වතු සමාගම්වල කම්කරුවන්ට රජයෙන් දීමනාවක් ගෙවීම නිවැරදි තීරණයක් ද?

අනුර කුමාර දිසානායක

ඡායාරූප මූලාශ්‍රය, PMD Sri Lanka

    • Author, බීබීසී සිංහල

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙරට තේ කර්මාන්තය ස්ථාපනය කරන ලද යුගයේ සිට ම නොසලකා හැරීමට ලක් කරන ලද බව පැවසෙන වතු කම්කරුවෝ අදටත් සිය මූලික අයිතීන් දිනා ගැනීම සඳහා නොනිමි අරගලයක නිරතව සිටිති.

එම අරගලයේ ප්‍රධාන ඉල්ලීම් අතර ජීවත් වීමට සරිලන වැටුපක් ලබා ගැනීමට ද වතු කම්කරුවෝ පරම්පරා ගණනාවක් පුරා හඬ නගති.

එම ගැටලුව ඇතැම් දේශපාලන ව්‍යාපාරවල ප්‍රචාරණය සඳහා ද භාවිත කළ ආකාරය අප දැක ඇත.

දශක ගණනාවක් තිස්සේ පවතින එම සටනේ මෑත ඉතිහාසයේ සිදුවූ වැටුප් අරගලය ලෙස දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කර ගැනීමට වතු කම්කරුවන් ඇරඹි "1000 ව්‍යාපාරය" නම් වූ අරගලය හැඳින්විය හැකි ය.

තම දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කර ගැනීමට ද වතු කම්කරුවන්හට වසර 3ක පමණ සටනක නිරත වීමට සිදුවිය. ඉන් පසුව ද විවිධ අවස්ථාවලදී දේශපාලකයන් විසින් වතු කම්කරු වැටුප් වැඩි කිරීමට වූ පොරොන්දු බොහෝමයක් කඩ කරනු ලැබී ය.

තවමත් නොලැබුණ රු. 1,700ක වැටුප

වසර ගණනාවක් පුරා කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ අගෝස්තු 13 වන දා නිකුත් කෙරිණි.

එහිදී දෛනික අවම ගෙවීම රුපියල් 1,350ක් ලෙස ද ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමනාවක් ලෙස රුපියල් 350ක් ද කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් එම ගැසට් නිවේදනය නිකුත් වූ නමුත් එය ද ක්‍රියාත්මක නොවී ය.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 වසරේ අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ප්‍රකාශ කළ අතර ඒහෙත් එය ද ක්‍රියාත්මක වූයේ නැත.

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ. YouTube අන්තර්ගතයේ දැන්වීම් අඩංගු විය හැකි ය.

End of YouTube post

ජනවාරි සිට වැටුපට එකතු වන රජයේ දීමනාව ලැබෙන හැටි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එවන් පසුබිමක 2026 වසරේ අයවැයෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1,750ක් දක්වා වැඩි කීරීමට රජය මැදිහත් වන බවත් ඒ සඳහා එක් වතු කම්කරුවෙකු වෙනුවෙන් පැමිණීමේ දීමනාවක් ලෙස රජය රු.200ක මුදලක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙවර අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.

"දැනට ගෙවන දිනක අවම වැටුප වන රු.1,350, 2026 ජනවාරි මස සිට 1,550 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. එතකොට 1,350, 1,550ක් ලෙස වැටුපක් ලැබෙනවා. තව ද රුපියල් 1,550ක වැටුපට අමතරව රජය විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් ගෙවීමට යෝජනා කරනවා. සමාගම 1,550ක් දෙනවා, රජයෙන් 200ක් දෙනවා 1,750ක වැටුපක් ලැබෙනවා."

