2026 අයවැයෙන් ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ග මොනවා ද?

රුවන්පුර අධිවේගී මාර්ගයේ දළ සිතුවමක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල

2026 වසර සඳහා සමස්ත මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 342,000ක් වෙන් කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබේ.

එම යෝජනා අනුව ලබන වසර තුළදී අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධනය කිරීමට යෝජිත මාර්ග සහ ඒ සඳහා වෙන් කිරීමට නියමිත මුදල් ප්‍රමාණයන් මෙම ලිපියෙන් විස්තර කෙරේ.

මධ්‍යම අධිවේගී මාර්ගය - පළමු අදියර

මේ වන විට අතරමග නවතා ඇති අධිවේගී මාර්ග අතරින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

එම අධිවේගී මාර්ග කොටසේ සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර 2026 වසර සඳහා රුපියල් මිලියන 66,150ක් වෙන් කරන බව ජනාධිපති, මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක පැවසීය.

මූල්‍ය ගැටලු සහ ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවූ 'පඬු කරඳ' ගස ඇතුළු කරුණු කිහිපයක් මත එම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් අත්හිටුවා තිබිණි.

මධ්‍යම අධිවේගී මාර්ගය - තෙවන අදියර

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර වන්නේ, පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ග කොටස ය.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවන අදියරෙහි පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් 2027 වර්ෂයේ මුල් කාර්තුවේ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ය.

ඒ සඳහා අයවැයෙන් වෙන් කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 10,500කි.

තවද, එම අදියරෙහි රඹුක්කන ගලගෙදර කොටසෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය මූල්‍ය අවකාශය කෙරෙහි ද අවධානය යොමු කරමින් දේශීය අරමුදල් යටතේ ආරම්භ කිරීමට යෝජනා කෙරිණි.

ඒ සඳහා, මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ණය මුදලින් ඉදිරි වර්ෂයන්හිදී ගෙවිය යුතු ණය මුදලෙහි කොටසක් මෙම වසර තුළදී ගෙවා අවසන් කිරීම නිසා ඉදිරි වර්ෂයේදී ඉතිරි වන ප්‍රතිපාදන සහ තවත් අතිරේක ප්‍රතිපාදනයක් ද ඇතුළුව රුපියල් මිලියන 20,000ක ප්‍රතිපාදනයක් සලසා දීමට අයවැයෙන් යෝජනා කෙරිණි.

කුරුණෑගල - දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය

කුරුණෑගල සහ දඹුල්ල අතර ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව අනුර කුමාර දිසානායක අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

එහි ඉඩම් අත්පත් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කර තිබේ.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට ඉංගිරිය දක්වා - පළමු කොටස

රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝ මීටර් 25ක අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් අක්‍රමවත් ලෙස තැනින් තැන සිදු කර ඇති අතර ආර්ථික අර්බුදයත් සමග එම ඉදිකිරීම් තාවකාලිකව නවත්වා තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

මෙසේ "අඩක් නිම කළ ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ආර්ථික, සමාජීය මෙන් ම පාරිසරික ගැටලු රාශියකට ද මුහුණ පා සිටින" හෙයින් මෙම මාර්ග කොටස සඳහා 2018 වසරේදී සිදු කර ඇති ශක්‍යතා අධ්‍යයනය නැවත සමාලෝචනයකට ලක් කිරීමට නියමිත ය.

නව ශක්‍යතා අධ්‍යයනයෙන් ලැබෙන තොරතුරු විශ්ලේෂණයකින් අනතුරුව, කහතුඩුව සිට ඉංගිරිය දක්වා දැනට පවතින ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳව තවදුරටත් සළකා බැලීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

මෙම අධිවේගී මාර්ග කොටසේ ඉඩම් අත්පත් කර ගැනීම ද අඛණ්ඩව සිදු කරමින් පවතින අතර ඒ සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබේ.

තවත් මාර්ග ව්‍යාපෘති දෙකක්

ඉහත සඳහන් කර ඇති අධිවේගී මාර්ග ව්‍යාපෘතිවලට අමතරව මාර්ග සංවර්ධනයට අදාළ තවත් ව්‍යාපෘති දෙකක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

ඒ, කුලුනු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ සිට සමුද්‍රීය මාර්ග (Marine Drive) දිගුව (දෙවන අදියර) සහ කටුගස්තොට - ගලගෙදර මාර්ග කොටස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති දෙක යි.

කුලුනු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ සිට සමුද්‍රීය මාර්ග (Marine Drive) දිගුව (දෙවන අදියර)

කොළඹ වරාය හා වරාය නගරය වෙත මාර්ග සබඳතාව ඇති කිරීම අරමුණු කර ගනිමින් කුලුනු මත අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින අතර එම අධිවේගී මාර්ගය ජාතික මාර්ග පද්ධතිය වෙත එකතු වීමත් සමග කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව ලෝටස් වටරවුම ප්‍රදේශයේ හා තදාසන්න ප්‍රදේශවල ඇති වේ යැයි අපේක්ෂිත රථවාහන තදබදය අවම කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් කුළුණු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වරාය නගර අන්තයේ සිට සමුද්‍රීය මාර්ගය (Marine Drive) දක්වා සම්බන්ධ කිරීමට මාර්ගයක් ඉදිකිරිමට යෝජිත ය.

ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට රුපියල් මිලියන 330ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

කටුගස්තොට - ගලගෙදර මාර්ග කොටස

එමෙන් ම, කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස ද පුළුල් කිරීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු ද ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එසේ ම, මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමට සමගාමීව මහනුවර නගරය වෙත ප්‍රවේශ වන මාර්ග කිහිපයක් පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇති අතර එමගින් මහනුවර නගරයේ රථවාහන තදබදය යම් පමණකට අඩු කිරීමට අපේක්ෂා කෙරේ.