අනුර ජනපති වී වසරයි: මැතිවරණ පොරොන්දුවලට දැන් සිදුව ඇත්තේ කුමක් ද?

 Sri Lanka's new president Anura Kumara Dissanayake takes oath as president of Sri Lanka in Colombo, Sri Lanka on September 23, 2024.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images

    • Author, බීබීසී සිංහල

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඓතිහාසික ජයක් ලැබූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් ගත වී තිබේ.

2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමි කර ගැනීමට සමත් වූ ඔහු ඉතිහාසයේ පළමු වරට දෙවන මනාපය ගණනය කළ එම ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා බවට පත්විය.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කළේ, ඔහු ය.

එය "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ලෙස නම් කර තිබිණි.

එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සඳහන් කර තිබිණි.

ඉටු කළ සහ මෙතෙක් ඉටු නොකළ පොරොන්දු

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන් ම ඔවුන්ගේ වසර ගණනාවක මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල ද තිබු ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. එමෙන් ම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ද ඔවුන්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් විය.

කෙසේ නමුත්, මේ දක්වා කාලය තුළ ඒ සඳහා පියවර ගන්නා බවක් පෙනෙන්නට නොමැති අතර, බීබීසී සිංහල විසින් පසුගිය කැබිනට් මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසන ලදී. ඔහු පැවසුවේ, මෙතෙක් ඒ සමබන්ධයෙන් පියවරක් ගැනීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.

තව ද පාස්කු ප්‍රහාරයට වගකිව යුතු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහි කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම එක් මැතිවරණ පොරොන්දුවක් වුව ද, තවමත් එහි පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතියි.

එමෙන් ම, ත්‍රස්තවදය වැළක්වීමේ පනත අහෝසි කිරීම සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට සංශෝධන ගෙන ඒම මෙතෙක් සිදු කර නොමැති නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විට ගනිමින් ඇති බව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට එක්වෙමින් පැවසීය.

වඩාත් ආන්දෝලනයට ලක්වූ ජනාධිපතිවරුන්ගේ නාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත සැප්තැම්බර් 10 වන දින සම්මත කෙරුණු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගෙන් බහුතරයක් සිය නිල නිවාස නැවත භාර දී ඒවායින් පිටව ගොස් තිබේ.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ පොරොන්දුව වසර ගණනාවක් පුරා සාකච්ඡා වූ කරුණක් වූ අතර, මේ වන විට ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට ද කැබිනට් අනුමැතියක් හිමි ව තිබේ.

මේ එවැනි ප්‍රධාන මැතිවරණ පොරොන්දු 16ක් සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල කළ සොයා බැලීමකි.