වතු කම්කරුවන් ගැන කම්කරු විනිශ්චය සභාව දුන් නිර්දේශ ක්‍රියාත්මක වෙයි ද ?
මෙරට වතු කම්කරුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කැඳවූ කම්කරු විනිශ්චය සභාව ( ජුනි 08 වෙනිදා) සිය නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
විශ්‍රාමික විනිසුරුවරුන් වන ශිරාණි තිලකවර්ධන, ඉන්දියානු විනිසුරු A.P. ෂා සහ නේපාල විනිසුරු P.K. ඔජාහ් මෙම කම්කරු සභාවේ විනිසුරුවරු ලෙස කටයුතු කළහ.
මොකද්ද මේ විනිශ්චය සභාව ?
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ලංකා කම්කරු රතුකොඩි සංගමයේ මහ ලේකම් සිවසුබ්‍රමනියම් ආනන්දී දෙවේන්ද්‍ර කුමාරී කියා සිටියේ මෙම කම්කරු විනිශ්චය සභාව සිය සංගමය විසින් සංවිධාන කළ බව ය.
එමෙන්ම ඊට සහභාගි වන ලෙස කම්කරු අමාත්‍යාංශයටත්, කම්කරු දෙපාර්තමේන්තුවටත් නිල වශයෙන් ආරාධනා කළ බව ඇය පැවසුවාය.
කෙසේ නමුත් ජාත්‍යන්තර කම්කරු සංගමයේ රැස්වීම් මාලාවකට සහභාගිවීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විදෙස් ගතව ඇති බවට දැනුම් දී තිබුණු බවද ඇය සඳහන් කළාය.
එමෙන්ම වතු හාම්පුතුන්ට ද නිල ආරාධනාවක් කර තිබුණද ඔවුන් ඊට ප්‍රතිචාර නොදැක්වූ බව ලංකා කම්කරු රතුකොඩි සංගමය පැවසීය.
කම්කරුවන් මුහුණ දෙන ගැටළු ගැන කරුණු කියයි
වසර 200ක ඉතිහාසයකට හිමිකම් කියන මෙරට වතු කම්කරුවන් මෙතෙක් විසඳුම් නොලැබුණු ගැටළු රැසකට මුහුණ දෙන බව විනිශ්චය සභාව හමුවේ අදහස් ප්‍රකාශ කරමින් කම්කරුවන් සාක්ෂි දෙනුලැබීය.
එලෙස සාක්ෂි දෙනු ලැබූ සේවකයින් රැසක් සිය රැකියාව පිළිබඳ බියෙන් පසුවන බවත්, ඔවුන් ජීවත් වන වතු නිවාස ආශ්‍රිතව පවතින පොදු පහසුකම් නොමැතිවීම, දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමේ පහසුකම් නොමැතිවීම වැනි ගැටළු මෙන්ම වතු ආශ්‍රිතව රැකියාවේ නිරත වන විට පානීය ජල මෙන්ම වැසිකිලි පහසුකම් නොමැති වීම ගැන ද ඔවුහූ කරුණු දැක්වූහ.
වසර ගණනාවක් වතු කම්කරු සේවිකාවක ලෙස සේවය කරන කාන්තාවක් කම්කරු විනිසුරු සභාව හමුවේ පවසා සිටියේ ලයිම් කාමර 10ක ජීවත් වන පිරිස් සඳහා භාවිත කිරීමට ඇත්තේ එක් වැසිකිලියක් පමණක් බවත් කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට නෑමට හෝ අවශ්‍ය පහසුකම් නොමැති බවය.
එමෙන්ම රැකියාවේ නිරත වන අවස්ථාවන් වලදී උරගයින්, දෙබරුන් සහ කඳුකර කොටියන් ගෙන් එල්ල වන තර්ජන පිළිබඳව ද ඔවුන් එහිදී සිය අදහස් දක්වනු ලැබීය.
