලය ම ඉන්න කියල ද?'
තමාට පෙර පරිදි යළි ප්‍රේම සම්බන්ධයක් ඇරඹීමට නොහැකි වනු ඇතැයි යන බිය ඉන් පසු ඇති වූ ගැටලුව බව ඇය පෙන්වා දුන්නා ය.
ඇය සඳහන් කළේ, එක් අවස්ථාවකදී "මම කවදාවත් පිරිමියෙක් කසාද බඳින්න කැමති වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි," යනුවෙන් තමන් පිළිබඳව යම් අවතක්සේරුමය හැඟීමක් පවා ඇති වූ බව ය.
"මට කලින් වගේ තවත් කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න බැරි වේවි වගේ කියලා එකක් දැනුනා. මොක ද කිසි කෙනෙක් මගේ දිහා කලින් බලපු විදිහට නෙවෙයි බලන්නේ. අන්තිමට මට තිබුණු සම්බන්ධයේදී අපි සම්බන්ධය නවත්තන්න ඔන්න මෙන්න තියෙද්දී එයා මට මැසේජ් එකක් දැම්මා 'ඔයා මට කියන්නේ ළමයෙකුත් ඉන්න දික්කසාද ගෑනියෙක් එක්ක ජීවිත කාලය ම ඉන්න කියල ද,' කියලා. එයා මගේ කතාව දැනගෙන තමයි යාළු උණේ. ඒත් පස්සේ අර වගේ ප්‍රතිචාර දක්වනවා."
ඇය පැවසුවේ, ඇය සහ දරුවා පිළිගත්තේ ඒ අතරින් එක් තරුණයෙකු පමණක් බව ය.
"කොල්ලෙක් වුණා ම පිරිසිදු කෙල්ලෙක් බඳින්න ඕනේ කියලා එකක් තියෙනවා නේ ලංකාවේ..."
රසංගා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළ තනි පියවරුන් මුහුණ දෙන ගැටලුවලට සාපේක්ෂව තනි මව්වරුන් මුහුණ දෙන ගැටලු තරමක් සංකීර්ණ බව ය.
බොහෝ අවස්ථාවලදී සමාජය විසින් තනි පියෙකු, ස්ථාවර සහ වගකීම්සගහත පුද්ගලයෙකු ලෙස දකිනු ලබන බව ඇය පෙන්වා දුන්නා ය.
"ඇයි එහෙම ගෑනු කෙනෙක් දිහා බලන්න බැරි කියන එක මට ප්‍රශ්නයක්," ඇය පැවසීය.
"සමහර විට ඒ කන්‍යාභාවයයි, ඒවා මේවා නිසා වෙන්න ඇති. කොල්ලෙක් වුණා ම පිරිසිදු කෙල්ලෙක් බඳින්න ඕනේ කියලා එකක් තියෙනවා නේ ලංකාවේ. ඒකත් එක්ක වෙන්න ඇති."
රසංගාගේ හත් හැවිරිදි දියණිය දැන් පාසල් යන වියේ පසුවන්නී ය.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන ඇතැමෙකු පෙන්වා දෙන්නේ, 'සිංගල් පේරන්ට්' සංකල්පය උජාරුවෙන් ප්‍රවර්ධනය කළ යුතු සංකල්පයක් නොවිය යුතු බව ය. එවැනි සටහනක පෙන්වා දී තිබුණේ, ඒ ආකාරයේ තත්ත්වයන් තුළ අර්බුදයට ලක් වන්නේ දරුවන් බව ය.
තනි දෙමාපියන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපාර ද එක්සත් රාජධානිය ඇතුළු ලොව පුරා රටවල දක්නට ලැබේ. එමෙන් ම, බොහෝ රටවල් දෙස බැලීමේදී තනි මව්වරුන් ගණන තනි පියවරුන් ගණනට වඩා ඉහළ අගයක් ගන්නේ යැයි පෙනී යන බව ඇතැම්හු පවසති.
“දත්ත මගින් මිනිසුන් සවිබල ගැන්වීම” සඳහා 2007 වසරේදී ජර්මනියේදී පිහිටුවන ලද Statista සමාගම පෙන්වා දෙන්නේ, 2022 වන විට එක්සත් රාජධානියේ තනි මාපිය පවුල් මිලියන 2.94කට අධික සංඛ්‍යාවක් සිටි බව ය. නමුත් 2015 වසරේදී, එරට තනි මාපිය පවුල් මිලියන තුනකට වඩා ගණනක් සිට තිබේ.
"වගකීම් දෙගුණ වෙනවා. ඒවා බෙදා ගන්න තවත් කෙනෙක් නැහැ..."
