ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලංකාවේ නවයොවුන් ගැබ්ගැනීම්: ලිංගික ආශාවන් ස්වභාවික වුණාට සෙක්ස් කරන්න එපා?
- Author, අමන්දා අබේසූරිය
- Role, බීබීසී සිංහල
යොවුන් දරුවන් ගැබ්ගැනීම සමාජමය ව්‍යසනයකි. දරුවන් අනාරක්ෂිත බවත්, ඔවුන් සතු ලිංගික දැනුම මඳබවත් මින් අදහස් වෙයි.
පවුල් සෞඛ්‍ය කාර්යංශය වාර්තා කරන පරිදි 2022 වසරේ දී ශ්‍රී ලංකාවෙන් නවයොවුන් වියේ පසුවන මවුන් 2087 දෙනෙකු වාර්තාවී තිබේ. පසුගිය වසර කීපය තිස්සේම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ගර්භනී මවුන් අතර නවයොවුන් මවුන්ගේ ප්‍රතිශතය 4%ක් පමණ වෙයි.
නවයොවුන් මවුන් බිහිවීමට හේතු සෙවූ කල විශේෂඥයින් සෘජුව ඇඟිලි දිගුකරන්නේ දරුවන්ට ලිංගිකත්ව අධ්‍යාපනයක් ලබා නොදීම වෙත ය. මෙහි වරදක් ද නොවේ. පාසලේ දී ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදෙන රටවල නවයොවුන් ගැබ්ගැනීම් අනුපාතයන් පහත වැටී ඇති බවට සාක්ෂි තිබේ.
"සමහර දෙමව්පියො හිතනවා, අධ්‍යාපනඥයින් හිතනවා, මේ ගැන දැනුවත් කරොත් මේ ළමයින් බල්ලො බළල්ලු වගෙ හැමතැනම අනාචාරයේ හැසිරේවි කියලා. ඒගොල්ලො හිතනවා උපත් පාලන ක්‍රම සහ ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධව ඒගොල්ලන්ට දැනුමක් ලබාදුන්නොත්, ඒක මේ ළමයින්ට අනාචාරයේ හැසිරීමට දෙන බලපත්‍රයක් වගේ කියලා. ඉතින් ඒකට ඒගොල්ලො විරුද්ධ යි," 'ළමා හිංසනයට තිත' පදනමේ සභාපතිනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසයි.
ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය - 'ලිංගික ආශාවන් ස්වභාවික යි, හැබැයි සෙක්ස් කරන්න එපා!'
අපි හත ශ්‍රේණියේ සෞඛ්‍ය පොත ගනිමු. එහි වන 'නව යොවුන් වියට මුහුණදෙමු' පාඩම යටතේ, 'ද්විතියික ලිංගික ලක්ෂණ ඇතිවීමත් සමග ලිංගික ආශාවන්, හැඟීම් ඇතිවීම ස්වභාවිකයැ'යි දරුවන්ට උගන්වයි.
නමුත්, ලිංගික ආශාවන් ඇතිවීම ස්වභාවිකබව උගන්වන අතරේ, ඒ ආශාවන් සෞඛ්‍යමත් ලෙස හසුරුවාගන්නේ කෙසේදැ යි ඉගැන්වීමක් සිදුනොවේ. ඒ වෙනුවට උගන්වන්නේ විවාහයෙන් පසු පමණක් ලිංගික සබඳතා ඇතිකර ගැනීම සුදුසුබව ය.
"සෙක්ස් කරන්න තියෙන ආශාව ස්වභාවික නම්, අපි මුලින්ම පිළිගන්න ඕන නේ තරුණ ප්‍රජාව ලිංගිකව හැසිරෙනවා කියන එක. ඒක ස්වභාවික යි කියලා පොතෙත් දාලා තියෙනවා නම්, කොහොමද ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්නේ කියන එක ගැන සාකච්ඡාවක් තියෙන්න ඕන," ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය අප හා පවසයි.
