ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවන්ට තනිව සංචාරය කිරීමට ශ්‍රී ලංකාව ආරක්ෂිතද? සමාජ කථා බහක් මතුව ඇත්තේ ඇයි?
පාස්කු බෝම්බ පිපිරීම, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්තමානය වන විට නැවත නැගී එමින් පවතියි. සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා තිබුණේ මුල් මාස තුන තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඩොලර් බිලියනයක් පමණ වන බවයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් තනිව සංචාරය (solo travel) කිරීමේ අරමුණින් පැමිණෙන්නන් ය. බොහෝ විදේශීය කාන්තාවෝ එලෙස තනිව සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙති. Timeout.com නමැති සඟරාවක් ශ්‍රී ලංකාව තනිව සංචාරය කරන කාන්තාවන්ට හොඳම ගමනාන්තය ලෙස නම් කර තිබෙන්නේ එවැනි වටපිටාවක් තුළය.
සමාජ මාධ්‍යයේ ප්‍රතිචාර
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ අදහස් පළ කර තිබූ බොහෝ කාන්තාවන් සහ බොහෝ පුද්ගලයන් අදහස් දක්වා තිබුණේ එය එසේ නොවන බවට ය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ මිශ්‍ර ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමට හැකි වූ අතර බහුතරයක් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ආරක්ෂිතව බස් රථයක හෝ ගමන් කිරීමට අපහසු බව ය. එසේ නම් කාන්තාවන්ට තනිව සංචාරය කිරීමට ශ්‍රී ලංකාව ආරක්ෂිත තැනක් වන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කර තිබුණි. ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් වීඩියෝ පවා නිර්මාණය කර තිබුණි.
ප්‍රතිවිරෝධතා මතුකර තිබූ බොහෝ පාර්ශවකරුවන්ගේ මතය වූයේ ශ්‍රී ලංකාවේදී කාන්තාවන්ට පහසු ඇඳුමක් ඇඳ, නිදහසේ තනිව සංචාරය කිරීමට අපහසු බවට ය. ඔවුහු පෙන්වා දෙන්නේ අවම වශයෙන් වාචික හිංසනයකට හෝ ලක්වීමට එම කාන්තාවන්ට සිදුවන බවය. එදිනෙදා බස් රථවල රැකියා සඳහා ගමන් කරන බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කර තිබුණේ, එහිදී තමා මුහුණ දී ඇති අත්දැකීම් නිසා ශ්‍රී ලංකාව තුළ තනිව සංචාරය කිරීමට කාන්තාවකට හැකි යැයි ඔවුන්ට ආරක්ෂිත හැඟීමක් මෙතෙක් නොදැනී ඇතැයි යනුවෙනි.
තවත් සමහරුන් අදහස් දක්වා තිබුණේ විදේශීය කාන්තාවන්ට ශාරීරික හිංසන කිරීමට සාමාන්‍යයෙන් කිසිවෙකුත් නොපෙළඹෙන බැවින් සහ ඔවුන්ට සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැති හෙයින් යමෙක් යම්කිසි වාචික හිංසනයක් කළ ද ඔවුන්ට එය නොවැටහෙන බවයි.
මෙම මිශ්‍ර ප්‍රතිචාර නිරීක්ෂණය කළ බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ වෙසෙන තනිව සංචාරය කරන කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන්ගේ අත්දැකීම් විමසන ලදී.
'වසර නවයක කාලයක දී කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ'
තමා තනිව සංචාරය කිරීම අරඹා වර්තමානය වන විට වසර නමයක් වන කාල පරාසය තුළදී, තමාට ශ්‍රී ලංකාව තුළ කිසිදු ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු නොවූ බව ශ්‍රී ලංකාව තුළ තනිව සංචාරය කරන කාන්තාවක් වන දිලිනි උදාරි පවසයි.
"මම සංචාරය කරන්න පටන් ගත්ත මුල් කාලයේදී මට බෑග් එකක් පැක් කරන්නේ කොහොමද කියලාවත් අදහසක් තිබුණේ නෑ. යන තැන් ගැන සැලසුමක් තිබුණේ නෑ. නමුත් මම ටික කාලයක් සංචාරය කරන විට මට තේරුණා මම ඒ දේවල් ගැන හරියට සැලසුමක් හදාගත්තොත් ඒවා මගේ ආරක්ෂාවට වැදගත් කියලා. ඒ නිසා මම දැන් හොඳ සැලසුමක් සහිතව තමයි මම යන සංචාර යන්නේ. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ," ඇය පවසයි.
ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ තනිව සංචාරය කිරීම සම්බන්ධයෙන් බොහෝ අය සමාජ මාධ්‍ය තුළ දක්වා තිබූ අදහස් සම්බන්ධයෙන් ඇයට ප්‍රශ්නයක් ඇති බව ය.
"සමහර කමෙන්ට්ස් දැක්කම මට හිතුනේ මේ අය ඇත්තටම ට්‍රැවල් කරපු අයද කියලා. මම දැන් මේ වසර ගණනාව තුළදීම හොඳට සැලසුම් සහගතව මගේ සංචාරයන් ගිහින් තියෙනවා. මම දන්නවා අදාළ තැනට මොන වගේ ඇඳුමක් ඇඳගෙන යන්න සුදුසුද, ඒ වගේම මම ඒ පළාත ගැන මොනවද දැනගෙන යන්න ඕනේ සහ මම ගෙනියන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා. මේ දේවල් ගැන හොඳ අවබෝධයකින් යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ආරක්ෂිතව තමන්ගේ ගමන ගිහිල්ලා එන්න ඕනෑම කාන්තාවකට පුළුවන්."
දිලිනි පෙන්වා දෙන්නේ එවැනි සැලසුම් සහගත සංචාරයක් තුළදී කාන්තාවකට එල්ල විය අවදානම ඉතා අවම මට්ටමක පවතින බව ය.
"අපි යන්නේ නොදන්නා පළාතකට වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ ස්ථානය ගැන ඒ අවට පරිසරය ගැන හොඳ අවබෝධයකින් යා යුතුයි. අපි ඒ පළාතට ගියාට පස්සේ ඒ ඉන්න අය අපේ මුහුණේ තියෙන හැඟීම්වලින් හඳුනා හඳුනාගන්නවා අපි ඒ පැත්ත ගැන දන්න අයද එහෙමත් නැතිනම් නොදන්න අයද කියලා. අපි මොකුත් දන්නේ නැතිව වගේ බයෙන් වගේ හිටියොතින් ගොඩක් අය එන්න පුළුවන් විවිධ දේවල් කියාගෙන. මම හිතන්නේ අපි හොඳ අවබෝධයකින් සහ අවධානයකින් හිටියොතින් මේ කියන ප්‍රශ්නවලින් අපට බේරෙන්න පුළුවන්."
දිලිනි පවසන්නේ බොහෝ විට ඇයට සංචාරවලදී හමුවන පුද්ගලයන් ඇයට බොහෝ උදව් කර ඇති බව ය.
"එක වතාවක් මම මඩොල්සිම තියෙන ශ්‍රී ලංකාවේ සූර්යාලෝකය අඩුවෙන්ම ලැබෙන ගමක් වන කඳු වලින් වට වූ කොහොනාව කියන ගමට සංචාරයක් සඳහා ගියා. ටික දුරක් පයින් යන්න තියෙන නිසා මම යද්දි ටිකක් රෑ වුණා. ගමන අතර මඟ මට එක වයසක පුද්ගලයෙක් හමුවුණා."
"ටික දුරක් යද්දි ඔහු කිව්වා මමත් මගේ බිරිඳත් දියණියත් තමයි මේ ගෙදර ඉන්නේ ඔයාට පුළුවන් කැමතිනම් අපිත් එක්ක මේ ගෙදර නතර වෙලා හෙට උදේම මේ ගමන යන්න කියලා. මොකද ඒ වෙනකොටත් මම නවතින්න සැලසුම් කරගෙන ඉඳපු තැනට සෑහෙන දුරක් තිබුණා. මම එම පවුලේ අය සමග එකඟ වෙලා ඒ නිවසේ රාත්‍රිය ගත කළා ඔවුන් මට එදා ලොකු උදව්වක් කළා."
"ඒ නිසා මම හිතන්නේ නෑ මිනිස්සු හැම විටම අපට කරදර කරන්න එනවා කියලා. ගොඩක් මිනිස්සු හරිම හොඳ අය. ඉතින් මම කලින් කිව්වා වගේ අපි අවධානයෙන් අපේ ගමන යන එකයි වැදගත්," දිලිනි විස්තර කළේ ඇගේ අත්දැකීමකි.
