ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම්: ජීවිතයෙන් වන්දි ගෙවූ විරුවන් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙවර කම්කරු දිනයේ දී කැපීපෙනෙන සිදුවීමක් වූයේ වසර ගණනාවක සිට වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දැමීමේ යෝජනාවට ධනාත්මක පිළිතුරක් හිමිවීම ය. මැයි 01 වැනිදා ජනාධිපතිවරයා විසින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් කොටගලදී සංවිධානය කළ කම්කරු රැළියට සහභාගිවෙමින් ප්‍රකාශ කළේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ දමන බව ය. ඊට අදාල ගැසට් පත්‍රය ද එදින ම නිකුත් කරන ලදි.
මෙම වතුකම්කරු ඉල්ලීම් ඇතුළුව ශ්‍රී ලංකවේ කම්කරුවන්ගේ ඉල්ලීම් ඈත අතීතයේ පටන් ඔවුන් දිනාගත් අයුරු සනිටුහන් වන මංසන්ධි ගණනාවක් ඉතිහාසය පිරික්සීමේ දී අපට දැකගත හැකි ය.
ඇතැම් කම්කරුවන් සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් පවත්වන ලද ශ්‍රී ලංකාවේ මැයි රැළි වල ඉතිහාසය සම්බන්ධයෙන් බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.
ශ්‍රී ලංකාවේ මුල් ම මැයි සැමරුම
1890 සිට ලන්ඩනයේ කම්කරුවෝ මැයි දින සමරුව ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ පළමු මැයි රැලිය පවත්වනු ලැබුවේ 1933 වසරේදී ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නිර්මාතෘ ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන්ය. එම රැලිය කොළඹ ගාලු මුවදොරින් ආරම්භ වී වික්ටෝරියා (විහාරමහා දේවි) දක්වා ගමන් කර එහිදී රැස්වීම පවත්වා තිබේ. එහි සටන් පාඨය වූයේ “රාජපාක්ෂික වෙමු” යන්නයි.
1934 මැයි 01 දින දී වාමාංශික කම්කරු සමිති පහක් කොළඹ නගරයේ රැස්වීමක් පැවැත්වූ අතර, ඔවුන් 1935 දී මැයි දිනය දා කොළඹ ප්‍රයිස් පාක් පිටියේ සිට පෙළපාලියක් ගොස් නැවත ප්‍රයිස්පාක් පිටියටම පැමිණ තිබේ. එහි සටන් පාඨ අතර “බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය භංග වේවා!,” යන්න ප්‍රධාන සටන් පාඨයක් වී තිබේ. එය අධිරාජ්‍යවාදයට එරෙහි පළමු කම්කරු දින සටන් පාඨය ලෙස සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES
මෙම කාලවකවානුව වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ වෘත්තීය සමිති ගොඩනැගී තිබූ අතර, ඔවුන් වැඩවර්ජන හා අරගල දියත් කරමින් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට උත්සහ කළ හ. මුද්‍රණ කරුවන්ගේ වර්ජනය, කරත්තකරුවන්ගේ වර්ජනය, රෙදි මෝල් වර්ජනය යනු ප්‍රසිද්ධ වැඩවර්ජන කිහිපයකි.
පොලිස් වෙඩි පහරකින් පළමුව මිය ගිය කම්කරුවා ලෙස සැලකෙන්නේ වතු කම්කරුවෙකු වූ ගෝවින්දන් ය. ඒ 1940 ජනවාරි 12 වන දා මුල්ඔය වතුකම්කරු සටනේ දී ය. මෙලෙස විවිධ වැඩවර්ජන, මර්දන සටන් හමුවේ අදවනතෙක් ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ඉදිරියට පැමිණ තිබේ.
මැයි දින ඉතිහාසයේ විශේෂ සිදුවීම්
මැයි දිනයට වැදගත්කමක් දෙමින් එය මෙරට රජයේ නිවාඩුවක් බවට පළමුව පත් කළේ 1956දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ රජයයි. හිටපු කම්කරු අමාත්‍ය ටී. බී. ඉලංගරත්න විසින් එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙරට ඉතිහාසයේ පළමු වරට මැයි දින සැමරුමක් නොපවත්වනු ලැබුවේ 1971 වසරේදීය. ඒ 1971 වසරේ ඇතිවූ අප්‍රේල් කැරැල්ල හේතුවෙන් රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ය.
