ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ලිපිය ඉවත් කර ගනී
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කර තිබූ ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (පෙබ: 10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.
අදාළ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම දැනුම් දීම කළා ය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ලිපිය ඉවත් කර ගන්නා බව වගඋත්තරකාර ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 02 වන දා ලිපියකින් දැනුම්දී ඇතැයි සඳහන් කළා ය.
ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය මේ වන විට ලැබී තිබෙන බවත් රජයේ නීතිඥවරිය අධිකරණයට පෙන්වා දුන්නා ය.
එහෙත් එම දැනුම් දීම කෙරෙහි එකඟතාව පළ නොකළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කනිෂ්ක විතාරණ වගඋත්තරකරු අදාළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දී තිබුණ ද, අදාළ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු ගෙන තිබූ "තීරණය" ඉවත් කර ගන්නා බවක් දැනුම් දී නොමැති බවත් පෙන්වා දුන්නේ ය.
අදාළ තීරණය එසේ ම පවතිද්දී ලිපිය පමණක් ඉවත් කර ගැනීම ප්‍රමාණවත් නොවන බවත් තම සේවාදායකයින් මෙම නඩුකරය ගොනු කළේ, සමරිසි සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ගෙන තිබූ තීරණය බලරහිත කර ගැනීමේ අරමුණින් බවත් නීතිඥ විතාරණ පෙන්වා දුන්නේ ය.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා රජයේ නීතිඥවරියට පෙන්වා දුන්නේ, මෙම කරුණ සම්බන්ධයෙන් වග උත්තරකරුගේ ස්ථාවරය විමසා මීළඟ දින දැනුම් දීමට පියවර ගන්නා ලෙස ය.
ඒ අනුව, පෙත්සම යළි මාර්තු මස 04 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේ ය.
පෙත්සම්කරුවන් කවුද?
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසකි.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ඉකුත් සැප්තැම්බර් මස 09 වන දා ලිපියක් නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.
එම ලිපිය මගින් වගඋත්තරකාර සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අනුමැතිය පළ කර තිබෙන බව පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.
මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතු වූ මහජන විරෝධය සහ මහනාහිමිවරු මෙන් ම කාදිනල් හිමිපාණන් ඊට විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරිසූරිය ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
ඊට අමතරව විදේශ අමාත්‍යවරයා ද එම ප්‍රකාශය ම කළ බවත් පෙත්සමේ දක්වා තිබේ.
එසේ තිබියදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාළ ලිපිය නිකුත් කර ඇති බවත්, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන් ම දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී සභාපතිවරයා නිකුත් කර ඇති ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වග උත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.