"තරුණ ප්‍රජාව ලිංගිකව හැසිරෙන්නේ ගැබ්ගන්න බලාගෙන නෙවෙයිනේ. නමුත් ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන එක ගැන කිසිම කතාවක් නෑ. හැමතැනම කියලා තියෙන්නේ, 'මේක ස්වභාවික යි, හැබැයි සෙක්ස් කරන්න එපා!' කියලා. ඉතින් ස්වභාවධර්මයට විරුද්ධව වැඩ කරන්න, උඩුගං බලා පීනන්න කියලා තමයි මේ තරුණ ප්‍රජාවට කියන්නේ."
එසේම, ශ්‍රී ලංකාවේ පාසැල්වලින් ලබාදෙන ප්‍රජනක අධ්‍යාපනය ආරක්ෂාවීම මුල්කොට ගත්තක් නොව, විරමණය මුල්කොට ගත් ප්‍රජනක අධ්‍යාපනයකි. එහිදී, තරුණයින් ලිංගිකව හැසිරීම ස්වභාවික ය යන කරුණ අමතකකොට, ඔවුන්ගේ ආරක්ෂාව සලසාගන්නා අයුරු ඉගැන්වීමකින් තොරව, ලිංගික කටුතුවලින් වැළකීමට පමණක් උපදෙස් ලබාදෙයි.
උදාහරණයක් ලෙස, 11 ශ්‍රේණියේ සෞඛ්‍ය අධ්‍යාපනය පොතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවීමට උගන්වන අයුරු බලන්න; කොන්ඩම භාවිතාව ගැන කිසිදු උපදෙසක් එහි සඳහන් නොවේ.
එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයසේ දරුවන්ට ලිංගිකව හැසිරීමට නීතිමය බාධාවක් ද නොමැතිබව මෙහිදී ඔබ සිහි තබාගත යුතු ය.
දරුවන්ට ලිංගිකත්වය ගැන කුතුහලයක් තිබේ. ලිංගිකත්වය අධ්‍යාපනය ක්‍රමානුකූලව ලබා නොදුන් විට ඔවුන් ඒ දැනුම ලබාගන්නේ මිතුරන්, අන්තර්ජාලය වැනි අවිධිමත් ක්‍රම මාර්ගයෙනි.
"ළමයි ඊටපස්සෙ ඒවා දැනගන්නෙ ඉන්ටර්නෙට් එකෙන්, පෝන්වලින් [වැඩිහිටි චිත්‍රපට]. පෝන් දිහා බලපුවම, කොයිම වෙලාවකවත් අපි දකින්නෙ නෑ කොන්ඩම් එකක් පාවිච්චි කරනවා," දේශප්‍රිය පෙන්වා දෙයි.
'ප්‍රධානම හේතුව තමයි ලිංගිකත්ව අධ්‍යාපනයක් නැතිකම'
යොවුන්වියේ ගැබ්ගැනීම් සිදුවීමට ප්‍රධාන හේතුව කුමක්දැ යි විමසූ විට, 'ළමා හිංසනයට තිත' පදනමේ සභාපතිනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක එසේ පැවසුවා ය.
"[නවයොවුන් දරුවන්ගේ] තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව, ඒගොල්ලන්ගේ වර්ධනය අනුව, ඒ අත්දැකීම් ලබාගන්න තියෙන ආසාව ඒගොල්ලන්ට තියෙනවා. එතකොට මේවා අස්වාභාවික චර්යාවන් නෙවේ, මේවා ස්වභාවික චර්යාවන්. නමුත් ඒවා පාලනයකර ගැනීමට ඔවුන් පරිණත නැහැ. එතකොට එය පාලනය කර ගැනීමට තමයි තමන් ඉන්නෙ කොහෙද, කාත් එක්ක ද ඉන්නේ, මොනවද කරන්න ඕන කියන එක - සහ කොහොමද ආරක්ෂාවෙලා ඉන්නෙ කියන එක - අන්න ඒ දැනුම ලබාදීම තමයි 'ලිංගිකත්ව අධ්‍යාපනය' කියලා කියන්නේ," වෛද්‍ය වික්‍රමනායක කියයි.
