2026 අයවැය යෝජනා මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාව ආරම්භ කරමින් කියා සිටියේ 'ආර්ථික අස්ථාවරභාවය ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු' නැති බවයි.

සාරාංශය

  • අයවැය විවාදය ‍නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා දින 23 ක්
  • දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 වැනිදා දක්වා - දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 පස්වරු 6ට
  • ජනාධිපතිවරයා සිය අයවැය කථාව ආරම්භ කරමින් කියා සිටියේ 'ආර්ථික අස්ථාවරභාවය ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු' නැති බවයි
  • 2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද එහිදී ඔහු කියා සිටියා
  • කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 පස්වරු 6ට

සජීවී වාර්තාකරණය

සංස්කරණය ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල / සම්පත් දිසානායක , ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු /කුමුදු ජයවර්ධන , ඩිජිටල් මාධ්‍යවේදී / තාරක සම්මාන්, ඩිජිටල් මාධ්‍යවේදී

  1. අයවැය විවාදය නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා

    අයවැය

    විසර්ජන පනත් කෙටුම්පතට අදාළ සම්පූර්ණ විවාදය (අයවැය විවාදය) 2025 නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිත වනවා.

    පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල්තැබුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායක පැය 4කුත් විනාඩි 20ක පමණ කාලයක් අඛණ්ඩව අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

  2. 2026 අයවැය යෝජනා මෙන්න

    2026 ඇයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ආරම්භ කළා. ජනාධිපතිවරයා සිය අයවැය කතාව ආරම්භ කරමින් කියා සිටියේ 'ආර්ථික අස්ථාවරභාවය ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු' නැති බවයි. 2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද එහිදී ඔහු කියා සිටියා.

    • සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් 2026 වසරේදී සමාලෝචනයක්
    • රාජ්‍ය වත්කම් පනත 2026 වසරේදී සම්මත කිරීමට සැලසුම්
    • 2026 වසරේදී අධිකරණය නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක්
    • සියලු දෙනාගේ වත්කම් ප්‍රකාශ කිරීම සඳහා ඩිජිටල් පද්ධතියක්
    • නව බදු සහන දීමේ ක්‍රමවේදයක් වෙනුවෙන් ක්‍රමෝපායික සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනයට පියවර
    • සරල කළ වැට් බදු ක්‍රමය (SVAT) 2025 ඔක්තෝබර් 1 වන දින සිට අවලංගු කර ඇති අතර, බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ අනිසි භාවිතය අඩු කිරීම සඳහා අනුමත මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලියකට මාරු වී ඇත.
    • අයවැය හිඟය 5.2% දක්වා අඩු කරන බව ජනපති පවසයි.
    • ‘අස්ථාවරත්වය පුරෝකථනය’ කිරීම රජයේ මුල්‍ය උපායමාර්ගය බව ජනපති කියයි
    • විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්.
    • ආයෝජන කලාප ආශ්‍රිතව සේවා කලාප ගොඩනැංවීමට තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා.
    • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ දැනට නැවත දමා ඇති සංචර්ධන ව්‍යාපරය ලබන වසරේ මුල් කාර්තුවේදී නැවත අරඹයි
    • නුවරඑළියේ හා දිගන අලුතින් තාක්ෂණික ආයෝජන කලාප දෙකක් ආයෝජන මණ්ඩලය හරහා ඉදිකිරීමට යෝජනා
    • ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර
    • 2026 පළමු කාර්තුවේදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති කියයි
    • ඩිජිටල් පද්ධති හරහා මහජනතාව සිදුකරන ගනුදෙනු වෙනුවෙන් රාජ්‍ය සේවා ගාස්තු අය නොකරන බව ජනපති පවසයි.
    • ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්.
    • ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටු වීමට පියවර
    • මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට පියවර
    • බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කිරීමට පියවර. ඒ සඳහා රුපියල් මිලියන 2500ක් වෙන් කිරීමට යෝජනා
    • බන්ධනාගාර පද්ධතිය සහ එළිමහන් සිරකඳවුරු කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 100ක්
    • අස්වැසුම් පවුල්වල දරුවන්ට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල වව්චර් පත්.
    • ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන
    • Al දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්.
    • පාසල් දරුවන්ට පොත්පත් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදුන් රුපියල් 6,000 දීමනාව 2026 වසරේදීත්
    • මහපොළ ශිෂ්‍යධාර මාසික දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා. ඒ අනුව ලබන වසරේ ජනවාරි සිට මහපොළ මාසික දීමනාව රුපියල් 10,000ක් වනු ඇත
    • මහල් 16කින් යුත් ජාතික හෘද රෝග ඒකකය ආරම්භ කිරීමේ මුලික වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 12,000ක්
    • මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ
    • වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ
    • ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
    • ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.
    • රජයේ සේවය සඳහා සියයට 3ක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට යෝජනා
    • අඩු ආදයම් ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 5000ක් ලබා දීමට යෝජනා
    • 2026 ජනවාරි මාසයේ සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1350 සිට 1550 දක්වා වැඩි කිරීමට යෝජනා. මෙයට අමතරව දෛනිකව පැමිණීමේ දිරි දීමනාවක් ලෙස රජයෙන් තවත් රුපියල් 200ක් ලබා දීමට යෝජනා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.
    • රාජ්‍ය අංශය සඳහා 2025 ක්‍රියාත්මක කළ වැටුප් සංශෝධනවලට අනුව දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110ක ප්‍රතිපාදන වෙන් කෙරේ. ඒ අනුව, 2026 ජනවාරි මාසයේ වැටුපේ සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කෙරේ.
    • රජයේ සේවකයින්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය, නව ව්‍යූහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කෙරේ. එහිදී පළමු ලක්ෂ 30 දක්වා 4% පොලී සහනයක් සහ රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2ක පොලි සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා
    • වාහන අලෙවියේ දී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බවක් නිරීක්ෂණය වී ඇති නිසා ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේ දී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසූ අලෙවිකරණ අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා. මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
    • බදු පදනම පුළුල් කිරීම සඳහා එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා.
    • කොළඹ වරාය හා වරාය නගරය වෙත මාර්ග සබඳතාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් කුළුණු මත අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින අතර එම අධිවේගී මාර්ගය ජාතික මාර්ග පද්ධතිය වෙත එකතු වීමත් සමඟ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව ලෝටස් වටරවුම ප්‍රදේශයේ හා තදාසන්න ප්‍රදේශවල ඇති වේ යැයි අපේක්ෂිත රථවාහන තදබදය අවම කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් කුළුණු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වරාය නගර අන්තයේ සිට සමුද්‍රීය මාර්ගය (Marine Drive) දක්වා සම්බන්ධ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට රුපියල් මිලියන 330 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා
    • පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය වැඩසටහනේ සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන් කිරීමට යෝජනා
    • 75,000 කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ.
    • ළමා රැඳවුම් නිවාසවල ජීවත් වී සමාජගත වුවන්ට සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හඳුනාගෙන ඇති අවදානමට ලක්වී ඇති දරුවන්ගේ පවුල්වලට, ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 02 ක මුල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා.
    • උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය හේතුවෙන් කිසිම නිවසකට හිමිකමක් නොමැති පවුල් වෙනුවෙන් නිවාස 2,500 ක් ඉදිකිරීම සඳහා දැනට වෙන්කර තිබෙන රුපියල් මිලියන 3,850 ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 5,000 ක් දක්වා කිරීමට යෝජනා.
    • ඉන්දීය රජයේ සහයෝගය සහිතව මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වෙසෙන මලයගම් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා නිවාස 2,000 ක් ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 4,290 ක් වෙන් කර තිබෙනවා. තවද, ඉන්දීය රජයේ සහයෝගය සහිතව දැනට උතුරු සහ දකුණු පළාත්වල ඉදිවෙමින් පවතින නිවාස 943 ක වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 1,305 ක් වෙන් කිරීමට යෝජනා.
    • කොළඹ සහ තදාසන්න නගරවල ‘නාගරික වතු’ ලෙස හෝ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල්වත්ත, මාදම්පිටිය, ෆර්ගසන් මාවත, ඔබේසේකරපුර, ස්ටේඩියම්ගම, කොළඹගේ මාවත සහ ටොරින්ටන් පෙදෙස නිවාස ඉදිකිරිම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීමට යෝජනා.
    • අඩු අදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවලට පිළියමක් ලෙස ලබන වසරේ සිට “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ යටතේ නිවාස 70,000 ක් මධ්‍යකාලීනව ඉදි කිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා, 2026 වසරේ නිවාස 10,000 ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන්වී ඇති රුපියල් මිලියන 7,200 ට අමතරව තවත් මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා.
    • සුරතල් සතුන් භූමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින්, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන් හී නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා.
    • රජයේ සේවකයින්ට ලබා දෙන පොලී රහිත රුපියල් 10,000 ක උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට යෝජනා.
    • දැනට කියාත්මක වන 0%, 15%, 20% වන තීරු බදු අනුපාත, 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තීරු බදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යෝජනා.
    • ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත් කිරීමටත් ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද පැනවීමටත් යෝජනා. මෙම යෝජනාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා.
    • අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සේවයේ නිතර ගේට්ටුකරුවන්ට ගෙවන දීමනාව රුපියල් 15,000 දක්වා වැඩිකර ගෙවීමට රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා.
    • අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමේ දී විදුහල්පතිවරුන්ගේ පරිපාලන වගකීම් සහ වගවීම අගය කිරීමක් වශයෙන් විදුහල්පති තනතුරෙහි සේවයේ නිරත විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන විදුහල්පති දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීම හා අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා.
    • දුෂ්කර ප්‍රදේශවල පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනා වසර 20 කින් වැඩිකිරීමට කටයුතු කර නොමැති බැවින් එම ගුරුවරුන් අභිප්‍රේරණය කිරීම සඳහා එම දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීමට යෝජනා.
    • රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට යෝජනා.
    • රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500 ක් වෙන් කිරීමට යෝජනා
    • විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් සහ විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා.
  3. ජනපති 2026 අයවැය කතාව අරඹයි

