'භාණ්ඩාගාරය උතුරා යන තරම්' රජයට ආදායම් ලැබීමට බලපෑ හේතු 10ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
"භාණ්ඩාගාරය උතුරලා ගිහින් තියෙනවා පළවෙනි පාරට අපි දන්න ඉතිහාසයේ. හැම වෙලාවෙ ම OD එකක් තමයි ආණ්ඩුවට තිබුණේ. හැබැයි මේ පාර රුපියල් ට්‍රිලියනක් තියෙනවා වැඩිපුර සල්ලි," සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අයවැය විවාදයට එක්වෙමින් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.
මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය, රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු රටේ ම ජනතාවගේ අවධානයට හේතුවිය.
මන්ත්‍රීවරයා පවසන පරිදි ආණ්ඩුවේ අදායම් වැඩි වීමට කරුණු ගණනාවක් හේතුවී තිබේ.
වැට් බදු, ආදායම් බදු සහ වාහන ආනයනයෙන් ඇතුළුව රජය ලද දැවැන්ත බදු ආදායම හේතුවෙන් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම ප්‍රාථමික අතිරික්තයට ළඟ වීමට හැකිව ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
ප්‍රාග්ධන වියදම් ක්‍රියාත්මක වීම මන්දගාමී වීම නිසා, රජය විසින් කළ යුතු ආයෝජන අඩුවීම ද මීට බලපා තිබේ.
මුදල් , ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අනුව 2024 මුල් මාස 8 තුළ රුපියල් බිලියන 648.8ක් පැවති ප්‍රාථමික ගිණුමේ අතිරික්තය 2025 වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 1,276.5 දක්වා වාර්ධනය වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2025 වසරේදී බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයට දක්වන අනුපාතය සියයට 14. 8 දක්වා ළඟාවනු ඇතැයි මුදල් අමාත්‍යංශය අපේක්ෂා කර තිබේ.
එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් පුරෝකථනය කරනු ලැබ ඇති ඉලක්කයටත් වඩා වැඩි අගයක් වාර්තා කිරීමටත් පිටුවහලක් වී ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කළේය.
ඉතිහාසයේ මෙතෙක් රැස්කළ වැඩි ම බදු ආදායම
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද වැඩි ම බදු ආදායම 2025 නොවැම්බර් 17 වැනි දා වන විට රැස් කර තිබේ.
එම දෙපාර්තමේන්තුවට අනුව එහි අගය රුපියල් මිලියන 2,002,241 (බිලියන 2002.241)කි.
මෙය 2024 වර්ෂයේ සමස්ත ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 60කට අධික වැඩි වීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මුදල් හා ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසන පරිදි රජයේ බදු ආදයම ඉහළ යාමට හේතු 8ක් බලපා තිබේ.
1. ආදායම් බදු ලැබීම් ඉහළ යාම
ආදායම් බදු තුළින් රජයට ලද ආදායම 12.4%කින් වැඩි වී තිබේ. එනම් එහි වැඩි වීම රුපියල් බිලියන 77.7කි.
2025 අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලද පුද්ගල ආදායම් බදු, සංස්ථාපිත ආදායම් බදු, අත්තිකාරම් පුද්ගල ආදායම් බදු, සහ රඳවා ගැනීමේ බදු ප්‍රතිපත්ති වල සිදුකළ වෙනස්කම්වල බලපෑම ඊට හේතුවී තිබේ.
එමෙන්ම රාජ්‍ය හා අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීමේ බලපෑම, ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමේ ධනාත්මක බලපෑම සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීමේ පියවර වල බලපෑම මත ආදයම් බදු ලැබීමේ ආදායම ඉහළ ගොස් ඇත.
2. VAT
සමස්ත එකතුකළ අගය මත බද්ද සියයට 28.7කින් එනම් රුපියල් බිලියන 241.8කින් ඉහළ ගොස් තිබේ.
එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 15කින් සියයට 18 දක්වා වැඩි කිරීම, වැට් බදු ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීම සහ බදු පරිපාලන පියවර, 2025 වසරේ පෙබරවාරි මස 1 වැනිදා සිට සියලුම වර්ගයේ මෝටර් රථ වාහන ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් ආනයන මත එකතු කළ අගය මත බද්ද සියයට 38.3කින් එනම් රුපියල් බිලියන 516.8 දක්වා වැඩි වී ඇත.
දේශීය ක්‍රියාකාරකම් මත අගය එකතු කිරීමේ බද්ද VAT සියයට 21.1කින් එනම් රුපියල් බිලියන 657.5 දක්වා වැඩි වී තිබේ.
මුල්‍ය සේවා හැර ලියාපදිංචි බදු ගොනු සංඛ්‍යාව 2024 වසරේ මුල් මාස 8 තුළ වාර්තා වූ ගොනු 19,987ට සාපේක්ෂව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ ගොනු 29,960 දක්වා සියයට 49.9කින් ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයි ද 2026 අයවැය , ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අනාවරණය කළේය.
3. නිෂ්පාදන බද්ද
2025 වසරේ පෙබරවාරි සිට බලපැවැත්වෙන පරිදි සියලු වර්ගවල මෝටර් රථ වාහන ආනයන සීමා ඉවත් කෙරුණි.
මෝටර් රථ වාහන ආනයනය 2025 වසරේ ජනවාරි 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෝටර් රථ වාහන සඳහා උද්ධමනයට අනුකූලව දර්ශක ගත කළ නිෂ්පාදන බදු අනුපාත සියයට 5.9කින් වැඩි වී ඇත.
ඒ අනුව වාහන නිෂ්පාදන බදු සියයට 640.5කින් එනම් රුපියල් බිලියන 234කින් වැඩි වීම ද රජයේ ආදායම් ඉහළ යෑමට හේතු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Hambantota International Port, Sri Lanka
4. සුරාබදු ආදායම
2025 වසරේ ජනවාරි 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි උද්ධමනයට අනුකූලව දර්ශක ගත කළ මත්පැන් සඳහා සුරාබදු අනුපාත සියයට 5.9කින් වැඩි වී තිබේ.
මේ හේතුවෙන් මත්පැන් සඳහා වන සුරාබදු ආදායම සියයට 9.1කින් එනම් රුපියල් බිලියන 12.1කින් වැඩි වී ඇත.
5. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ආදායම සියයට 54.2කින් එනම් රුපියල් බිලියන 36.4කින් වැඩි වී තිබේ.
අර්තාපල් සහ බී ළූණු සඳහා බදු අනුපාත ඉහළ දැමීම සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් ප්‍රධාන භාණ්ඩවල ආනයන පරිමාව වැඩි වීම හේතුවෙන් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ආදායම ඉහළ ගොස් ඇත.
6. සමාජ ආරක්ෂණ බදු ආදායම
සමාජ ආරක්ෂණ බදු ආදායම සියයට 18.8කින් එනම් රුපියල් බිලියන 30.2කින් වැඩි වී තිබේ.
ලියාපදිංචි බදු ගොනු සංඛ්‍යාව ඉහළ යෑම ඊට හේතුවයි.
ආර්ථික ක්‍රියාකාරකම් වැඩි දියුණු වීම සහ බදු පරිපාලන පියවර හේතුවෙන් ලියාපදිංචි බදු ගොනු සංඛ්‍යාව 2024 වසරේ මුල් මාස 8 තුළ වාර්තා වූ ගොනු 11,083ට සාපේක්ෂව 2025 වසරේ සමාන කාලපරිච්ජේදය තුළ ගොනු 14,898කින් සියයට 34.4 දක්වා වැඩි වී තිබේ.
