ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ස්ත්‍රී දූෂණය, වයස සහ ශ්‍රී ලංකාවේ නීතිය: සුන්දර වරදක්ද? නීතියට පටහැනිද?
- Author, දැහැමි රණවීර
- Role, බීබීසී සිංහල
ජපාන ජාතික පහළොස් වියැති තරුණියක ඇයගේ පෙම්වතා යැයි පවසන ශ්‍රී ලාංකික පුද්ගලයෙකුගෙන් ගැබ් ගෙන ඇතැයි සඳහන් පුවතක් ශ්‍රී ලාංකාවේ ප්‍රධාන මාධ්‍යවල පළ වීමත් සමග ඒ ගැන සමාජ මාධ්‍ය ජාලවල දැඩි කතා බහක් ඇති වී තිබේ.
මේ සිද්ධියත් සමග විවාහ, ළමා අපචාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතියේ හිඩැස් පිළිබඳ සාකච්ඡාවක් මෙන්ම, "නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවෙකු සමග මවක් තනි කළ යුතු දැයි" තර්ක ගොඩනගන බොහෝ පිරිසක් ද සමාජ මාධ්‍ය ජාල තුළ දැක ගත හැකිය.
සිද්ධියට සෘජුවම අදාළ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහයන් කිසිවක් සාර්ථක නොවීය. කෙසේනමුත් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි කීපයක මෙම සිද්ධිය වාර්තා කර තිබිණි.
ඔවුන් අත්අඩංගුවට ගත් පසු ලබාගත් ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වනු දැකිය හැකිය. අදාළ යුවළ අත් පටලාගෙන සිටින අයුරු දැක්වෙන එම ඡායාරූපය මුල් කරගත් ප්‍රේමණීය කවි පද ලියැවී ඇතිවා සේ ම 'ළමා අපචාරයක්, ස්ත්‍රී දූෂණයක්' සිදු කළ බවට අදාළ පුද්ගලයාට දැඩි චෝදනා ද එල්ල කර තිබිණි.
වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටි විසිහතර හැවිදිරි ශ්‍රී ලාංකිකයෙකු මෙම ජපන් තරුණිය සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් මත ඇය රහසේ ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමට ක්‍රියා කර තිබූ බව එම වෙබ් ලිපිවල සඳහන් වී තිබිණි. මේ සම්බන්ධයෙන් තරුණියගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව, පොලිසිය මෙම යුවල සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙන බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
නීතියට පටහැනිද?
මෙහිදී කාන්තාවන්ට එරෙහිව සිදුකරන දරුණුතම ගණයට අයත් වන 'ලිංගික අපරාධයක්' මෙන්ම ළමා අපචාරයක් පවා සිදුව ඇතැයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ නීතිඥවරු පැවසූහ.
"නීතියට අනුව අදාළ පුද්ගලයා වැරදි ගණනාවක් සිදු කර තිබෙනවා. ඔහු වැඩිහිටි පුද්ගලයෙක් බව පැහැදිළියි. එහෙම කෙනෙක් බාල වයස්කාරයෙකු සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම වැරදියි. මෙයට බරපතල නීති තර්ක අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනුමක් තිබෙන මැදිහත් පුද්ගලයෙකුට වැටහෙන්න අවශ්‍ය කාරණයක්," නීතිඥ නිලුපුල් ගුණතිලක පැවසුවාය.
"මේ සිද්ධිය සමාජයේ බොහෝ දෙනෙක් වෙනත් විදිහකට දකින්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මීට වඩා බරපතල ඛේදනීය සිද්ධි මේ ලංකාවේ අධිකරණවල ඕනා තරම් ඇහෙනවා. හැබැයි අනික් අතට මේ කතිකාව ගොඩනැගුණු එක නීතියේ යම් හිඩැස් පුරවන්න තල්ලුවක් වෙනවා," නීතිඥවරිය තවදුරටත් පැවසීය.
කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව මෙසේ වර්ගීකරණය කර තිබේ:
- ස්ත්‍රී දූෂණ
- බරපතල ලිංගික අපයෝජන
- ව්‍යහිචාරය
- කුට්ටනය
- ලිංගික අතවර කිරීම්
- දරුවන්, කාන්තාවන් යොදාගෙන අසභ්‍ය දේ පළ කිරීම වැනි සුළු අපරාධ ද මෙයට අයත් වේ.