තනි මවක වීමේදී රසංගා මුහුණ දුන් තවත් අහියෝගයක් වූයේ, තම ජීවිතයේ දෙගුණ වන වගකීම් බෙදා ගැනීමට තවත් පාර්ශවයක් නොසිටීම ය.
"වගකීම් දෙගුණ වීමක්. මොක ද පේරන්ට්ස් මීටින්ග් එකක් තිබුණත් මම යන්න ඕනේ. ශ්‍රමදානයක් තිබුණත් මම තමයි යන්න ඕනේ. හැමදේම පැවරෙන්නේ මට. මට ඒ වගකීම් බෙදා ගන්න තවත් කෙනෙක් නැහැ."
කෙසේ වෙතත්, ඒ දෙස ඇය ධනාත්මකව බැලීමට උත්සහ ගන්නී ය.
“වගකීම් දෙගුණ උණත් එක පැත්තකින් බැලුවා ම, මට මට ඕනේ දේ එයාට දෙන්න පුළුවන්. එයාගේ තාත්තා හිටියා නම්, අනිවාර්යයෙන් ම එයාගේ දේවල් ගැන අපිට කතා කරන්න වෙනවා. එතකොට එතන පොඩි කතාබහක් යනවා. තීරණ ගැනීමේදී මට මගේ නිදහස් තියෙනවා තව කෙනෙක් මත යැපෙන්නේ නැතුව. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මට ඕනේ දේවල් මම එයාට (දියණිය) කියලා කරවනවා කියලා. එයාගේ කැමැත්ත අනුව තමයි දේවල් අනිවාර්යයෙන් වෙන්නේ."
"සිංගල් පේරන්ට් කෙනෙක් වීම කියන්නේ, ඔයා යන්නේ ඔයාගේ විවාහයේ ප්‍රතිඵලයකුත් එක්ක..."
රසංගා පෙන්වා දුන්නේ, තනි මවක හෝ තනි පියෙකුට සැම විට ම තම විවාහයේ ප්‍රතිඵලය සමග සමාජයට මුහුණ දීමට සිදුවන බව ය. එය කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඇය අවධාරණය කළා ය.
කෙසේ වෙතත්, තමාගේ සැබෑ තත්ත්වය සමාජයට පැවසීමට තමන් කිසි විටෙකත් නොපැකිළෙන බව ඇය පැවසුවා ය.
"මම සිංගල් පේරන්ට් කෙනෙක් කියන එක මම හංගන්නේ නැහැ. ජොබ් ඉන්ටර්වීව් එකකට ගියත් මම කියනවා මම සිංගල් පේරන්ට් කෙනෙක්, මම මගේ බබාගේ වැඩත් බලන ගමන් තමයි ජොබ් එක කරන්නේ, ඒ නිසා මට මෙන්න මේ මේ දේවල් අවශ්‍ය වේවි කියලා."
එවැනි අවස්ථාවලදී තමන්ට මුහුණ දීමට සිදුවූ වෙනස්කම් පිළිබඳව ද ඇය සඳහන් කළා ය.
"ඒ වගේ තැන්වලදී සමහර අවස්ථා තිබුණා පොඩ්ඩක් වෙනස් විධියට බලන. හරියට 'If I take her in, I can get this done,' වගේ එකකින් බලපු කට්ටිය හිටියා. ඔෆිස් එකේ අනිත් අයට මට සිංගල් පේරන්ට් කියද්දී, 'ah okay’, මෙයා සිංගල් පේරන්ට් කියන ඇහෙන් බලපු කට්ටිය හිටියා. නිකම් චාන්ස් එකක් වගේ.
ඩිවෝස් කෙනෙක්ට කියන්න පුළුවන්, මම බැඳලා නැහැ කියලා. ඒත් සිංගල් පේරන්ට් කෙනෙක් වීම කියන්නේ, ඔයා යන්නේ ඔයාගේ විවාහයේ ප්‍රතිඵලයකුත් එක්ක. ඒක ඔයාට ප්‍රතික්ෂේප කරන්න බැහැ."
තම දියණිය පාසලට ඇතුළත් කිරීමේ කටයුතුවලදී අත්විඳින්නට සිදු වුණු අත්දැකීම් පිළිබඳව ඇය මෙසේ පැවසුවා ය.
