පසුගිය අයවැයෙන් රු. මිලියන 100ක් වෙන් කළ තඹුත්තේගම දුම්රියපොළේ ශක්‍යතා අධ්‍යයනයට මොකද වුණේ?

ඡායාරූප මූලාශ්‍රය, Thambuttegama Api
- Author, බීබීසී සිංහල
"මගේ නිවසේ ලිපිනය බවට පත්වෙලා තිබුණේ, කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල, නල්ලච්චිය, තඹුත්තේගම," ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පළමු අයවැය ඉදිරිපත් කරමින්, 2025 වසර සඳහා වන අයවැයෙන් දුම්රියෙන් කෘෂිකර්ම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ හැකියාව ගැන අධ්‍යයනයක් කිරීමට මුදල් වෙන් කරන බව පැවසීය.
එලෙස දුම්රිය හරහා කෘෂිකර්ම නිෂ්පාදන බෙදා හැරීමට ජනාධිපතිවරයා සිය උපන් ගමින් ආරම්භ කිරීමට සැලසුම් කරන ලද නියමු ව්‍යාපෘතිය මේ වන තෙක් ආරම්භ කර ගැනීමට නොහැකි වී ඇතැයි බීබීසී සිංහල වෙත අනාවරණය විය.
නියමු ව්‍යාපෘතිය තඹුත්තේගම දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට යෝජනා වී ඇති අතර, එහි මූලික පියවර වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට 2025 අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරන ලදී.
තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ශක්‍යතා අධ්‍යයනයට ගිය වර වෙන් කරන ලද මුදල්වලට සිදුවූයේ කුමක් දැයි කතාබහක් මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය තුළ ඇතිව තිබෙනු දැකිය හැකි විය.
දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් අමාත්‍යංශයට මාරු වූ ව්‍යාපෘතිය
දුම්රිය දෙපාර්තුමේන්තුවට එම කටයුත්ත කිරීමට නොහැකි වීම හේතුවෙන් ඊට වෙන් කළ මුදල් ප්‍රවාහන, මහාමර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයට ලබාගෙන එය ඉදිරියට කරගෙන යාමට සැලසුම් කර ඇතැයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසී සිංහල වෙත පැවසීය.
"තඹුත්තේගම එළවළු එක්රැස් කරලා කොළඹට ගෙනල්ලා බෙදා හරින්න තමයි ඔය වැඩේ කරන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවට තමයි අධ්‍යයනය කරන්න තිබුණේ. නමුත් එයාලා අමාරු තත්ත්වයක ඉන්න නිසා දෙපාර්තමේන්තුව හරහා ඒක කර ගන්න අපහසුවක් තිබුණා. ඊට පස්සේ අපි ඒ සල්ලි ටික අමාත්‍යංශයට ගත්තා."
ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කිරීමට කොපමණ කල් ගත වෙයි ද?
අදාළ මුදල් දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් ප්‍රවාහන, මහාමර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයට ලබා ගැනීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති අතර, ඉන්පසුව උපදේශයෙකු තෝරාගෙන ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කරන බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේ ය.
"ශක්‍යතා අධ්‍යයනයේදී සම්පූර්ණ වෙන්න ඕන කොන්දේසි ටික හදලා ඉවර යි, සල්ලි ටික අමාත්‍යංශයට ගන්න වැඩ ටිකත් යනවා. ඊට පස්සේ නෝටිස් කරලා කන්සල්ටන්ට් කෙනෙක් හොයා ගන්න ඕනේ. දවස් 21ක් වගේ ඇතුළත එයාව හොයා ගන්න පුළුවන් වෙයි. එයාව තෝර ගත්තාට පස්සේ මාස 2ක් වගේ යනකොට වැඩේ පටන් ගන්න පුළුවන් වෙයි."
ලබන වසරේ ජනවාරි මාසය වන විට උපදේශකවරයෙකු තෝරාගෙන ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කළ හැකි වෙතැයි කී අමාත්‍යංශ නිලධාරියා ඉන් මාස 6කට පමණ පසුව භෞතික කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේ ය.
මේ අතර, වේයන්ගොඩ දුම්රියපොළ ආසන්නයේ දුම්රිය මාර්ග සහිත ආහාර ගබඩා පවතින බවත් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයක් ද පවතින බැවින් තඹුත්තේගමින් ලබා ගන්නා එළවළු වේයන්ගොඩට රැගෙනවිත් බෙදා හැරීමේ හැකියාව ගැන සලකා බලන බවත් ඔහු බීබීසී සිංහල වෙත පැවසීය.
"තඹුත්තේගම ඉඳලා ගොඩක් දුරට වේයන්ගොඩට තමයි එන්න තියෙන්නේ. ශක්‍යතා අධ්‍යයනය කරලා මොන විදියට ද කරන්න ඕනේ කියලා හොයලා බලල තමයි ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ," ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.