අදාළ ලිංගික ක්‍රියාව කිනම් අපරාධයක් යටතේ අර්ථ නිරූපණය කළ යුතුද යන්න තීරණය කිරීමේදී කරුණු කීපයක් සැලකිල්ලට ගනු ලැබේ.
අපරාධයට අදාළ සිද්ධිමය කරුණු
- වින්දිතයාගේ වයස
- ලිංගික ක්‍රියාව සිදුවූයේ කාන්තාවගේ හෝ ගැහැණු දරුවාගේ කැමැත්ත ඇතිව ද නැතිව ද යන වග
- වින්දිතයා හා චූදිතයා අතර ඇති සම්බන්ධතාව (උදාහරණ: වෛවාහික/ ඥාති/ පෙම් සබඳතා/ දික්කසාදයට පෙර ස්වාමිපුරුෂයා)
- කාන්තාවට හෝ ගැහැණු දරුවාට සිදුවූ කායික හානිය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව
මෙම කරුණු ලිංගික අපරාධය සම්බන්ධයෙන් පවත්වන පොලිස් විමර්ෂණවල සිට නඩු විභාගය දක්වා සියලු කාරණා සඳහා වැදගත් වේ.
නීතියේ හිඩැසක් ද?
ජපාන - ශ්‍රී ලාංකික යුවල සම්බන්ධයෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ බීබීසී සිංහල සේවයට සිය අදහස් පළ කළේය.
"මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් පවතින නීති වෙනස් විය යුතු බවයි. එක්සත් රාජධානියේ මේ හා සම්බන්ධ නීතිවල වයස අවුරුදු 13ට අඩු අය හෝ වයස 13ත් 16ත් අතර අය හෝ 16ත් 18ත් නැත්නම් 18ට වැඩි වයසේ පසුවන දෙදෙනෙක් අතර ලිංගික සම්බන්ධතා ගැන වෙන් වෙන් වශයෙන් පැහැදිලි කර තිබෙනවා. නමුත් අපේ නීතියට අනුව ගැහැණු දරුවා 16ට අඩුනම් පිරිමි කෙනාගේ වයස අදාළ නැහැ. මේ නිසා නීතිය වෙනස් වෙන්න ඕනේ කියන තැන මමත් ඉන්නවා"
"හැබැයි නීති වෙනස් වුණා කියලා 16ට අඩු කෙනෙක් සමග වයස 18ට වැඩි පුද්ගලයෙක් ලිංගිකව එක් වන එක සම්බන්ධයෙන් නීති වෙනස් වෙන්න දෙයක් නැහැ. මොකද මේ තියෙන නීතිය නිවැරදියි. අදාළ පුද්ගලයා වැඩිහිටියෙක් කියන කාරණාව මෙහි දී සැලකිල්ලට ගැනෙනවා."
ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය
කාන්තාවකට සිදුවන බරපතල හිංසන නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් සුළු කොට තැකිය නොහැකි අතර, එයට උපරිම නීති සම්පාදනය කර ඇත්තේ 'දැන හෝ නොදැන' සිදුකරන අපරාධවලට නිසි දඬුවම් ලබා දීමටය.
තමන්ට සිදුවන්නේ අපරාධයක් යැයි තීරණය කළ නොහැකි වයසක සිටින ගැහැණු දරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා වයස් සීමා සහිතව නීති පනවා තිබේ.
ශ්‍රී ලංකාවේ මෙවැනි අපරාධමය චෝදනා සම්බන්ධයෙන් නීති පවතින්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහයේය.
දූෂණයට ලක් වූ තරුණිය වයස අවුරුදු 16ට අඩු නම්, එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස හැඳින්වේ.
1995 අංක 20 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනතේ 364 වගන්තියට අනුව, දැරියගේ කැමැත්ත ඇතුව හෝ නැතුව යන මූලික නෛතික සිද්ධාන්ත දෙක මෙහි දී අදාළ නොවේ.
අවුරුදු 16ට අඩු තරුණියක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන තැනැත්තෙකු ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ වරදකරු වනු ඇත.
අවුරුදු හතකට නොඅඩු අවුරුදු විස්සක් නොඉක්මවන බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ දඩ මුදලක් ගෙවීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදට දඬුවම් ලෙස දක්වා ඇත.