1987 වසරේ අප්‍රේල් මාසයේදී එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් ඇතුළු සිදුවීම් කිහිපයක් නිසා එම වසරේ ද මැයි දින සැමරුම් තහනම් කරන ලදී. මැයි දින සැමරුම් මැයි මස 22 වෙනිදා දක්වා කල් තබන ලෙස ඉල්ලීම් කරනු ලැබීය.කෙසේ වුවත් රජයේ එම මැයි දින තහනම බිඳගෙන මැයි රැලියක් සහ පෙළපාළියක් පැවැත්වීමට මව්බිම සුරැකීමේ ව්‍යාපාරය තීරණය කළේය. ඒ අනුව නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මැයි දින සැමරුමෙන් පසු පැවැත්වූ විරෝධතා පෙළ පාලියට පොලිසිය විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ කිත්සිරි මෙවන් රණවක සහ කම්කරුවෙකු වූ ආනන්දලාල් කිරිබත්ගොඩ ජීවිතක්ෂයට පත්වූහ.
1993 වසරේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට ආමර් වීදියේදී එල්ලවූ එල්.ටි.ටි.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ජීවිතක්ෂයට පත්විය.
එල්.ටි.ටි.ඊ. සංවිධානයේ තර්ජනයන් හේතුවෙන් 2006 වසරේ මැයි දින පෙලපාලි නොපවත්වන ලෙස සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන ලදී. නමුත් ලංකා සම සමාජ පක්ෂය රැළියක් පැවැත්වූ අතර එයට පොලිස් ප්‍රහාරයක් එල්ල විය.
2018 වසරේදී මැයි සැමරුම මැයි 1 වැනිදා නොව මැයි 7 වැනිදා පවත්වනු ලැබුවේ ඒ වසරේදී වෙසක් පොහොය අප්‍රේල් 29 වැනිදාට යෙදී තිබීම නිසාය.
2019 වසරේ අප්‍රේල් 21 එල්ල වූ පාස්කු ප්‍රහාරය නිසා එම වසරේ මැයි දින පෙළපාලි සහ රැස්වීම් නොපැවැත්වුණි.
කොවිඩ් -19 වසංගතය නිසා 2020, 2021 යන දෙවසර තුළදී මෙරට මැයි දින පෙළපාලි සහ රැස්වීම් නොපැවැත්වීමට තීරණය කෙරුණි.

ඡායාරූප මූලාශ්‍රය, DAILY FT
ප්‍රධාන පක්ෂවල මැයි රැළි
මහජන එක්සත් පෙරමුණ තුළ සන්ධාන ගතව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1987 තහනම් වූ මැයි දින පෙළපාලියට ද සහය ලබා දී ඇත. එතැන් පටන් ඔවුන්ගේ සන්ධාන සමඟ මැයි දින සැමරීම සිදු කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය ද සෑම වසරකම පාහේ මැයි දින රැලි පැවැත්වීම සිදු කරන අතර 1993 මැයි රැලිය පැවති ආමර් වීදියේදී එල්ලවූ එල්.ටි.ටි.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ජිවිතක්ෂයට පත්වීම සුවිශේෂී සිදුවීමකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකමුතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවුයේ 2004 වර්ෂයේ දිය. 2005 වසරේ දී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි පෙළපාලිය බොරැල්ල කැම්බල් පිටියේ සිට ගාලු මුවදොර ක්‍රීඩාංගණය දක්වා ගමන් කරනු ලැබිය. ඔවුන්ගේ මැයි දින සැමරුම පවත්වනු ලැබුවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර ක්‍රීඩා පිටියේදීය.
ඉන් පසුව 2007 වසරේ සිට 2014 වසර දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි දින පෙළපාලි සහ රැස්වීම් පවත්වනු ලැබීය. කෙසේ වුවද 2015 වසරේ ජනවාරි මස 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලනික වශයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකට බෙදුණු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම නියෝජනය කරන පාර්ශවය සිය මැයි දින රැළිය කිරුළපන ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය.