“ඒ වගේම, තමන්ගෙ සම්බන්ධතා, පෙම් සබඳතා විතරක් නෙවේ, තමන්ගෙ යාළුවන් එක්ක, වැඩිහිටියන් එක්ක ඒ රිලේෂන්ශිප් ගැන අධ්‍යාපනයක් ලබාදීම ඉතාම වැදගත්."
දැනට ශ්‍රී ලංකාවේ දරුවන්ට ලබාදෙන 'ප්‍රජනන සෞඛ්‍ය' දැනුම හෝ එය සාමාන්‍යයෙන් උගන්වන ආකාරය එතරම් ඵලදායක නැතැ යි ඇගේ අදහස යි.
“මේ දරුවො අනාරක්ෂිත යි. ප්‍රෙග්නන්සි එකක් එන්නෙ අන්තිමට. ප්‍රෙග්නන්සි එකට ඉස්සරවෙලා වෙන කොච්චර දේවල් තියෙනව ද?”
මීට වසර කීපයකට පෙර හත ශ්‍රේණියේ දරුවන්ට ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදීම සඳහා 'හතේ අපේ පොත' නම් ග්‍රන්ථයක් නිකුත් කෙරිණි. නමුත් බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ ඇතැම් ආගමික පූජකවරුන් හා සමාජයේ ඇතැමුන් අතරින් මතුවූ විරෝධය හේතුවෙන් මේ ග්‍රන්ථය හකුළාගැනුණි.
කැමැත්ත හා 'කැමැත්තෙන් සිදුවන' ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය
ශ්‍රී ලංකාවේ නීතියට අනුව, වයස අවු. 16ට අඩු තැනැත්තියක ලිංගික කටයුත්තක් සඳහා ලබාදෙන 'කැමැත්ත' යන්න අදාළ නොවෙයි. එවැනි තැනැත්තියක සමග ලිංගික සංසර්ගයක් පැවැත්වීම 'දූෂණයක්' ලෙස සැලකෙයි. මෙය 'ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය' යි.
නමුත්, ශ්‍රී ලංකාවේ පොලීසිය පවසන පරිදි 2022 වසරේ දී 'වින්දිතයාගේ කැමැත්තෙන් සිදුවූ' ස්ත්‍රී දූෂණ සිදුවීම් 1391ක් වාර්තාවී තිබේ.
"පොලිස් දත්ත දිහා බලපුවාම පොලීසිය [ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සිදුවීම්] දෙකට බෙදලා තියෙනවා 'කැමැත්තෙන් තොරව' සහ 'කැමැත්තෙන් සිදුවූ දූෂණය' කියලා... ලිංගිකව හැසිරෙන්න කැමැත්ත පළකරන්න පුළුවන් වයස අවුරුදු 16 නම්, ඊට පෙර සිදුවන සියලු ලිංගික සිදුවීම් එහෙනම් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ යටතට වැටෙන්න ඕන. නමුත් පොලිස් දත්ත අනුව බලපුවාම මේ ළමයි කැමැත්තෙන් තමයි අපයෝජනය වෙලා තියෙන්නේ," ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය පවසයි.
2022 වසර තුළ ශ්‍රී ලංකාව තුළ සිදුවූ වැඩිම බරපතල අපරාධ හත යටතට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ද අයත් ය.
උපත්පාලන ක්‍රම සඳහා දැනුමක් හෝ ප්‍රවේශයක් නොමැතිකම ද යොවුන් ගැබ්ගැනීම් ඇතිකරයි
නවයොවුන් වියේ දරුවන්ට පාසැල හෝ දෙමව්පියන් විසින් උපත්පාලන ක්‍රම ගැන නිසි අවබෝධයක් ලබා නොදෙයි. නමුත් ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවාවන් හරහා නොමිලේ කොන්ඩම වැනි උපත් පාලන උපකරණ ලබාගැනීමේ පහසුකම සලසා දී ඇත.