එමෙන්ම දෛනිකව ලබා දෙන ලෙස නියම කර තිබෙන රුපියල් දහසක වැටුප ද නිසි ලෙස හිමිනොවන බවත් වතු හාම්පුතුන් විසින් පනවා ඇති කොන්දේසි මෙන්ම ඇතැම් අවස්ථාවලදී කම්කරුවන්ට මුහුණ පෑමට සිදුවන හිංසන පිළිබඳව ද වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති 3ක සේවක සේවිකාවන් විනිශ්චය සභාව හමුවේ අදහස් දක්වන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
‘සාක්ෂි ඇසීමෙන් අප තිගැස්සිමකට ලක්වුණා’
මෙරට තේ සහ රබර් වතු ආශ්‍රිතව සේවය කරනු ලබන කම්කරුවන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ට ලබා දී තිබෙන පහසුකම් සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සිය නිගමනයන් සහ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය.
සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ වතු කම්කරුවන්ගේ හද කම්පා කරවන සාක්ෂි ඇසීමෙන් තම සිත් තිගැස්සීමට ලක්ව ඇති බවය.
කම්කරුවන් මුහුණ දෙන ගැටළු වලට ප්‍රධාන හේතුව දෛනික වැටුප බවට නිරීක්ෂණය වූ බව විනිසුරු මඩුල්ල මෙහිදී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විනිසුරු මඩුල්ලේ නිගමනයන් සහ නිර්දේශ මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වතු කම්කරුවන් ලබන්නේ අවම වැටුපක් බවත්, අතිශය මන්දගාමී වැටුප් වැඩි වීමේ ප්‍රගතිය සහ වැටුප් වැඩි වීම් ක්‍රියාත්මක නොකිරීම පැහැදිලිවම පෙනෙන්නට ඇති බවත් විනිශ්චය සභාවේ නිගමනය විය.
මේ හේතුවෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් විය යුතු බවටත් එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ඇතුළු සියලු පාර්ශවයන් ප්‍රමාදයකින් තොරව සියළු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් විනිශ්චය සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම වතු කම්කරුවන්ගේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ජීවන වියදම සමාලෝචනය කොට මුලික ජීවනෝපාය වැටුපක් තීරණය කිරීම සඳහා කාන්තා කම්කරුවන් ද ඇතුළුව, සේවා යෝජකයින් සහ ක්ෂෙත්‍රයේ ප්‍රවීණයින් ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කළ යුතු බවටද නිර්දේශ කෙරුණි.
සේවක අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ද මෙහිදී නිර්දේශ ඉදිරිපත් කෙරුණි.
ඉන් එක් ප්‍රධාන කරුණක් වුයේ සාමුහික ගිවිසුම්වල කාලසීමාව ආරක්ෂා කිරීම ය.
සාමූහික ගිවිසුම්වල පාරිශුද්ධභාවය ආරක්ෂා කිරීම සඳහා සහ පාර්ශවයන් අත්තනෝමතික ලෙස එවැනි ගිවිසුම් අවලංගු කිරීම වැළැක්වීම සඳහා රජය විසින් නීති / රීති ගෙන ආ යුතු බවට ද නිර්දේශ කෙරුණි.
දිගු කාලීන සාකච්ඡා අවශ්‍ය වන සහ කම්කරුවන්ගේ ජීවිතයේ සෑම අංශයකටම බලපාන සාමූහික ගිවිසුම් කැමැත්තෙන් අවසන් කළ නොහැකි බවද විනිසුරු මඩුල්ල විසින් ඉදිරිපත් කළ නිර්දේශ අතරට ඇතුළත්ය.
තේ සහ රබර් වතු කම්කරුවන්ට විශේෂීත වන සේවා කොන්දේසි සඳහා අවම ප්‍රමිතීන් රජය විසින් නියම කරන ලෙසට ඉදිරිපත් කළ නිර්දේශ අතරට ශිෂ්ට සම්පන්න වැඩ කරන වේලාවන්, විවේකය සහ ආහාර වේල් සඳහා කාල පරතරයන්, ආරක්ෂිත සනීපාරක්ෂාව සහ ආහාර පරිභෝජනය සඳහා පහසුකම්, පිරිසිදු පානීය ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර සැපයීම ද ඇතුළත් විය.