'එක වරක් පමණයි අපහසුතාවයට පත්වුණේ'
පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන විශ්වනී ජයවීර වසර දෙකක පටන් තනිව ශ්‍රී ලංකාව තුළ සංචාරය කරයි. ඇය youtube නාලිකාවක් පවත්වාගෙන යන අතර කාන්තාවක් වශයෙන් ඇය තනිව සංචාරය කරන වීඩියෝ පට එහි පළ කරන්නීය. ඒවා විශාල පිරිසක් නරඹති. විශ්වනී ද පවසන්නේ වසර දෙකක කාලය තුළ තමාට සංචාරය කිරීමේ දී මුහුණ දීමට සිදුවූ ගැටලු ඉතා අවම බවයි.
"මගේ පළවෙනි සංචාරය මම ගියේ යකාගේ පඩිපෙළ කියන සංචාරක ගමනාන්තයට. මම එතැන සිට ඔහිය දක්වා පයින් ගමන් කළා. ඒ ගමන යද්දි මට එක එක කණ්ඩායම් මුණ ගැහුණා. ඒ ගොඩක් අය මාව දිරිමත් කළා. කවුරුවත් අනවශ්‍ය දේවල් කියන්නේ නැහැ. වර්තමානයේත් මම තනිව සංචාරය කරනවා කියලා දැන ගත්තම ගොඩක් අය මාව දිරිමත් කරලා තියෙනවා. ඇත්තටම සංචාරය කරන කෙනෙක් විදියට මම හිතන්නේ නෑ ඒ තරම් අනාරක්ෂිත බවක් ශ්‍රී ලංකාව තුළ තියෙනවා කියලා," ඇය පවසයි.
විශ්වනී බොහෝ අවස්ථාවල සංචාරක ගමනාන්තයන්හි කඳවුරු බැඳීම සිදුකරන්නියකි.ජනශූන්‍ය ප්‍රදේශවල පවා කඳවුරු ගැසීම සිදු කරන ඇය පවසන්නේ මෙතෙක් ඇයට එවැනි නරක අත්දැකීමක් ලැබී නොමැති බවයි.
"මම සාමාන්‍යයෙන් කෑම්ප් කරන්න යනකොට මම යන ස්ථානය අවට තියෙන ගම්වල අය එක්ක කතා කර කර යනවා. ඒ යන ගමන් එයාලා එක්ක සම්බන්ධතා ඇති කරගන්නවා. එතකොට මට පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ අයට කතා කරන්න." ඒ ඇය අනුගමනය කරන එක් උපක්‍රමයකි.
'ඒ වගේම අපි යනකොට අපි කෑම්ප් කරන ප්‍රදේශය ගැන හොඳ අවබෝධයකින් යන්න ඕනෑ.'
විශ්වනීට එක් වරක් පමණක් ගැටළුවකට මුහුණ දෙන්නට සිදු වූ බව ඇය පවසයි.
"වැඩිය මිනිස්සු නැති ගම්වල පවා කෑම්ප් කරන මට ඇත්තටම ප්‍රශ්නයක් සිදුවුණේ නුවරඑළිය ටවුන් එකේදි. එදාත් මම තනියෙන් සංචාරය කරන ගමන් හිටියේ. නුවරඑළියේ සීතල විඳගන්න ආසා නිසා මම එදා අත් නැති ස්කිනි එකක් ඇඳගෙන ගියේ. ත්‍රීරෝද රථ රියදුරෙක් දිගින් දිගටම මගේ පස්සෙන් එන්න ගත්තා. ඊට පස්සේ එක තැනකදී එයා නැවතිලා මගේ ළඟට ඇවිත් අතින් අල්ලන්න වගේ උත්සාහ කළා. මම ඒ වෙලාවෙදි මගේ අතේ තිබුන Gopro එකේ ස්ටික් එක ඔහුට පෙන්වලා කිව්වා ළඟට ආවොත් මේකෙන් ගහනවා කියලා. එතකොට ඔහු යන්න ගියා. මම ඒ වෙලාවෙදි බය නැතුව එහෙම කිව්වේ නැතිනම් ඔහු ඇවිත් මට අනවශ්‍ය කරදර කරන්න ඉඩ තිබුණා."
විශ්වනී පෙන්වා දෙන්නේ තමා තනිව සංචාරය කිරීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් බව ය.
"ශ්‍රී ලංකාවේ තියෙන්නේ වෙනම සංස්කෘතියක්. විදේශීය කාන්තාවන් කැමති ඇඳුමක් ඇඳලා සංචාරය කරනවා වුණත් අපට ඒක ටිකක් අපහසු වෙලා තියෙනවා. ඒ නිසා සංචාරය කරනකොට මම මගේ ඇඳුම ගැන බොහොම සැලකිලිමත් වෙනවා. ඒ වගේම මම හොඳට කතා කරනවා. මම ඒ ප්‍රදේශය ගැන දන්න බව වටපිටාවේ ඉන්න අයට අඟවනවා. මේ වගේ උපක්‍රම අනුගමනය කළොත් අපේ ආරක්ෂාව ගැන අපටම සහතික වෙන්න පුළුවන්."