"මේවා බොහොම පහසුවෙන් ලබාගන්න පුළුවන් MOH එක හරහා. නමුත් දරුවන් ඒවාට යොමුවෙනකොට හරිම ලැජ්ජාවකට පත්කෙරෙනවා. 'ඇයි ඕගොල්ලන් ඔය වයසෙ දී ඕවා කරන්නේ, අම්මා දන්නව ද, තාත්තා දන්නව ද' එහෙම කියලා එතනත් ඒගොල්ලන් අවනම්බුවකට, ලැජ්ජාවකට පත්වෙනවා. එතකොට ඒගොල්ලන් කරන්නේ කාටවත්ම නොකියා, මේවා හොර රහසේ කරන එක," වෛද්‍ය වික්‍රමනායක පවසයි.
"එතකොට අපට පුළුවන්කමක් තියෙනවා නම් උපත්පාලන ක්‍රමවේදයන් හා පවුල් සැලසුම් ක්‍රමවේදයන් ඉස්කෝලෙ ඇතුළට - දැන් පිටරටවල කරන්නේ නම් ඒගොල්ලෝ ඉස්කෝලේ ඇතුළත වෙනම හෙද නිලධාරිනියක් ඉන්නවා, ඒගොල්ලන්ගෙන් තමයි මේ ළමයි උපදෙස් ගන්නෙ සහ අවශ්‍ය කරන කොන්ඩම් සහ උපත්පාලන පෙති ගන්නෙ."
උපත්පාලන ක්‍රම පිළිබඳ දැනුම දරුවන්ට ලබා නොදීම මඟින් ඔවුන් ලිංගික ඇසුරකට යොමුවීම වැළැක්විය නොහැකි ය. එමඟින් සිදුවන්නේ නවයොවුන් ගැබ්ගැනීම් ඇතිවීම යි.
යොවුන්වියේ ගැබ්ගැනීම් මාරාන්තික ය
යොවුන්වියේ ගැබ්ගැනීම් සම්බන්ධයෙන් ගත්කල සමාජයේ ඇතැමුන් අතර ඇත්තේ ඉතාම ඇල්මැරුණු අදහසකි. එම ගැබ්ගැනීම්හි ඇති අවදානම්සහගත ස්වභාවය පිළිබඳ නොදැනුවත්කම ද මීට හේතුවෙයි.
ගෝලීයව ගත්කල, නවයොවුන් වියේ ගැහැණු ළමුන් අතර මරණවලට මුල්වන ප්‍රධාන හේතූන් අතර මාතෘමය තත්ත්වයන් ද වේ. ලොව වයස අවු. 19 හා ඊට අඩු දැරියන්ගේ වැඩිම මරණ සංඛ්‍යාවකට යොවුන්වියේ ගැබ්ගැනීම් වගකිව යුතු ය.