"බබාව ඉස්කෝලේ දාන්න ගියා ම අම්මගේ තාත්තගේ විවාහ සහතිකය ඉල්ලනවා. ඒක නැත්නම්, මට පෞද්ගලිකව ගිහින් විදුහල්පතිවරයාට මම ඩිවෝස් වෙලා ඉන්නේ කියලා කියන්න සිද්ධ වෙලා තියෙනවා දෙතුන් වතාවක ම. දැනට නම් දුවට ඉස්කෝලෙන් එහෙම වෙනස්කමක් වෙලා නැහැ. ඒ උණාට පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා. මම ඉස්කෝලෙට යනකොට අමුතු විධියට බලනවා."
"දුව මගෙන් දෙතුන් වතාවක් අහලා තියෙනවා ඇයි එයාට තාත්තා කෙනෙක් නැත්තේ කියලා..."
බීබීසී සිංහල සමග සිදුකළ සංවාදයේදී රසංගා පැවසූ තවත් සංවේදී කාරණයක් විය.
ඇතැම් අවස්ථාවලදී තම දියණිය ඇයගේ පියා පිළිබඳව ප්‍රශ්න කරන බව ත් එවිට දියණියගේ මනසට හානියක් නොවන ලෙස ඇය ඊට පිළිතුරු දීමට පියවර ගන්නා බව ත් අප හා පැවසුවා ය.
"දුව මගෙන් දෙතුන් වතාවක් අහලා තියෙනවා ඇයි එයාට තාත්තා කෙනෙක් නැත්තේ කියන එක. එතකොට මම එයාට කියන දේ තමයි, ඔයාට තාත්තා කෙනෙක් ඉන්නවා. එයාට මතකයි. අවුරුදු දෙකක් විතර හිටියනේ එයාගේ තාත්තා, co-parenting. එතනදී එයාට මතකයි එයාව. ඒ වෙච්ච සිද්ධියත් මතකයි එයාට, ඇයි අපි දෙන්න වෙන් වුණේ කියන එක. එයා අහනවා, 'එයා ද මගේ තාත්තා,' කියලා.
එතකොට මම කියනවා, 'ඔව් එයා තමයි ඔයාගේ තාත්තා. හැබැයි අපි දෙන්න එකට නැහැ දැන්.' ඇයි කියලා අහද්දී එයාට තේරෙන විදිහට සහ එයාගේ ඔළුවට දරන්න පුළුවන් විදිහට මම සාමාන්‍යයෙන් කියනවා." ඇය තවදුරටත් පැවසුවා ය.
'සිංගල් පේරන්ට්' යන සංකල්පය සම්බන්ධයෙන් ගම්වල පවතින තත්ත්වය පිළිබඳව ද ඇය පැහැදිලි කිරීමක් කළා ය.
"කොළඹ ඇතුළේ ඉන්න සිංගල් පේරන්ට්ස්ලා ගැන කතා කරද්දී එයාලා ජීවත් වෙන විධියත් එක්ක එයාලට ඒවා පුළුවන් වුණාට, ගම්වල තත්ත්වය වෙනස්. අපි සිංගල් පේරන්ට්ස්ලා කියලා හිතන්නේ නැති කට්ටිය ඉන්නවා ගම්වල. ඒ කියන්නේ මේ ඩිවෝස් වෙච්ච අය ම නෙවෙයි. සමහර වෙලාවට තාත්තා එකකෝ අන්තරා වෙලා. එතකොට ඒ අම්මා තනියෙන් තමයි ළමයි තුන් හතර දෙනෙක් හදා ගන්නේ. ඒ වගේ තැන්වලදී ඒ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒක අපි සිංගල් පේරන්ට් කියන සංකල්පය ඇතුළට දාන්නේ නැහැ. මොක ද ගොඩක් වෙලාවට සිංගල් පේරන්ට් කියලා දකින්නේ, මේ නූතන සමාජයේ දික්කසාද වුණු අය විතරයි."
"අම්මාගේ පෙම්වතාට වඩා එයාගේ තාත්තා වෙනස් කියන එක දරුවා දන්නවා..."
රසංගා පෙන්වා දුන්නේ, මවගේ පෙම්වතා සහ දරුවාගේ පියා අතර ඇති වෙනස තම දියණියට පහදා දීමට ඇයට අවශ්‍ය වූ බව ය.
තවත් පිරිමි පුද්ගලයෙකුගෙන් පියා යන බැඳීම බලාපොරොතු විය නොහැකි බව ඇය පැහැදිලි කළා ය. නමුත් එය කාලයත් සමග වෙනස් විය හැකි බව ද ඇය පෙන්වා දුන්නා ය.