'බස් එකකවත් යන්න බැරිනම් තනිව සංචාරය කරන්නේ කොහොමද?
තනිව සංචාරය කරන තරුණියන් එලෙස පවසද්දී තනිව සංචාරය කිරීමට කැමැත්තෙන් පසුවන එනමුත් මෙතෙක් තනිව සංචාරය කිරීමට ආරක්ෂිත හැඟීමක් දැනී නොමැති යැයි පවසන තරුණියන් සමඟ ද අප සාකච්ඡා කරන ලදී.
මීට පෙර අවස්ථාවකදී බීබීසී සිංහල විසින් බස් රථවලදී කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් වාර්තා කරන ලදී. වර්තමානය වන විට කාන්තාවන්ට බස්රථවල සිදුවන හිංසන සොයා බැලීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක්ද ක්‍රියාත්මක වේ.
තනිව සංචාරය කිරීමට කැමති නමුත් මෙතෙක් ඒ සඳහා ආරක්ෂිත හැඟීමක් දැනී නොමැති යැයි පවසන තරුණියක් බීබීසී සිංහල වෙත අදහස් පළ කළාය. විසි හත් හැවිරිදි තරුණියක් වන රනූෂා සිය මිතුරු මිතුරියන් සමඟ නිතරම සංචාරයේ යෙදෙන්නියකි. ඇය පවසන්නේ ඇය තනිව සංචාරය කිරීමට කැමති නමුත් ඒ සඳහා තවමත් ආරක්ෂිත හැඟීමක් දැනී නොමැති බව ය.
"ඇත්තටම අපි උදේ හවස බස් එකක යනකොට වුනත් කොයිතරම් සිදුවීම් දකිනවද? ඒ වගේම තමයි අපි කැමති ඇඳුමක් ඇඳලා අපට ඇත්තටම පාරෙ බැහැලා යන්න පුළුවන්ද? ඉතින් බස් රථයකවත් තනියම යන්න බැරි නම් කොහොමද තනියම සංචාරය කරන්නේ කියන ප්‍රශ්නය තියෙනවා," රනූෂා පවසයි.
"මම යාළුවන් සමග සංචාරය කරන විට දැකලා තියෙනවා විදේශීය කාන්තාවන්ට වුණත් සමහර අය සමහර දේවල් කියනවා. නමුත් ඒ අයට ඒ කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් නෑ. ඒ නිසා ඒ කාන්තාවන්ට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. ඒත් අපට ඒ කියන දේවල් තේරෙනවා."
"ඒ වගේම ත්‍රිකුණාමලය, ගාල්ල වගේ මුහුදු වෙරළවල් තියෙන සහ උෂ්ණත්වය වැඩි පළාත්වල සංචාරය කරන විට අපට ඔළුවේ ඉඳන් වහගෙන ඇඳුම් ඇඳන් යන්න බෑ. අපට පුළුවන්කමක් තියෙන්න ඕනෑ අපට පහසු ඇඳුමක් ඇඳගෙන යන්න. නමුත් අපට තනියම එහෙම යන්න බෑනේ. එහෙම ගියොත් අඩුගානේ අපට ඇහෙන නෑහෙන ගානට හෝ මොනවා හරි කියනවා," ඇය අවසන් වශයෙන් විස්තර කළා ය.
ඉහත කී Timeout.com සඟරාව ශ්‍රී ලංකාව තනිව කාන්තාවන්ට සංචාරය කිරීමට හැකි හොඳම ගමනාන්තය බවට නම් කිරීම සම්බන්ධයෙන් වාර්තා කර තිබූ facebook post, X සහ විවිධ සමාජ මාධ්‍යවලට ලැබී තිබුනේ ද මේ ආකාරයේ මිශ්‍ර ප්‍රතිචාරයි.
ඇතැමුන් ගමනාගමනයේදී තමාට මුහුණ දීමට සිදුවූ විවිධ අත්දැකීම් ඇසුරෙන් ශ්‍රී ලංකාවේ තනිව සංචාරය කිරීමට ආරක්ෂාවක් නොමැති යයි තර්ක කර තිබූ අතර, ඇතැමුන් එසේ අන්තර්ජාලයේ ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකාව විවේචනය කිරීම වැරදි යැයි දක්වා තිබුණි.