තව ද මෙමගින් දවස් 25ක් සේවයේ නියුතු වතු කම්කරුවකු හට රුපියල් 10,000ක වැටුප් වැඩි වීමක් සිදුවන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

"හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ මේ වතු සමාගම් අවුරුදු 150ක් විතර පැරණි, අවුරුදු 150ක් ගිහිල්ලත් රජයට දීමනාවක් දීලා සේවකයන් නඩත්තු කරන්න වෙලා තියෙනවා නම් ඒ වතු සමාගම් ගැන අපි නැවත හිතන්න ඕනා. මේ සමාගම්වල සියලු ගිවිසුම් 2042 දී අවසන් වීමට නියමිතව තියෙනවා. සමහර වතු සමාගම් ඉතා හොඳින් කෙරෙන බව අපි දන්නවා. හැබැයි සමහර වතු සමාගම් නිසි පරිදි නඩත්තු කරන්නේ නැතුව, පොහොර යොදවන්නේ නැතුව කරන බව අපි දන්නවා."

එසේ හොඳින් නඩත්තු නොකරන වතු සමාගම්වල ගිවිසුම් කාලය අවසන් වූ පසුව නැවත දික් නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

වතු සමාගම්වලින් 200යි, රජයෙන් 200යි

රජය වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට දායක වීම සම්බන්ධව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න බීබීසි සිංහල සේවයට තවදුරටත් කරුණු පැහැදිලි කළේ ය.

"වතු සමාගම් සමග මේ සම්බන්ධ සාකච්ඡා වට අටක් විතර කළා, එතනදි අවසානයට එකඟතාවකට ආවා එයාලා රුපියල් 200ක් එකතු කරන්න සහ අපි 200ක් ඒ සඳහා එකතු කරනවා."

අර්ථසාධක ගෙවනු ලබන සියලු වතු සේවකයන් සඳහා මෙම ගෙවීම අදාළ වන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

රජය විසින් ගෙවනු ලබන මුදල සමාගම් හරහා කම්කරුවන් වෙත ලබා දෙනු ලබන බව පැවසූ ඇමැතිවරයා එම ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව පැවසීය.

"වැටුප ගෙවන්නේ වතු සමාගම් විසින්නේ, අපි මේ ගෙවන වැටුප් සම්බන්ධයෙන් තොරතුරු කම්කරු අමාත්‍යංශයේ, මුදල් අමාත්‍යංශයේ තියෙනවා. මොක ද අර්ථසාධක ගෙවන නිසා. එතකොට ඒක පඩියත් එක්ක ගෙවන්න අපි බැර කරනවා, කට්ටියට ලබා දෙන්න ක්‍රමයක් හදනවා. තව මාස දෙකක් තියෙනවා ජනවාරි ඉඳන්නේ ගෙවන්නේ. අපි දැනට සාකච්ඡාවක ඉන්නේ ඒ ගැන."

වැටුප් වැඩි වීම කඩවුණ පොරොන්දුවක් වෙයි ද?

ආණ්ඩුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට මැදිහත් වීම සතුටට කරුණක් වුව ද, ලාභ ලබන සමාගම් හරහා වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව අසමත් වී ඇතැයි පවසන වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාස් ආණ්ඩුව සහ වතු සමාගම් අතර වැටුප් වැඩි කිරීමට එකඟතාවක් තිබේ දැයි සැක පළ කළේ ය.

"දැනට 1,350ක් තියෙනවා, 200ක් සමාගම් හරහා දෙනවා කියන එකේ පොඩි සැකයක් තියෙනවා කොහෙ ද ආණ්ඩුව එක්ක සමාගම් සාකච්ඡා කරලා ඒ එකඟතාව ගත්තේ කියන එක. මොක ද ඒගොල්ලෝ සාකච්ඡාවක් ගත්තා කියලා විටින් විට කිව්වා. නමුත් තියෙන ප්‍රශ්න ගැන එහෙම එකඟතාවක් එළියට ආවේ නැහැ. ඒ තුළ නැවත සැකයක් මතු වෙනවා අර කලින් අප්‍රේල් මාසයේ ඉදිරිපත් කරපු අයවැයේදී ආණ්ඩුව කිව්වානේ 1,700ක් දෙනවා කියලා එතකොට ඒක ඊයේ වෙනකම් ක්‍රියාත්මක වුණේ නැහැ. අන්න එවැනි තැනකට මේකත් පත්වෙයි ද කියන ගැටලුව තියෙනවා," වතු කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඇන්තනී ජේසුදාස් බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

රු. 10,000ක පඩි වැඩි වීමක් ලැබෙනවා ද?