එපමණක් ද නොවේ, යොවුන්වියේ ගැබ්ගැනීම් මවටත්, දරුවාටත් බරපතල සෞඛ්‍යමය හා සමාජමය විපාකයන් අත්කර දෙයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිකුත් කිරීමක දැක්වෙන පරිදි යොවුන්වියේ ගැබ්ගැනීම්වලින් මවට හා දරුවාට ඇතිවන ප්‍රතිවිපාක බොහෝ ය. මෙහිදී මවට ඇතිවන ප්‍රතිවිපාක මෙසේ සටහන්කර තිබේ:
- ගෝලීයව, වයස අවු. 15-19 අතර ගැහැණු ළමුන්ගේ මරණයට ප්‍රධාන හේතුව ගැබ්ගැනීම් සහ දරු ප්‍රසූතියේ සංකූලතා ය
- ඔවුන්ට ගර්භ වලිප්පුව වැළඳීමේ ඉහළ අනුපාතයක් ඇත
- පසු ප්‍රසව ගර්භාශයිකස්තර ප්‍රදාහය හා සංස්ථානික ආසාදන ඇතිවීමේ ඉහළ අවදානමක් ඇත
- අනාරක්ෂිත ගබ්සාවන් හේතුවෙන් මාතෘ රෝගාබාධ හා මරණ අනුපාතය වැඩිවීම සිදුවේ
- මවකවීමේ දරාගත නොහැකි ආතතිය හේතුවෙන් විශාදය, කාංසාව සහ බිය වැනි මානසික රෝග තත්ත්වයන් ඇතිවේ
- රක්තහීනතාව ඇතිවීමේ ඉහළ අවදානමක් ඇත
- ගර්භණී සමයේ දී බර වැඩිවීම අඩු ය
- HIV සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළඳීමේ අවදානම වැඩිය
නවයොවුන් වියේ ගැබ්ගැනීමක දී දරුවාට ඇතිවන ප්‍රතිවිපාක මෙසේ ය:
- අඩු උපත් බරක් තිබීම
- නොමේරූ උපතක් සිදුවීමේ වැඩි අවදානම
- ඉතා අයහපත් නවජ සෞඛ්‍ය තත්ත්වයක් ඇතිවීමේ අවදානම
- මේවා සැලසුම් කළ ගැබ්ගැනීම් නොවන බැවින් මව ෆෝලික් අම්ලය ලබා නොගන්නා අතර නිසි පූර්ව උපදේශනයක් ද නොලබයි. එමනිසා, කලලරූපී විකෘතිතා ඇතිවීමේ අවදානම ඉහළ ය
- බිළිඳා අපයෝජනයවීම සහ නොසලකා හැරීමේ අවදානම
- අධ්‍යාපනය අතින් අඩු කාර්යය සාධන මට්ටම
මේ සෞඛ්‍යමය ප්‍රතිවිපාකයන් හැරුණුකොට, යොවුන්වියේ ගැබ්ගැනීමක් ඇතිවූ විට එම දැරියන්ට බරපතල සමාජමය හා ආර්ථිකමය ප්‍රතිවිපාකවලට ද මුහුණදීමට සිදුවෙයි.
විවාහයකින් තොරව ඇතිවන ගැබ්ගැනීම් සමාජ අපකීර්තිය ගෙනඑන අතර, දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කිරීමට හා පවුල විසින් ප්‍රචණ්ඩත්වයට ලක්වීමට සිදුවිය හැකි ය.
එසේම, මේ දැරියන්ගේ පාසැල් අධ්‍යාපනය ද මෙනිසා හමාර වෙයි. ශ්‍රී ලංකාවේ දරුවන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලැබීමට සහතික කළ අයිතියක් ඇතත්, දැරියක ගර්භනීබවට පත්වූ පසු මේ අයිතිය අහෝසිවී යන බවක් පෙනෙන්නට තිබේ.
"හැමදාම කරන සම්ප්‍රදායක් විදියට, යොවුන්වියේ ආදර සම්බන්ධතා තියෙනවා නම්, එහෙම ගැබ්ගෙන තියෙනවා නම්, ඉස්සරවෙලාම කරන්නේ ඉස්කෝලෙන් අස්කරන එක... ඒ දරුවට දෙන අධ්‍යාපනය පවා නැති කරනවා. එතකොට ඒ දරුවා ඇත්තටම ආතක් පාතක් නැති තැනකට පත්වෙනවා," වෛද්‍ය වික්‍රමනායක අප හා පැවසුවා ය.
පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙවැනි දැරියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් ද නොමැත. එබැවින්, ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම යැපෙන්නෙකු ලෙස වෙසෙන අතර, දරිද්‍රතාව ඔවුන් දුර්වල සමාජ ආර්ථික තත්ත්වයක තබයි.