    2026 ඇයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ආරම්භ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ, ආර්ථික අස්ථාවරභාවය ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු නැති බවයි.

    ජනපති
  4. අයවැයට සහභාගි වීම සඳහා ජනපති ප්‍රමුඛ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට

    මනුවර්ණ
    අමාත්‍ය හඳුන්නෙත්ති
    ඇමතිවරු
    නාමල්
  5. ‘2028 ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු බයක් ඇති කර ගත යුතු නැහැ’ - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත

    වීඩියෝ ශීර්ෂ වැකිය, '2028 ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු බයක් ඇති කර ගත යුතු නැහැ'

    2028 වසරේ ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු බයක් ඇති කර ගත යුතු නැතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළා.

  6. 2026 අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය

    2026 අයවැය ලේඛනය සඳහා අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

  7. IMF ශ්‍රී ලංකාවට ඉටු කරන්න කියන කරුණු 5ක්

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් ඇතැයි,IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ (පසුගිය මස 9) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

    2025 පළමු අර්ධ වාර්ෂිකය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වූ අතර 2025 දී වර්ධනය ශක්තිමත්ව පවතිනු ඇතැයි IMF අපේක්ෂා කරනවා.

    උද්ධමනය ධනාත්මක තත්ත්වයකට නැවත පැමිණ ඇති අතර සැප්තැම්බර් මාසයේදී මිල මට්ටම් සියයට 1.5 කින් ඉහළ ගොස් ඇත.

    2025 පළමු අර්ධ වාර්ෂිකය තුළ මූල්‍ය කාර්ය සාධනය ශක්තිමත් වී ඇති අතර, එයට ප්‍රධාන වශයෙන් මෝටර් රථ ආනයනය සඳහා වන බදු මගින් සහායක් වී ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එහිදී අනාවරණය කළා.

    1. පිරිවැය-ප්‍රතිසාධන බලශක්ති මිලකරණය

    2. මහ බැංකුවේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම

    3. දූෂණ විරෝධී ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දීම

    4. ඉතිරි නිල සහ වාණිජ ණයහිමියන් සමග ණය ගිවිසුම් අවසන් කිරීම

    5. දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පිරිස ආරක්ෂා කිරීම

  8. රජයේ විදේශ ණය හා ණය ගෙවීම්

    2025 ජුනි මාසය වන විට රජය ලබා ගෙන ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37.1කි.

    මුදල් අමාත්‍යංශයට අනුව, රජයේ මුළු විදේශීය ණය වලින් 36%ක් බහුපාර්ෂවීය ණය වේ.

    වාණිජ ණය 34%ක් වන අතර ද්වී පාර්ශවික ණය ප්‍රමාණය 30%ක්.

    වාණිජ ණය වලින් ආසන්න වශයෙන් 81%ක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලින් සමන්විත වේ.

    2025 ජනවාරි 01වැනිදා සිට 2025 ජුනි 30 වැනිදා අතර කාලය තුළ මුළු ණය සේවාකරණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,358.9කි.

    ඒ අතුරින් ඩොලර් මිලියන 863.6 ක් වැය කර ඇත්තේ, ණය වාරික ආපසු ගෙවීමට.

    ණය පොලී ගෙවීමට වැය කර ඇති මුදල ඩොලර් මිලියන 495.3 ක්.

  9. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් 52ක තත්ත්වය

    ශ්‍රී ලංකන් ගුවන්සේවය

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    රජයට අයත් ප්‍රධාන ව්‍යවසායන් 52ක් 2024 මුල් මාස 6යේ වාර්තා කරන ලද රුපියල් බිලියන 280.7ක ලාභයට සාපේක්ෂව 2025 වසරේ මුල් මාස 6 තුළ ලබා ඇත්තේ රුපියල් බිලියන 227.8 ක ලාභයකි.