ජනාධිපතිවරයා පැවසූ පරිදි මෙම වැටුප් වැඩි කිරීම තුළ වතු කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් දස දහසකින් වැඩි වීමක් සිදු නොවන හේතුව වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේ ය.

"ජනාධිපතිවරයා කිව්වා දවසකට 200 ගාණේ දවස් 25ක් වැඩ කළොත් අමතරව දහ දාහක් ලැබෙනවයි කියලා කම්කරුවන්ට. නමුත් ගැටලුව තමයි හැම වත්තක ම දවස් විසි පහක් වැඩ කරන්න බැහැ. ඒ ක්‍රමය අනුව වැඩිපුර ගියොත් දවස් 20ක්, සමහර වතුවල 18ක්, මොක ද අර තියෙන තේ ප්‍රමාණය, රැකියා දෙන දවස් ඒවත් එක්ක බැලුවා ම දවස් 25ක් වැඩ කරන්න බැහැ. වත්තක දවස් 25ක් 30ක් වැඩ කරන්නේ මුර කරන අය සහ ට්‍රැක්ටර්වල වැඩ කරන අය නමුත් තේ දලු නෙළන, රබර් වතුවල වැඩ කරන කණ්ඩායම්වලට ගැටලුවක් තියෙනවා."

සමාගම්වල වැටුප් ගෙවන්න රජය මැදිහත් වීම නරක පූර්වාදර්ශයක් ද?

වතු කම්කුරුවන්හට රජය මැදිහත්ව දීමනා ලබා දීම සිදු කරනු ලබන්නේ මහජන මුදල් යොදා ගනිමිනි. ඒ අනුව වතු කම්කරුවන්ට රජය විසින් ගෙවනු ලබන දීමනාව මෙරට සියලු ජනතාවගේ කර මත පැටවේ.

ඒ අනුව, ලාභ ලබන පෞද්ගලික සමාගම්වලට අයත් සේවකයන්හට වැටුප් හෝ දීමනා ගෙවීමට රජය මැදිහත් වීම නරක පූර්වාදර්ශයක් වනු ඇති බව වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාස් අවධාරණය කළේ ය.

"මේක නරක පූර්වාදර්ශයක් වෙයි. මොක ද ලාභයක් ගන්න ව්‍යාපාරිකයෝ කරන්න ඕන දේ ආණ්ඩුව කරල හරියන්නෙ නෑ. දැන් ගාමන්ට් එකක වැඩ කරන අයට ආණ්ඩුවෙන් ගෙව්වොත් මොක ද වෙන්නේ, ආණ්ඩුව කළ යුත්තේ ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා මෙහෙම කරන්න ඕනේ කියලා එහෙම කළේ නැතිනම් වතු ආණ්ඩුවට පවරා ගන්න එක. මොකද මේ වතු අයිති ආණ්ඩුවටනේ, සමාගම්වලට බදු දීලා තියෙන්නේ."

විධායක අධ්‍යක්ෂවරයා එලෙස පැවසුව ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න දක්වන්නේ ඊට පරස්පර අදහසකි.