නවයොවුන් මවුන්ගේ දරුවන් ද සුවපහසු හෝ සෞඛ්‍යසම්පන්න පසුබිමක හැදී වැඩෙන්නේ නැත. ඔවුන් මන්දපෝෂණය, අඩු ප්‍රතිශක්තිය, ආතතිය, රැකවරණය සහ සෙනෙහස නොමැතිකම නිසා පීඩා විඳීමට හැකි ය. ඔවුනට හොඳ අධ්‍යාපනයක් හෝ රැකවරණයක් නොලැබීමට සිදුවිය හැකිය.
එසේම ඔවුන් ගෘහස්ථ අපයෝජනය, ප්‍රචණ්ඩත්වය, ළමා ශ්‍රමයට ගොදුරුවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ අපරාධ ක්‍රියාකාරකම්වලට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබේ.
ගබ්සාවට ඉඩක්?
ලංකාවේ පවතින නීතියට අනුව ගබ්සාව තහනම් ය. ගබ්සාව සිදුකළ හැකි එකම අවස්ථාව වන්නේ, "ගර්භණීබව නිසා මවගේ ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති" දුලබ අවස්ථාවන්හි දී පමණි.
වසර කීපයකට පෙර, අවස්ථා දෙකකට පමණක් අදාළව ගබ්සාව නීතිගත කිරීමේ උත්සාහයක් සිදුවිය. ඒ, මාරාන්තික උපත් ආබාධ සහිත කළලයක් ඇති විට සහ ස්ත්‍රී දූෂණයක ප්‍රතිඵලයක් ලෙස කාන්තාවක් ගැබ්ගත්විට යන අවස්ථා දෙක ය. නමුත් කතෝලික අගරදගුරු සම්මේලනය ඇතුළු පූජක හා සමාජ විරෝධතා නිසා එම යෝජනාව හකුළාගනු ලැබිණ.
වයස අවු. 15-19 අතර ගැහැනු ළමුන්ගේ මරණයට ප්‍රධාන හේතුව ගැබ්ගැනීම් සහ දරු ප්‍රසූතියේ සංකූලතාබව ඔබ දැන් දනියි. ඉහත යෝජනාව ක්‍රියාත්මක වූවා නම් වයස අවු. 16ට අඩු දැරියන්ට ගැබ්ගැනීමක් සිදුවූ විට නීත්‍යානුකූලව ගබ්සාවක් සිදුකරවා ගැනීමේ පහසුකම සැලසෙන්නට ඉඩ තිබුණි.
"මේ දරුවන් මොන ආකාරයකට ගැබ් ගත්තත්, දරුවා බිහිකරනවා ඇරෙන්න මේ දරුවන්ට වෙන විකල්පයක් නෑ," ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිණී වෛද්‍ය වික්‍රමනායක පවසයි.
"අඩුම වශයෙන් මේ වගේ කුඩා දරුවන්ට සිදුවන ගැබ්ගැනීම් සම්බන්ධව තීරණයක් ගන්න අවශ්‍ය යි... බාලවයස්කාර ගැබිණි මවුවරුන් සම්බන්ධ කතිකාවට ගබ්සාවත් එකතුවිය යුතු යි," ඇය ප්‍රකාශ කළා ය.
ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකාව ද මේ සම්බන්ධයෙන් අප හා පැවසුවේ ද මීට සමාන මතයකි. "මේකෙ වැදගත්ම කොටසක් තමයි, ගබ්සා සඳහා තියෙන අයිතියත් - තමන්ගෙ ශරීරය ගැබ්ගැනීමක් දරනවා ද නැද්ද කියන එකත්," පබා දේශප්‍රිය පැවසුවා ය.
දරුවන් උදව් පතා දෙමව්පියන් ළඟට යන්න බය යි
නවයොවුන් වියේ ගැබ්ගැනීම් වැළැක්වීම පාසැලට හා අධ්‍යාපනඥයින්ට පමණක් පැවරිය හැකි නොවේ. මෙහිලා විශාල කාර්යයභාරයක් දෙමව්පියන්ට ද පැවරෙයි.