අදාළ නීතිය ව්‍යවස්ථාපිතව නැතහොත් යම් පනතක් මගින් පනවනු ලබන නීතියක් බැවින් මෙම වරද ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නමින් හැඳින්වේ.
මේ අතර, ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණය ලෙස අර්ථ දක්වමින් 1883 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ කරුණු පැහැදිලි කර තිබේ.
ස්ත්‍රිය අවුරුදු දහසයට අඩු වන විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව මෛථුනයෙහි යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙස 363 වගන්තියේ (ඉ) අනු වගන්තියේ ද සඳහන් වේ.
කෙසේනමුත්, බහුවිධ නීති පද්ධතියකින් යුත් ශ්‍රී ලංකාව වැනි රටක සාමාන්‍ය නීතියට අමතරව, ආගම, උපන් ප්‍රදේශය වැනි නිර්ණායකයන්ට යටත්ව විශේෂ නීති ද ක්‍රියාත්මක වේ.
උඩරට නීතිය, මුස්ලිම් නීතිය සහ තේසවලාමෙයි නීතිය මෙයට උදාහරණ වේ.
හිඩැස් සහිත එකිනෙකට පරස්පර නීති නිසා ලිංගික අපරාධ සම්බන්ධ නඩු තීන්දුවලින් යුක්තිය ඉටු නොවුණු අවස්ථා ද ඉතිහාසය පුරාවට අසා ඇත.
අදාළ නීතිය පදනම් කරගෙන ශ්‍රේෂ්ඨධිකරණය ලබා දුන් නඩු තීන්දුවක් ගැන නීතිඥ තිෂ්‍ය වේරගොඩ පැහැදිලි කළේය.
"එහිදී සිදු වුණේ, බිරිඳ විදේශයක සිටින විට සැමියා ඇයගේ බාලවයස්කාර නැගණිය සමග ලිංගික සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා. එයින් නැගණිය ගැබ් ගත්තා. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යන චෝදනාව මත ඔහුට එරෙහිව නඩු පැවරුවා."
"එම නඩුවේ කාරණා සැලකිල්ල ගෙන චූදිතයාට ලැබුණේ අත්හිටවූ සිරදඬුවමක්. ඔහු මේ වන විට ඒ දරුවා රැකබලා ගනිමින් දරුවාටද අවශ්‍ය දේ සපයනවා. ඔහු අපරාධයක් කර තිබුණත් ඔහුට තවදුරටත් දඬුවම් නොකළ යුතු බව අධිකරණය පැවසුවා. අවුරුදු 10 ක් සිර දඬුවම් දුන්නොත් දරුවාට පියෙකු අහිමි වීම මෙහිදී සැලකිල්ලට ගත්තා," ඔහු තවදුරටත් පැවසීය.
"ජපාන දැරිවියගේ සිද්ධියේ දී ගැටලුව වෙන්නේ, වැඩිහිටි පුද්ගලයෙක් තමන් කරන ක්‍රියාව නීතිවිරෝධී බව දැන දැනම බාල වයස්කරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා තිබීමයි. එම නීති විරෝධී ක්‍රියාවෙන් තරුණිය ගැබ් ගෙන ඇති නිසා දැන් ඔහුට නිදහස් වෙන්න අවසර දෙන්න කියනවා."
"කාන්තාව ගැබ් ගත්තේ නැත්නම් තවත් ළමා අපයෝජකයෙකු විදිහට සමාජය ඔහුව හෙළා දකිනවා. නමුත් දැන්, සමාජය ඔහුට අවස්ථාවක් දීමට කැමැත්තෙන් සිටින්නේ ඔහු පියෙකු නිසා."
"දැන් එතකොට මේ කතාවේ හරය වන්නේ ' වැඩිහිටියෙකු, බාල වයස්කරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නම්, ඔබ ඇයව ගැබ් ගැන්වීමට වග බලා ගන්න' කියන එක ද?."
"සදාචාරය කියන්නේ මෙය නොවෙයි. සමාජය සහ අධිකරණ පද්ධතිය දිරිමත් කළ යුත්තේ ද මේ දේ නොවෙයි," නීතිඥවරයා තවදුරටත් පැවසීය.
