තඹුත්තේගම දුම්රියපොළේ ශක්‍යතා අධ්‍යයනක් වෙනුවෙන් රු. මිලියන 100ක් වෙන් කළේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Thambuttegama Api
ජාතික ජන බලවේග ආණ්ඩුව බලය ලබා ගැනීමට දුන් පොරොන්දු අතර මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පියවර ගැනීම ප්‍රධානතම පොරොන්දුවකි.
එහි එක් පියවරක් ලෙස දුම්රිය යොදා ගනිමින් කෘෂිකර්ම නිෂ්පාදන බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සිය ප්‍රථම අයවැයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
"අධික පිරිවැය, ප්‍රවාහනයේදී පසු අස්වනු හානිය, මාර්ග තදබදය සහ පාරිසරික ගැටලු හේතුවෙන් මාර්ග ජාලය හරහා කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී. මෙයට පිළියමක් ලෙස, කෘෂිකර්මික නිෂ්පාදන එම නිෂ්පාදන මධ්‍යස්ථානවල සිට ගමනාන්ත දක්වා ඒ සඳහා ම විශේෂිත වූ දුම්රිය පාදක කර ගත් ප්‍රවාහනයක් හඳුන්වා දීමට අප යෝජනා කරනවා," යනුවෙන් 2025 අයවැය කතාවේදී ජනාධිපතිවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake | Facebook
ජනපතිගේ ගමින් ආරම්භ කරන්නේ ඇයි?
මෙහි නියමු ව්‍යාපෘතිය තඹුත්තේගම දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට යෝජනා වී ඇති අතර එහි මූලික පියවර වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කෙරිණි.
තඹුත්තේගම දුම්රිය ස්ථානය මේ සඳහා තෝරා ගනු ලැබුවේ, එය මෙරට ආර්ථික මධ්‍යස්ථානයක් ආසන්නයේ පිහිටි එක ම දුම්රියපොළ නිසා බවට ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී සඳහන් කළේ ය.
එමෙන් ම එම දුම්රිය ස්ථානය සමග ඇති අතීත මතක ද ඔහු සිහිපත් කළේ ය.
"තඹුත්තේගම දුම්රිය ස්ථානය එක්ක මට ඉතිහාසගත බැඳීමකුත් තියෙනවා, ඒකත් මට මේ වෙලාවේ සිහිපත් වෙනවා."
"මගේ නිවසේ ලිපිනය බවට පත්වෙලා තිබුණේ, කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල අපේ ගෙදර. නල්ලච්චිය, තඹුත්තේගම. ඒ නිසා සම්බන්ධයක් තියෙනවා," යැයි ජනාධිපතිවරයා පැවසීය.
දැනටමත් ප්‍රවාහනය කරන කෘෂි නිෂ්පාදන
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නියමු ව්‍යාපෘතිය සඳහා තෝරා ගනු ලැබූ තඹුත්තේගම දුම්රිය ස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳව බීබීසි සිංහල සේවය විමසා බැලූ අතර එහිදී අනාවරණය වූයේ, මේ වන විටත් එම ප්‍රදේශයේ ගොවි ජනයා ඇතැම් කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගන්නා බව ය.
"අපේ දැනට සමාන්‍ය පාර්සල් ප්‍රවාහනය කරන්නේ. එළවළු ප්‍රවාහනය කරන්න ටිකක් අමාරු යි. මොක ද සම්පුර්ණයෙන් ම වහපු පෙට්ටි තියෙන්නේ. එතකොට ඒවායේ එළවළු ප්‍රවාහනය කරන්න අමාරු යි. දැනට හාල්, පොල්, වට්ටක්කා වගේ ඉක්මනට සවුත්තු නොවන දේවල් ප්‍රවාහනය කරනවා," යැයි මෙහෙයුම් භාර දුම්රිය ස්ථානාධිපති එච්.කේ.එම්.ජී. කුමාරසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය.
සතියේ දිනවලදී මගීන් 150කට ආසන්න සංඛ්‍යාවක් තඹුත්තේගම දුම්රිය ස්ථානය භාවිත කරන බව ද ඔහු සඳහන් කළේ ය.
එමෙන් ම දුම්රිය දෙකක් හැර යාපනය සහ කොළඹ බලා යන සියලු දුම්රියවල නැවතුම්පළක් ලෙස එම දුම්රිය ස්ථානය භාවිත වේ.