නමුත් බොහෝ දරුවන් ගැටළුවක් ඇති වූ විට දී දෙමාපියන් වෙත යෑමට මැළිවෙයි.
"ළමයින්ට කිසිම සහයක් නැති එකත් [මේවට හේතු වෙනවා]. 'කොල්ලෙක් එක්ක කතා කළොත් බලාගෙනයි', 'ගේ අහලකටවත් එන්න එපා', 'දරුකමින් අයින් කරනවා' - ඔය වගේ තර්ජන නේ අපි ළමයින්ට කරලා තියෙන්නේ," මෙහිදී පබා දේශප්‍රිය පෙන්වා දෙයි.
"ඉතින් කොල්ලෙක් ඇවිත් සෙක්ස් කරන්න බල කළොත්, ළමයට ගිහින් කියන්නවත් බෑනේ අම්මට, 'අම්මෙ මෙහෙමයි, අර පිරිමි ළමයා එක්ක මගෙ සම්බන්ධයක් තියෙනවා, එයා මට මෙහෙම බල කළා, දැන් මට බයයි' කියලා කියන්න බෑනේ? මොකද කොල්ලෙක්ගේ මූණ දිහාවත් බලන්න එපා කියලනෙ කියලා තියෙන්නේ... ඉතින් අපි සමාජයෙ වැඩිහිටියෝ හැටියට දරුවන්ව බොහොම අසරණ තැනකට පත්කරලා තියෙනවා," ඇය පවසයි.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය වික්‍රමනායක දෙමව්පියන්ට දෙන්නේ මෙවැනි උපදෙසකි: "තමන් හිතනවා නම් තමන්ගේ දරුවා පැයකට හරි තමන්ගෙන් ඈත්කරලා හෝඩියෙ පන්තියෙ හරි තියන්න පුළුවන් කියලා, අන්න එදාට මේ දරුවට 'නෑ, බෑ' කියන්න උගන්නන්න.
"ඒ දරුවාට වයසට සරිලන ලෙස ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදෙන්න. තමන්ගේ [ලිංගික] ප්‍රදේශයන් අතගාන එක, හොඳ ස්පර්ශය, නරක ස්පර්ශය, තමන් කොහොමද එවැනි අනතුරුදායක අවස්ථාවක දී බේරෙන්නේ කියන එක මේ පුංචි දරුවන්ට පවා කියා දෙන්න."
"ඒත් එක්කම, දරුවන් නවයොවුන් වියට පා තබනකොට දෙමව්පියන් දරුවන් එක්ක මේ ගැන කතා කරලා තියෙන්න ඕන," ඇය පවසයි.
මෙහිදී මාපිය-දූදරු සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ඉතා වැදගත්බව වෛද්‍යවරිය පවසයි.
"මේ දරුවන්ට ලැබෙන අවධානය අඩු වුණාම, මේ දරුවන්ට නොලැබෙන උණුහුම සහ ආදරය හොයාගෙන මේ දරුවන් අවදානම් ආශ්‍රයන්ට යොමුවෙනවා. අපි සමාජයක් හැටියට දරුවන්ට නිසි අවධානය ලබාදීම, ඔවුන් සමග සුහදව කටයුතු කිරීම සහ ඒ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ඉතා වැදගත්වෙනවා."
"දරුවෙකු යම්කිසි කරදරේකට යොමුවුණාම ඉස්සරවෙලාම යන්න ඕන දෙමව්පියන් ළඟට. නමුත් අපේ රටේ දෙමව්පියන් ළඟට යන්න හරිම බයයි, මොකද ලැබෙන දඬුවම්, බැනුම් සහ අනෙකුත් චෝදනා නිසා. ඉතින් මේ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ඉතා අවශ්‍ය යි."