    මුදල් අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අනුව ප්‍රධාන රාජ්‍ය බැංකු තුන සිය ලාභ දායීත්වය රුපියල් බිලියන 65.5 කින් වැඩකර ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, සහ සේවා නියුක්ති භාර අරමුදල් මණ්ඩලය යන ආයතන 2024 වසරේ මුල් මාස 6ට සාපේක්ෂව රුපියල් බිලියන 16කට ආසන්න අතිරේක ලාභයක් ලබා ඇත.

    එහෙත් ලංකා විදුලි බල මණ්ඩලය 2025 වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 13.2 ක අලාභයක් ලැබීම හමුවේ රාජ්‍ය ව්‍යවසාය අංශයේ ලාභදායීත්වය සැලකිය යුතු ලෙස සීමා වෙලා තිබෙනවා.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ලංකා සීනි සමාගම, ලංකා සතොස සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් 18ක් අලාභ ලබමින් ඇත.

    පාඩු ලබන ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායක් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම. එහි බදු පෙර අලාභය රුපියල් මිලියන (-12,041) දැක්වෙනවා.

    ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ශේෂ පත්‍රය සැලකීමේදී සමාගම තවදුරටත් සැලකිය යුතු මුල්‍ය පීඩනයක් යටතේ කටයුතු කරනවා.

    2025 වසරේ ජුනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 191.5 ක්.

    අදාළ කාලසීමාව තුළ සමාගම සතු මුළු වගකීම් රු. බිලියන 606.7 ක් වනවා.

    2024/2025 මුල්‍ය වර්ෂයේ පළමු මාස 3 තුළදී සමාගමේ ප්‍රධාන ආදයම් මාර්ගය වන ගුවන් ප්‍රවාහන අංශයෙන් වාර්තා කළ රුපියල් බිලියන 3.5ක මෙහෙයුම් අලාභයට සාපේක්ෂව 2025/2026 මුල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ සමාගමේ මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 5.2ක් ලෙස වැඩි වෙලා.

    මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් රජය ගන්න ක්‍රියාමර්ග පිළිබඳව මෙවර අයවැය තුළින් ජනාධිපතිවරයා පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

    ලාභ
  10. ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථික වර්ධනය 4.8%

    කොළඹ

    ඡායාරූප මූලාශ්‍රය, BBC ‍| Sampath Dissanayake

    2025 වර්ෂයේ මුල් මාස 06 තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.8%කි.

    වාර්ෂික ලක්ෂමය මතුපිට උද්ධමනය 2025 වසරේ අගෝස්තු මාසයේදී ධන අගයකට පැමිණි අතර, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

    2025 වසරේ අගෝස්තු මාසය වන විට දළ නිල සංචිත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක්.

    දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2023 වසරේදී බදු ආදායම 9.9% සිට 2024 වසරේදී 12.4% දක්වා වර්ධනය වී ඇත.

    දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 2025 වසර තුළදී 14.8% දක්වා ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යංශය අපේක්ෂා කරනවා.

    2025 වසරේ මුල් මාස 6 තුළදී ආර්ථිකයේ සියලුම අංශ සංවර්ධනය වී ඇතැයි, මුදල් අමාත්‍යංශය පවසනවා.

    එහෙත් එම කාලසීමාව තුළ කෘෂිකාර්මික අංශයේ වර්ධනය 0.6%කි.

    කර්මාන්ත අංශයේ වර්ධනය 7.9 ක්.

    සේවා අංශයේ වර්ධන 3.3 කින් ඉහළ ගොස් තිබෙනවා.

    අයවැය
  11. අයවැය විවාදය දින 23 ක් පුරා, - නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා -

    විසර්ජන පනත් කෙටුම්පතට අදාළ සම්පූර්ණ විවාදය (අයවැය විවාදය) 2025 නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිත වනවා.

    2025 සැප්තැම්බර් 26 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා දක්වා දින 6 ක් පැවැත්වේ. අනතුරුව නොවැම්බර් 14 වැනිදා පස්වරු 6ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

    2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට ‍දෙසැම්බර් 5 දක්වා සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6 ට පැවැත්වෙනවා.

    අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙරවරු 9.30 ටත්, අන් සෑම දිනකම පෙරවරු 9 ට රැස්වීමටත් නියමිත ව ඇත.

  12. ආයුබෝවන්.. සුබ උදෑසනක්...!, 2026 අයවැය ඉදිරිපත් කිරීම අද පස්වරු 1.30ට

    මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) පස්වරු 1.30 ට 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක ධූරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන දෙවන අයවැය මෙයයි.

    2026 අයවැය යෝජනා ඇතුළු සියලු තොරතුරු මෙම සජීවී වෙබ් පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

    රැඳී සිටින්න බීබීසී සිංහල සමග.