"දරිද්‍රතාවයෙන් පෙළෙන, විශාල සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවකින් පෙළෙන වතුකරයේ ලයින්වල ජීවත්වෙන කම්කරු ජනතාවට සහනයක් ලබා දීම අපි හිතන්නේ නැහැ නරක පූර්වාදර්ශයක් කියලා. ඒක හොඳ පූර්වාදර්ශයක් හැටියට තමයි ගන්න ඕනකම තියෙන්නේ. සමාගම් පැත්තෙනුත් තියෙන දුෂ්කරතා සලකලා අපි ගත්තොත් රජය අංශයේ ජනවසම හරි රාජ්‍ය වැවිලි සංස්ථාව හරි ඒවා රජයෙන්නේ කරන්නේ. ඒවා ගත්තා ම පාඩු ලබන තත්ත්වයේ තියෙන්නේ. අර්ථසාධක ගෙවන්න රජය මේ සැරේ විශාල මුදලක් ඒවාට දානව‍ා පහුගිය ඉතිහාසෙ ම කරපුවා ගෙවන්න. ඒ අනුව බලනකොට අපිට පේනවා මේ වැවිලි සමාගම් මේ වෙලාවේ යම් අපහසුකම් ප්‍රමාණයක සිටිනවා. 2024 මුල එයාලා වැටුප් වැඩි කළා නේ රුපියල් 1,350ට ගෙනාවා. ඉතින් අපි 200ක බරක් ඒ කට්ටියට දුන්නා. ඒ වගේ ම වතු කම්කරු ජනතාව මුහුණ දෙන ආර්ථික සමාජ ප්‍රශ්න සලකලා රජයත් ඔවුන්ට දීමනාවක් දෙන්න තීන්දු කළා," යැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

'අපි ජනවාරි ඉඳලා පොරොන්දු වුණ ගාණ ගෙවනවා' - වතු හාම්පුතුන්

රජය සමග ඇති කර ගන්නා ලද එකඟතාව පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සිදුකරන බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය බීබීසි සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේ ය.

"රජය අපිත් එක්ක සාකච්ඡා කිහිපයක් කළා. අපි 1,550 ගෙවන්න එකඟ වුණා… තව MOU එකක් තියෙනවා ඒක දැනට කතා කරගෙන යනවා තාම ඉවර නැහැ. ඉතින් අපි ජනවාරි ඉඳලා පොරොන්දු වුණ ගාණ ගෙවනවා. කවදාවත් අපි පොරොන්දු වුණ ගාණ නොගවා ඉඳලා නෑනේ," එම සංගමයේ රොෂාන් රාජතුරෙයි කියා සිටියේ ය.

ඒ අනුව වතු සමාගම් විසින් රු. 1,550ක් මෙන් ම රජය විසින් ලබා දෙන රු.200ක මුදල සහිත වැටුප් වැඩි වීම ජනවාරි මාසයේ සිට වතු කම්කරුවන් වෙත ලැබීමට නියමිතව ඇත.

'ලාභ ලබන වතු සමාගම් සේවකයින්ට බදු මුදල්වලින් රජය පඩි ගෙවන්නේ ඇයි?'

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය සහනාධාර සැපයීම නොකළ යුතුව තිබූ දෙයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

"රුපියල් 200ක දිරි දීමනාවක් කියලා වතු කම්කරුවන්ට ලබා දෙන්න දින 14කට තමයි වෙන් කරලා තියෙන්නේ මිලියන 5,000ක්. මේක සරලව ම කිව්වොත් සහනාධාරයක්, මේ විදියට රජය කටයුතු කළා ම සිද්ධ වෙන එක කාරණයක් තමයි මෙවැනි සහනාධාර දිගින් දිගට ම පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා දිනෙන් දින වැඩි මුදලක් ඒ සඳහා යොදවන්න වෙනවා. දින 14කට දීලා තියෙන්නේ මේ අවුරුද්දේ ලබන අවුරුද්ද වෙනකොට දින 25ක්ට 28කට දෙන්න වෙනවා. එතකොට දැන් මිලියන 5,000යි නම් යන්නේ මිලියන 10,000ක් යනවා ඒ විදියට ගියා ම. අලුත් සහනාධාර ක්‍රම ආරම්භ කිරීම නෙමෙයි රජය කරන්න ඕනේ. සහනාධාර දිය යුතුයි කියලා කල්පනා කරන පිරිස හඳුනාගෙන ඒ අයට තමයි යම්කිසි කාල පරිච්ජේදයකට අදාළ සහනාධාර දෙන්න ඕනේ. ඉන්පසුව ඒ පිරිස ඉන් එළියට ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඒ මූලික මූලධර්මයට පරිබාහිරව තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ."