"දරුවා පව්"
ජපාන-ශ්‍රී ලාංකික යුවල සම්බන්ධයෙන් රටේ පවතින නීතිය නොව "මානුෂීය දෘෂ්ඨි කෝණයකින් බලන්න" යැයි තවත් බොහෝ පිරිසක් සිය අදහස් ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලංකාවේ සිරගෙවල්, මාතෘ නිවාස, පරිවාස හා ළමාරක්ෂක සේවා "සෑහීමකට පත් විය නොහැකි" මට්ටමේ තිබෙන හෙයින් මෙම යුවල මෙන්ම උපදින දරුවා ද විවිධ දුක් ගැහැට විඳිනු ඇතැයි සමහරුන්ගේ මතය වී තිබිණි.
බොහෝ දෙනෙකු මෙම කතාවේ ඇතුළාන්තය නොදැන, මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් මත සිය හැගීම් ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබිණි. එමෙන්ම අදාළ ශ්‍රී ලාංකික පුද්ගලයා "වීරයෙකු" ලෙස හුවා දැක්වීමට ද සමහරු උත්සහ කර තිබිණි.
"දැන් වුණ දේ වුණා, එයා දැන් අම්මා කෙනෙක්. ඒ ගැන හිතලා නීතියෙන් සමාවක් දෙන්න ඕනේ. තාත්තා කෙනෙක් නැතුව මේ වගේ රටක තරුණ අම්මා කෙනෙක් කොහොම ද ජීවත් වෙන්නේ. අපේ පරිවාසවල තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ ළමයා මහා දුකක් විඳියි ඉස්සරහට. මට පේන විදිහට එයා කළ එකම වරද ආදරය කරපු එක," ව්‍යාපාරික කාන්තාවක වූ දෙහිවල පදිංචි ධනංජි සේනාරත්න පැවසුවාය.
මේ අතර, හෙදියක වූ උදාරා පැවසුවේ, "දරුවා බිහිකරන්න සහ හදා වඩා ගන්න එයාට ශක්තිය ඕනේ. ඒකට දරුවාගේ තාත්තා ඉන්නම ඕනේ. මොන දේ වුණත් ඒ පිරිමි කෙනා ගැහැණු කෙනාගේ අත තදින් අල්ලාගෙන ඉන්න විදියෙන්ම පේනවා ඒ ආදරයේ තරම. මිනීමරුවෝ පාර්ලිමේන්තු ගිහින්, මේ තාත්තා බන්ධනාගාර වෙනවා කියන්නේ නීතිය වැඩක් නැහැ කියන එක."
"ආදරය සුන්දර වරදක් කියනවනේ," ඇය තවදුරටත් පැවසීය.
කෙසේනමුත්, මෙම සිද්ධියට ලැබෙන සමාජ ප්‍රතිචාර ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වයට මුහුණ දෙන දැරිවියන්ට නොලැබෙන්නේ මන්දැයි තවත් සමහරු ප්‍රශ්න කරති.
"අපේ රටේ දරුවෝ මේ වගේ ප්‍රශ්නවලට සෑහෙන මුහුණ දෙනවා. නිසි ලිංගික අධ්‍යාපනයක්, දැනුමක් නොමැති කම නිසා වගේම, ලිංගික බලහත්කාරකම් නිසාත් ගැබ් ගැනීම් සිද්ධ වෙනවා. හැබැයි මේවා මාධ්‍යයේ පළ වුණත් මේ තරම් කතිකාවක් ඇති වෙලා නැහැ," නීතිවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වන ප්‍රමෝදා සෙනෙවිරත්න පැවසුවාය.
"හැම කෙනාම වැදගත්, නමුත් චිත්‍රපටියක් හා සමාන කතාවක් අදාළ සිද්ධියට පසුබිම් වුණාම එයට සෑහෙන ප්‍රචාරයක් ලැබෙනවා. මෙතන සිදුවිය යුත්තේ රටේ නීතියට අනුව කටයුතු කිරීමක් මිස, මේ වගේ වැරදිවලට අනුබල දීමක් නෙමෙයි. තමන්ගේ දරුවා වැරදි පාරේ ගිය දවසට තමයි මේ සිද්ධියේ බරපතලකම තේරෙන්නේ," ඇය තවදුරටත් පැවසුවාය.
පවුල් සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මුළු ගැබ් ගැනීම්වලින් 6.1%ක් සිදුවන්නේ වයස අවුරුදු 13-19ත් වන තරුණියන් අතරය.