ශක්‍යතා අධ්‍යයනයට අමාත්‍යංශය අත ගැහුවේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මීට ඉහතදී දුම්රිය දෙපාර්තුමේන්තුව මෙවැනි ආකාරයට දුම්රිය ඔස්සේ කෘෂි කාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනයට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇති බවත්, එය ද සැලකිල්ලට ගනිමින් ශක්‍යතා අධ්‍යයනය අමාත්‍යංශය යටතට ගත් බවත් ප්‍රවාහන, මහා මාර්ග සහ නිවාස සංවර්ධන අධිකාරියේ ලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම් රාජිත දසනායක බීබීසී සිංහල වෙත පැවසීය.
"මීට කලින් දුම්රිය දෙපාර්තුමේන්තුව කරපු මේ වගේ ව්‍යාපෘතියක් ෆේල් වෙලා කියලා සාකච්ඡාවකදී මතු වෙනවා. ඒකත් එක්ක තමයි ඇමතිතුමා මැදිහත් වෙලා මේක සුදු අලි ව්‍යාපෘතියක් වෙන්න ඕනේ නෑ කියලා අමාත්‍යංශයට ගන්නේ. රේල්වේ එක ශක්‍යතා අධ්‍යයනය කළොත් කරන්නේ ඒ අයගේ කොටස ඇතුළේ නේ. ව්‍යාපෘතිය සාර්ථක කර ගන්න නම් එතනින් පිට කොටස තමයි හරියට කරන්න ඕනේ. ඒ නිසා තමයි මේක අමාත්‍යංශයට ගන්නේ."
අමාත්‍යංශය නිලධාරින් ගොවීන්, ගබඩාකරුවන් සහ ප්‍රවාහනකරුවන් වැනි පිරිස් සමග ශක්‍යතා අධ්‍යයනය කළ යුතු කොටස් හඳුනා ගනිමින් සිටින බව ද සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ ය.
"ශක්‍යතා අධ්‍යයනය කරන්න තෝර ගන්න අයට කියන්න දෙන්න ඕනෙ නේ මේ මේ කොටස් අධ්‍යයනය කරන්න කියලා. ඒ නිසා අමාත්‍යංශ නිලධාරීන් ඒ ගොඩක් තැන්වලට ගිහිල්ලා කතා කරනවා. ඒකට තමයි ලොකු කාලයක් යන්නේ. ඒ වැඩ කටයුතු ගොඩක් දේවල් ඉවරයි."
මේ වසර අවසානය වන විට ශක්‍යතා අධ්‍යයනයට උපදේශකයෙකු තෝරාගත හැකි වනු ඇති බවත්, අධ්‍යයනය සඳහා ලබන වසරට ප්‍රතිපාදන ඉල්ලීමක් කර ඇති බවත් සම්බන්ධීකරණ ලේකම් රාජිත දසනායක පැවසීය.
තඹුත්තේගම දුම්රිය ස්ථානය තෝරා ගත්තේ ඇයි?
ආණ්ඩුව බලය ලබා ගැනීමට දුන් පොරොන්දු අතර මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පියවර ගැනීම ප්‍රධානතම පොරොන්දුවක් වූ අතර එහි එක් පියවරක් ලෙස දුම්රිය යොදා ගනිමින් කෘෂිකර්ම නිෂ්පාදන බෙදා හැරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට මෙම ශක්‍යතා අධ්‍යයනය සිදු කරනු ලබන බව ජනාධිපතිවරයා 2025 අයවැය කතාවේදී පැවසීය.
"අධික පිරිවැය, ප්‍රවාහනයේදී පසු අස්වනු හානිය, මාර්ග තදබදය සහ පාරිසරික ගැටලු හේතුවෙන් මාර්ග ජාලය හරහා කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී. මෙයට පිළියමක් ලෙස, කෘෂිකර්මික නිෂ්පාදන එම නිෂ්පාදන මධ්‍යස්ථානවල සිට ගමනාන්ත දක්වා ඒ සඳහා ම විශේෂිත වූ දුම්රිය පාදක කර ගත් ප්‍රවාහනයක් හඳුන්වා දීමට අප යෝජනා කරනවා," යනුවෙන් 2025 අයවැය කතාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
තඹුත්තේගම දුම්රිය ස්ථානය මේ සඳහා තෝරා ගනු ලැබුවේ, එය මෙරට ආර්ථික මධ්‍යස්ථානයක් ආසන්නයේ පිහිටි එක ම දුම්රියපොළ නිසා බවට ද එහිදී ජනාධිපතිවරයා පැවසීය.
හාල්, පොල්, වට්ටක්කා වැනි ද්‍රව්‍ය මේ වන විටත් තඹුත්තේගම දුම්රිය ස්ථානයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරේ.