මෙය සේවකයන්ට ලබා දුන් සහනාධාරයක් වුව ද මෙහි ප්‍රතිලාභ භුක්ති විඳිනු ලබන්නේ ලාභ ලබන වතු සමාගම් බව මහාචාර්යවරයා අවධාරණය කළේ ය.

"රජයේ වත්කම් විදියට තියෙන වතු භාවිත කරලා අවසානයේදී ලාභ ලබන ආයතන තමයි මේකෙන් ප්‍රතිලාභ ලබන්නේ. සමාන්‍ය මිනිසුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට පවා බදු ගහලා එකතු කරන වැට් බද්දෙන් රජය ඒ වැට් බද්ද එකතු කරලා මහා පරිමාණ සමාගම්වලට ගෙවන එක තමයි කරන්නේ. ඒක කොතෙක් දුරට සාධාරණීකරණය කරන්න පුළුවන් ද?."

"මහා පරිමාණ වතු හිමියන්ට දැන් හැකියාව ලැබිලා තියෙනවා වැටුප් ගෙවීමට අදාළව රජය පාර්ශවකරුවෙක් බවට පත් කරන්න. මේකෙන් ඇති වන ප්‍රතිඵලය තමයි මින් පස්සේ වතු කම්කරුවෝ වැටුප් සඳහා කරන ඉල්ලීම්වලදී රජයට තමයි මූලික වශයෙන් අදාළ තෙරපුම එල්ල කරන්නේ, වතු සමාගමුත් පෙළඹෙනවා වතු කම්කරුවන් හරහා රජයට බලපෑම් කරන්න රජයේ පංගුව වැඩි කරන්න," රජය ගත් තීරණය ගැන අදහස් පළ කරමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ ය.

වැටුප් වැඩි කිරීමට රජය මැදිහත්වීම තුළ ඉන් ඉවත් වීමට රජයට හැකියාවක් නොමැති බවත් දේශපාලන වශයෙන් ද මෙම ක්‍රමය පවත්වාගෙන යාමට සිදුවන බව ද මහාචාර්යවරයා පැවසීය.

"මේ සමීකරණයට රජය මැදිහත් වුණා ම මේ සමීකරණයෙන් කවදාවත් ඉවත් වෙන්න රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එක පැත්තකින් ඉවත් වෙන්න කිසි ම දේශපාලන පක්ෂයක් කැමති වෙන්නෙත් නැහැ, දේශපාලකයන් මේක විවේචනය කරන්නෙත් නැහැ මේ වැරදි පූර්වාදර්ශය. හේතුව ඔවුන් තමන්ගේ ඡන්ද කොටස අහිමි වෙයි කියන එක උඩ සෑම විට ම මෙවැනි සහනාධාර ක්‍රම පවත්වාගෙන යාම, තවදුරටත් වැඩි වර්ධනය කිරීමට ඔවුන් පෙළඹෙනවා. මේක රජය නොකළ යුතුව තිබුණ දෙයක්. පෞද්ගලික අංශයේ වැඩ කරන පිරිසකගේ වැටුප් ගෙවීමට රජය වත්තක්වත් දැකලා නැති සමාන්‍ය මිනිස්සුන්ගේ බදුවලින් එකතු කරලා මේ විදයට මුදල් දෙන්න ගියා ම ඇති වන දේ තමයි; පිරිසක් නඩත්තු කරන්න වෙනවා දිගින් දිගට ම. මේ විදියට නඩත්තු කරන්නේ මහා පරිමාණ ලාභ ලබන වතු."

"ලංකාවේ තියෙන දෙයක් තමයි සහනාධාරයක් දීපුවා ම ඉන් ඉවත් වීමේ හැකියාවක් නෑනේ. හාල් සේරුව දීලා පටන් ගත්ත ගමන අද මේ අස්වැසුම හා අනිකුත් විදියේ විශාල බරක් වෙලා තියෙනවානේ," මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.