දත්ත අනුව, නව යොවුන් ගැබ් ගැනීම්වලින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පහළ ස්ථානයක සිටිය ද, බොහෝ දුෂ්කර පළාත්වලින් අනුවේදනීය කතා රාශියක් අසන්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල නව යොවුන් වියේ ගර්භණීභාවය බහුලව දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවල සඳහන් වේ. නමුත් කොළඹ වැනි නගරබද ප්‍රදේශවලින් වාර්තා වන්නේ සුළු පිරිසකි.
විවාහ වෙන්න බැරිද?
දෙදෙනාම එකඟත්වයෙන් ඇති කර ගත් ලිංගික සම්බන්ධතාවක ප්‍රතිඵලයක් වශයෙන් ගැබ් ගැනීමක් සිදු වුවද, අවුරුදු 18 වන තෙක් අදාළ යුවළට විවාහ වීමට අවසර නොමැත.
එයට හේතුව නම්, ශ්‍රී ලංකාවේ පවුල් නීතියට අනුව විවාහ වීමට හැකි අවම වයස අවුරුදු 18 වීමය. එපමණක් නොව, රියදුරු බලපත්‍රය ලබා ගැනීම, බැංකු ගනුදෙනු සහ ඡන්දය ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාවලට ද අවම වයස දහඅටය. තාර්කික තීරණ ගැනීමට දහ අටට අඩු පුද්ගලයෙකුට නොහැකි වීම මත මෙම සීමා පනවා තිබේ.
කෙසේනමුත්, අපරාධ නීතිය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය අදාළ වන්නේ අවුරුදු 16න් පහළ දැරිවියන්ටය. එයින් ගම්‍ය වන්නේ වයස 16ට වැඩි දැරිවියකට ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම ගැන ස්වාධීන තීරණයක් ගැනීමේ හැකියාවක් ඇති බව නීති සම්පාදකයින් තීරණය කර තිබීමය.
තම ලිංගික ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගත හැකි නමුදු, අදාළ තරුණිය විවාහපත් වීමට වයස අවුරුදු 18 සපිරෙන තෙක් සිටිය යුතුය.
- වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවෙකු හා අවුරුදු 18ට අඩු පිරිමි දරුවකු අතර ලිංගික සම්බන්ධතා
- වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවකු සහ අවුරුදු 18ට වැඩි පිරිමි දරුවකු අතර ලිංගික සම්බන්ධතා
මේ අවස්ථා දෙකේදීම අදාළ තරුණයාට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ නඩු පැවරීමට ඉඩ ඇත. එමෙන්ම දෙපාර්ශ්වයටම අවුරුදු 18ට වැඩි වන තෙක් විවාහ වීමට ද අවසර නැත.
- වයස අවුරුදු 16ට වැඩි අවුරුදු 18ට අඩු ගැහැනු දරුවකු හා අවුරුදු 18ට අඩු පිරිමි දරුවකු අතර ලිංගික සම්බන්ධතා
- වයස අවුරුදු 18ක ගැහැනු දරුවකු හා අවුරුදු 18ක අඩු පිරිමි දරුවකු අතර ලිංගික සම්බන්ධතා
මෙහි දී ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් යටතේ නඩු පැවරීමක් සිදු නොවේ. දෙපාර්ශ්වයටම වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ පසු විවාහ විය හැකිය.
මේ තොරතුරුද කියවන්න:
- පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම: ඔබේ අයිතිවාසිකම් දැන ගන්න
- කන්‍යාභාවය සිඳ ගැනීමට නිසි වයසක් තිබේ ද?
- "මම කැමතියි ඔයාගේ පපුවේ, ඉණේ ප්‍රමාණය දැනගන්න"
- "කන්‍යා පටලය හදාගන්න සතියකට 10 ක් විතර එනවා "
- ලිංගික කැමැත්ත: "පොලිසිය, පාසල සහ දෙමව්පියන් දරුවන් දැනුවත් කළ යුතුයි"
- 'බ්ලූ ෆිල්ම්' නිසා අවුල්වන පවුල් ජීවිත
- මල්වර වීම, ගැබ් ගැනීම සහ ප්‍රසූතිය ගැන පවුලේ අය 'දැන සිටිය යුතු' කරුණු
- "මේ දුක දන්නේ අම්ම කෙනෙක් විතරයි"