"මට මේක විශේෂයෙන් කියන්න ඕන. මුල ඉඳලා ම, අම්මාගේ පෙම්වතාට වඩා එයාගේ තාත්තා වෙනස් කියන එක දරුවට කියලා දෙන්න මට ඕනේ වුණා. ඒක එයා දන්නවා. දරුවා දන්නවා මේ ඉන්නේ අම්මගේ පෙම්වතා, එයාට වගකීමක් තියෙනවා. හැබැයි යම් තැනක් දක්වා විතරයි කියලා සහ මගේ තාත්තා වෙනස් කියලා. එයා දන්නවා එතකොට සීමා මායිම් මොනව ද කියලා.
එයා දන්නවා මේ අම්මගේ සහකරුවා. දවසක මට එයාට තාත්තා කියලා කතා කරන්න පුළුවන් වේවි දේවල් හොඳින් සිද්ධ වුණොත් කියලා. එතකොට මට අම්මා විදිහට දේවල් කළමනාකරණය කර ගන්න හරි ලේසියි."
එසේ නොවන්නේ නම්, ඇතිවන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද ඇය මෙසේ පැවසුවා ය.
"එහෙම නැතුව මම, 'my kid is your kid' කියලා දරුවාගේ වගකීම් එයාගේ පිටට දැම්මොත් එකක්වත් හරි යන්නේ නැති වෙන්න පුළුවන්. තව පිරිමි කෙනෙකුගෙන් මට 'මේ ඉන්නේ මගේ දරුවා' කියන එක බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් තාත්තා, මාමා, සීයා කියන ලේ බැඳීම නැති කෙනෙකුගෙන් ඒ බැඳීම බලාපොරොත්තු වෙන්න මට බැහැ. මොක ද මට තියෙන අත්දැකීම් එක්ක මොන වෙලාවේ දේවල් අවුල් වේවි ද කියලා මම දන්නේ නැහැ," ඇය සඳහන් කළා ය.
"සිද්ධ වුණ දේවල් ගැන මම තැවෙන්නේ නැහැ. මම දන්නවා මට සිද්ධ වුණ දේවල් එක්ක, මගේ දරුවාව කොහොම ද ඒවාට ගොදුරු නොවෙන්න හදා ගන්න ඕනේ කියලා. මට වෙච්ච දේවල් එක්ක මම දන්නවා ගෑනියෙක්ගේ ජීවිතේ වරදින්න පුළුවන් තැන් මොනවා ද කියලා සහ ඒවා වළක්වා ගන්නේ කොහොම ද කියලා."
"ගොඩක් වෙලාවට සිංගල් පේරන්ට් කියන වචනය ම අලුත් අපේ මිනිස්සුන්ට..."
මෙරට සමාජය තුළ, විශේෂයෙන් ම මාධ්‍ය තුළ, 'සිංගල් පේරන්ට්' සංකල්පය පිළිබඳව එතරම් කතාබහට ලක් නොවීම එය “තහනම් සංකල්පයක්” වීමට හේතුවක් වී ඇති බව රසංගා පෙන්වා දුන්නා ය.
බොහෝ දෙනෙකු 'සිංගල් පේරන්ට්' යන වචනයට ඇති බිය හේතුවෙන් අසාර්ථක, විෂ සහිත විවාහ තුළ සිර වී සිටින බව ද ඇය පැවසුවා ය.
"ලංකාවේ මීඩියා ඇතුළෙත් ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් ගැන කතා කරන්නේ නැහැනේ. මේක තහනම් [taboo] දෙයක් වෙලා තියෙන්නේ, ඕක ගැන කතා නොකරන හින්දා. ඒක අමුතු දෙයක් කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට සිංගල් පේරන්ට් කියන වචනය ම අලුත් අපේ මිනිස්සුන්ට. මාධ්‍ය මගින් හරි සිංගල් පේරන්ටින් කියන්නේ මෙන්න මේකයි කියලා පෙන්නලා දෙන්න පුළුවන් නම්, ඔය taboo ගතිය අපිට සෑහෙන අඩු කර ගන්න පුළුවන්.
ගොඩක් අය හරි ම toxic විවාහ ඇතුළේ හිර වෙලා ඉන්නවා සිංගල් පේරන්ට් කියන වචනයට තියෙන බය හින්දා. ඩිවෝස් කියන ටර්ම් එකට තියෙන බය හින්දා, ඔය කියන වචනයට සමාජයෙන් එල්ල වෙන ප්‍රහාර නිසා."
"අනේ මිනිහා මැරිච්ච ගෑනි නේ..."