එමෙන්ම එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය
2015 වසරේ සිය මැයි දින රැළිය පවත්වනු ලැබුවේ කොළඹ හයිඩ් පාක් පිටියේදීය.
2016 නොවැම්බරයේදී ඒකාබද්ධ විපක්ෂය ලෙස බිහිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මැයි දින සැමරුම පවත්වනු ලැබුවේ 2017 වසරේ කොළඹ ගාලුමුවදොර පිටියේදීය. එම පක්ෂයේ දෙවන මැයි දින රැළිය පවත්වනු ලැබුවේ 2018 වසරේ ගාල්ලේ දීය.
කෙසේනමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2022 වසරේදී මැයි දින පෙළපාලියක් නොපවත්වන ලද අතර එම පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් නුගේගොඩදී මැයි දින සැමරුමක් පවත්වන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, WWW.LANKASTANDARD.COM
ජ.වි.පෙ. රතු මැයි රැළියේ ආරම්භය
1977 දී ජනතා විමුක්ති පෙරමුණ පළමු මැයි දින රැස්වීම පැවැත් වූ අතර, 1978 දී පළමු මැයි දින පෙළපාලිය සහ රැලිය පවත්වා ඇත. “රතු මැයි රැළිය” යෙදුම භාවිත වී ඇත්තේ එතැන් සිටයි.ඔවුන් 1978 සිට 1983 දක්වා අඛණ්ඩව මැයි රැළි පවත්වා ඇත. 1983 වසරේ ජූලි මාසයේදී ජනතා විමුක්ති පෙරමුණ තහනමින් පසු එහි අනුගාමී සංවිධානයක් වූ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් 1985 සහ 1986 දී ජවිපෙ නිල නොවන මැයි රැලි නව නගර ශාලාවේදී පවත්වන ලදි. 1987 තහනම් මැයි දින පෙළපාලියට ද ජවිපෙ වෘත්තිය සමිති සහභාගි විය.
පක්ෂ තහනමෙන් පසුව ප්‍රතිසංවිධාන කටයුතු කිරීමෙන් පසුව පළමු වරට නැවත ජවිපෙ මැයි රැළියක් පවත්වන්නේ 1995 වසරේදී ය. 2004 දී ජවිපෙ වෙනම මැයි පෙළපාලියක් පවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ ඒකාබද්ධ මැයි රැළියක් පවත්වා තිබේ. ඔවුන් ජාතික ජන බලවේගය ලෙස පළමු වරට කම්කරු දිනය සැමරුවේ මෙවර ය.
ජ.වි.පෙ. න් වෙන් වුණු පෙ.ස.ප. සැමරුම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2011 සැප්තැම්බර් මාසයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඛණ්ඩනය වූ එම පක්ෂයේ හිටපු සාමාජිකයන් පිරිසක් 2012 අප්‍රේල් මාසයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භ කළ අතර, 2012 මැයි 01 ඔවුන්ගේ පළමු මැයි රැළිය කොටහේනේ දී පවත්වන ලදි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් එවකට පැන නැගී තිබූ ගැටලු නිරාකරණය වී ඔහු පළමුව සහභාගී වූ මැයි රැළිය 2017 රැලියයි.
2018 වෙසක් පොහොය නිසා කම්කරු දින සැමරුම බොහෝ පක්ෂ විසින් නොපැවැත් වූ නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය එදින මැයි දින සැමරුම පවත්වන ලදි. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මැයි දිනය පැවැත්වීම සම්බන්ධ ගැටළුකාරී තත්වයක් තිබිය දී පෙ.ස.ප. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී මැයි දින සැමරුම සිදු කරන ලදි. වසංගත සමයේ 2020 මැයි දින සැමරුම මාර්ගගතව පවත්වා ඇති අතර, 2021 නුගේගොඩ පක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී මැයි දිනය පවත්වා ඇත. ඔවුන් 2012 සිට මේ දක්වා අඛණ්ඩව මැයි රැළි පවත්වා තිබේ.