මෙහෙයුම් භාර ස්ථානාධිපතිවරයා පැවසූ පරිදි එක් මගී වේදිකාවක් පමණක් පැවති දුම්රිය ස්ථානයට මහව - අනුරාධපුර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තවත් එක් මගී වේදිකාවක් ලැබී තිබේ.
අධ්‍යයන වාර්තාව ඉතා ඉක්මනින්
මීට අදාළ අධ්‍යයන වාර්තාව ඉදිරියේදී තමන් වෙත ලැබෙනු ඇති බවත් දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර බීබීසි සිංහල සේවයට පැවසීය.
"මූලික අධ්‍යයන වාර්තා දැනට සකසාගෙන යනවා. ඉතා කඩිනමින් ඒක අමාත්‍යංශයට ඉදිරිපත් කරනවා. මේ මස අවසන් වෙද්දි ඉදිරිපත් කරනවා, ඉදිරි කටයුතු සඳහා," යැයි සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ ය.
භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගැනෙන දුම්රිය
"දුම්රිය සේවය පිහිටලා තියෙන්නේ ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා, නමුත් අද වෙනකොට ඒක 1%ටත් අඩු ගාණක් තමයි තියෙන්නේ. ඒ නිසා දුම්රිය සේවය ප්‍රශස්ත සේවාවක් විදියට දියුණු කරන්න අවශ්‍ය වැඩසටහනක් විදිහට තමයි අපි ඒක හඳුනාගෙන තියෙන්නේ," යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා සඳහන් කළේ ය.
එමෙන් ම දැනට කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයේදී සිදුවන නාස්ති අවම කිරිම, පරිසර දූෂණය, මහමාර්ගයට වැය වන කාලය ඉතිරි කිරීමේ සංකල්පයක් ලෙස දුම්රිය ප්‍රවාහන ක්‍රමය යොදා ගැනීමට කටයුතු කරන බව ද ලේකම්වරයා කියා සිටියේ ය.
ශක්‍යතා අධ්‍යයනයෙන් පසුව හැකි ඉක්මනින් නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගන්නා බව මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා තවදුරටත් පැවසීය.
සලකා බැලිය යුතු කරුණු මොනවා ද?
ගෝලීය වශයෙන් මගී ප්‍රවාහනයෙන් ලාභ නොලබන දුම්රිය සේවය අලාභය අවම කර ගනු ලබන්නේ භාණ්ඩ ප්‍රවාහනයෙන් බව මොරටුව විශ්වවිද්‍යාලයේ, ප්‍රවාහන කළමනාකරණ සහ කාර්ය උපාය ඉංජිනේරු සම්මානිත මහාචාර්ය අමල් කුමාරගේ බීබීසි සිංහල සේවයට පැවසීය.
"යම් තැනක ඉඳලා අනිත් තැනට භාණ්ඩ ගෙන යන එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒක නිශ්චිත වගකීමකින් ගෙනියන්න පුළුවන් ද, නිශ්චිත වෙලාවකින් ගෙනියන්න පුළුවන් වෙයි ද, තත්ත්වය රැකගන්න පුළුවන් වේවි ද, නරක් වෙන දේවල් කලට වේලාවට ගෙනියන්න පුළුවන් වේවි ද?" යන කරුණු සලකා බැලීම වැදගත් බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
එම සේවාවන් ලබා දීමට හැකි වීම හරහා දුම්රිය රටේ වගකිව යුතු නවීන ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්වන බව ද ඔහු සඳහන් කළේ ය.
"මම හිතන්නේ ඒක හොඳ අභියෝගයක්. මූල්‍ය වෙන් කිරීමක් වෙලා තියෙනවා. නමුත් ඒකට අවශ්‍ය පිරිස, ඒකට අවශ්‍ය කළමනාකරණ රාමුව, ඒකට අවශ්‍ය පරිපාලන රාමුව, ඒවගේ ම අවශ්‍ය නීතිමය රාමුව, අනිත් යටිතල පහසුකම් මේවා ඔක්කෝම වෙන්න ඕනේ. මේවා එකක් හරි අඩුවෙන් තිබුණොතින් ඒ සැපයුම් දාම කළමනාකරණය, නැතිනම් සැපයුම් දාමය හරියාකාරව ඉෂ්ට වෙන්නේ නෑ."
නූතන ලෝකයේ මේ සම්බන්ධව විශාල වශයෙන් පර්යේෂණ කර ඇති බවත්, ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා ගනිමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීම හරහා එය සාර්ථක කර ගත හැකි බව ඉංජිනේරු මහාචාර්ය අමල් කුමාරගේ අවධාරණය කළේ ය.