තනි මවක හෝ පියෙකු ඇති වීමට නිශ්චිත සාධක නොමැති වුව ද ඒ පිළිබඳව අදහස් දරන පිරිස් පෙන්වා දෙන්නේ, මරණය, දික්කසාදය, අවිවාහක මාපියන් සහ වෙනත් සාධක ද ඊට බලපෑ හැකි බව ය.
නමුත් එය පුද්ගල කැමැත්ත අනුව සිදුවන අවස්ථා ඇති බව ද රසංගා පැවසුවා ය. එවැනි අවස්ථාවලදී සමාජය ඔවුන් දෙස බලන්නේ එතරම් සතුටුදායක කෝණයකින් නොවන බව ඇය කණස්සල්ලෙන් සඳහන් කළා ය.
"සිංගල් පේරන්ට් කෙනෙක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් කැමැත්තෙන්, අනිත් එක අනපේක්ෂිත සිද්ධියකින්. ඔය දෙවැනි එක අපේ මිනිස්සු හරි සානුකම්පිත විදිහට දකිනවා, 'අනේ මිනිහා මැරිච්ච ගෑනි නේ,' කියලා. හැබැයි ඕක කැමැත්තෙන් වෙන දෙයක් නම්, 'අපෝ' කියන කෝණයෙන් තමයි ගොඩක් වෙලාවට බලන්නේ.
ලංකාවේ ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි, අපි හැදිලා නැහැ තවත් මනුස්සයෙකුගේ කැමැත්තට ගරු කරන්න. ඔයාගේ තෝරා ගැනීම සංස්කෘතික සීමාවෙන් එහා යන දෙයක් නම්, මිනිස්සු ඒක දිහා බලන්නේ සෑහෙන අමුතු දෙයක් විධියට."
"මේ ජීවිතයේ ඔයා ජීවත් වෙන්නේ එක පාරයි. ඒ නිසා ඒ ජීවිතයට සාධාරණයක් කරන්න..."
බීබීසී සිංහල සමග කළ සංවාදය රසංගා අවසන් කළේ මෙලෙසිනි.
"මිනිස්සු ලෝකය දිහා බලන විදිහ අපිට වෙනස් කරන්න බැහැ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ කොහොම ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඒ මනුස්සයා ලෝකේ දිහා බලන විධියෙන් සහ තව මනුස්සයෙකුට සලකන විදිහෙන්. ලංකාවේ මේ තියෙන දෘෂ්ඨිකෝණය වෙනස් කරන්න බැහැ. මේක පරම්පරාවෙන් පරම්පරාවට එන ශාපයක්. දැන් අපේ පරම්පරාවේ කට්ටියත් මිනිස්සුන්ට කතන්දර හදනවනේ.
අපිට කරන්න පුළුවන් එක ම දේ තමයි, සමාජයට ඕනේ දෙයක් හිතාගන්න කියලා ඔයා ඔයාගේ ජීවිතේ ගත කරන්න. ඔයාට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ හේතුවක් ඇතුව. මේ ජීවිතයේ ඔයා ජීවත් වෙන්නේ එක පාරයි. ඒ නිසා ඒ ජීවිතයට සාධාරණයක් කරන්න. අම්මා තාත්තා උණත් ඔයාට ඇඟිල්ල දික් කරන දවසක් එනවා. එහෙම දවසට ඔයා විතරයි ඔයාට ඉන්නේ."
කෙසේ වෙතත්, රසංගාගේ මතය 'සිංගල් පේරන්ට්' සංකල්පය කිසිසේත් ම ප්‍රවණතාවක් හෝ විලාසිතාවක් නොවිය යුතු යි යන්න ය. මාපියන් සෑම විට ම තම දරුවාට මාපිය දෙදෙනා ම ලබා දීමට උත්සහ කළ යුතු බව ත් දරුවෙකුට මව සහ පියා යන දෙදෙනා ම සිය ජීවිතය තුළ අවශ්‍ය බව ත් ඇය පෙන්වා දුන්නා ය. නමුත් ඇය අවධාරණය කළේ, එය සිදු විය යුත්තේ ප්‍රීතිමත් නිවහනක් තුළ බව ය.
මව සහ පියා යන දෙදෙනා ම දරුවාගේ සිනහවට සහ සාමයට බාධාවක් වන්නේ නම්, ඔවුන් අතරින් සතුටින් සිටිය හැකි පුද්ගලයා සමග දරුවා ජීවත් වීම වඩා ත් යෝග්‍ය බව ඇය පෙන්වා දුන්නා ය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, තනි මවක හෝ පියෙකු වීමේ වරදක් නොමැති බව ත්, ඔවුන් සැබවින් ම අන් අයට වඩා ශක්තිමත් බව ත් ය.