එමෙන්ම වතුකරයේ කාන්තා ශ්‍රමිකයින්ගේ ප්‍රමුඛතාවය සැලකිල්ලට ගෙන, සේවා කොන්දේසි ආරක්ෂාව, මාසික ඔසප් සනීපාරක්ෂාව සඳහාවන අවශ්‍යතා, විවේක කාලය සහ නව මව්වරුන්ට මව්කිරි දීම සඳහා පහසුකම්, ළදරුවන් පෝෂණය කිරීම සහ ළමා නිවාස පහසුකම් ආදිය ගැන කටයුතු කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
සියලුම දීමනා ඇතුළුව සම්පුර්ණ වැටුප මත ගණනය කරන ලද පශ්චාත් විශ්‍රාම ප්‍රතිලාභ (ETF, EPF,පාරිතෝෂිත) සියලුම වතු කම්කරුවන්ට ලැබිය යුතුය යනුවෙන් ද විනිසුරු මඩුල්ල සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
විශේෂයෙන් රසායනික ද්‍රව්‍ය සමග කටයුතු කිරීමේදී කම්කරුවන්ට අත්වැසුම්, බූට් සපත්තු, ආරක්ෂිත ඇස් කණ්ණාඩි, මුහුණු ආවරණ වැනි පෞද්ගලික ආරක්ෂක ආම්පන්න ලබා දිය යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් කර ඇත.
අවම වැටුප, නීති විරෝධී ලෙස සේවයෙන් පහකිරීමෙන් ආරක්ෂා වීම, සේවා ස්ථානයකදී සිදුවන තුවාල සඳහා වන්දි, විශ්‍රාම ප්‍රතිලාභ වැනි ව්‍යස්ථාපිත අයිතිවාසිකම් අහිමි කිරීම, වතුකම්කරුවන් අනියම් කිරීම / විධිමත් කිරීම වැළැක්වීම සහ අධෛර්යමත් කිරීම සඳහා රජය විසින් නීති රීති ගෙන ඒමට ද නිර්දේශ ඉදිරිපත් කෙරුණි.
වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට නව සහ වෙනම නීතියක් ගෙන ඒමට රජය කටයුතු කළ යුතු බව ද විනිශ්චය සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අතර විය.
‘මේ තීන්දුවෙන් අපිට සතුටක් තියෙනවා’
කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව සිටි වතු කම්කරුවන්ට කම්කරු විනිශ්චය සභාව විසින් ලබා දුන් තීන්දුව බලපොරොත්තුවක් ගෙන දුන් බව ලංකා කම්කරු රතුකොඩි සංගමයේ මහ ලේකම් සිවසුබ්‍රමනියම් ආනන්දී දේව්න්ද්‍ර කුමාරී පැවසුවාය.
"අද විනිශ්චය සභාවෙන් දුන් මේ තීන්දුවවෙන් අපිට සතුටක් තියෙනවා."
"මොකද බලාපොරොත්තුවක් නැතිව හිටපු කෙනෙක්ට මේක පොඩි හෝ බලාපොරොත්තුවක් ගෙන දුන්නා වගේ හැඟීමක් තියෙන්නේ."
"යම් තීන්දුවක් ලැබිලා තියෙනවා, නමුත් ඒක කොලයකට පමණයි සීමා වෙලා තියෙන්නේ."
"ඒ කියපු කාරණාව කම්කරුවන් හැටියට අපි සම්පුර්ණයෙන් භුක්ති විදින කොට තමයි අපිට ඒ සතුට ලබා ගන්න පුළුවන් වෙන්නේ."
"පඩිය වැඩි කරනවා කියන එක කම්කරුවන්ගේ අයිතියක්. අපි මේ හිඟමන් නෙමෙයි නේ ඉල්ලන්නේ. අපේ අයිතිවාසිකම් ඉල්ලන්නේ."
"අපි මේ විනිසුරු සභාවේ තීරණයෙන් පස්සේ ඒක ඉටුකර ගන්නකම් සටන් කරනවා." මාධ්‍ය හමුවේදී ඇය පැවසුවාය.