යම් ද්‍රව්‍යයක් ආනයනය කරනු ලබන, යම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් කරනු ලබන‍් ඕනෑම ස්වභාවයකට අයත් සේවාවක් සැපයීමේ ව්‍යාපාරයක් කරනු ලබන, නිෂ්පාදකයකු වන්නා වූ තැනැත්තකු විසින් සිදු කරන විකිණීමක් හැර, යම් ද්‍රව්‍යයක් ආනයනය කිරීම සහ විකිණීම ඇතුළු එවැනි ද්‍රව්‍යයක තොග හෝ සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් කරනු ලබන හෝ බදු අය කළ හැකි සෑම තැනැත්තෙකු විසින්ම (පුද්ගලයකු හෝ අස්ථිත්වයක් අදහස් වන අතර, සංස්ථාගත හෝ සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයක්, පොල්මඃකරුවෙක්, රාජ්‍ය නොවන සංවිධානයක් සහ පුණ්‍යායතනයක්) ගෙවිය යුතු බද්දකි.
7. රේගු ආනයන බදු
මෝටර් රථ වාහන සඳහා වන රේගු ආනයන බද්ද සියයට 20 ක් ලෙස නියම කර ඇත.
ඒ අනුව පසුගිය කාලසීමාව තුළ භාණ්ඩ ආනයනය වැඩිවීම හේතුවෙන් රේගු ආනයන බදු සියයට 117.5කින් වැඩි වී තිබේ.
ඒ අනුව එය රුපියල් බිලියන 81.6කින් වර්ධනය වී ඇත.
8. සෙස් බද්ද
ආනයනය වැඩිවීම හේතුවෙන් සෙස් බද්දෙන් ලද ආදයම සියයට 8.8කින් ඉහළ ගොස් තිබේ.
එහි වටිනාකම රුපියල් බිලියන 4.6කි.
ආනයනික භාණ්ඩ මත සෙස් බද්ද පනවනු ලැබේ.
9. බදු නොවන ආදායම්
2025 වසරේ මුල් මාස 8 තුළ බදු නොවන ආදායම 8.1%කින් එනම් බිලියන 17කින් වැඩිවීම ද රජයේ ආදායම වැඩිවීමට ධානාත්මක බලපෑමක් ඇති කර තිබේ.
ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පොලී ආදායම, කුලී ආදායම, දඩ මුදල්, ගාස්තු හා අය කිරීම් සහ සමාජ ආරක්ෂණ දායකත්වයෙන් ලැබෙන ආදායම යි.
10. ප්‍රාග්ධන වියදම් ක්‍රියාත්මක වීම මන්දගාමී වීම
2025 වසරේ මුල් මාස 8 තුළ අතුරු සම්මත ගිණුමක් යටතේ ප්‍රාග්ධන මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් ප්‍රාග්ධන වියදම් ක්‍රියාත්මක වීම මන්දගාමී වී ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
මේ හේතුවෙන්2024 මුල් මාස 8 දී රුපියල් රුපියල් බිලියන 454.7 ක් වූ රාජ්‍ය ආයෝජන 2025 වසරේ එම කාලසීමාව තුළදී රුපියල් බිලියන 338.8ක් දක්වා, සියයට 25.5 කින් අඩුවී ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.
එම අමාත්‍යංශය සඳහන් කළේ, වර්ෂික ඇස්තමේන්තුවට සාපේක්ෂව රාජ්‍ය ආයෝජනවල ළඟා කර ගැනීමේ ප්‍රතිශතය සියයට 25.8 ක් ලෙස සැලකිය යුතු තරම් අඩු මට්ටමක පැවති බවයි.
රජයේ ආදායමට බලපාන බදු වර්ග:
- ආදායම් බදු - Income Tax
- සමස්ත එකතුකළ අගය මත බද්ද- VAT (Value added tax)
- වාහන මත නිෂ්පාදන බද්ද - Excise duty on motor vehicles
- සුරාබදු ආදායම - Excise duty on liquor
- පෙට්‍රෝලියම් මත නිශ්පාදන බද්ද - Excise duty on Petroleum
- විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද - SCL
- සමාජ ආරක්ෂණ බදු ආදායම - SSCL
- රේගු ආනයන බදු - Customs import duty
- සෙස් බද්ද - CESS














