'කලාපීය සංහිඳියාව වෙනුවෙන්' හරිහරන්ට ගීතයක් හැදූ දර්ශන සහ වත්සලා

Darshana, Hariharan and Wathsala

ඡායාරූප මූලාශ්‍රය, Darshana Ruwan Dissanayake

ඡායාරූප ශීර්ෂ වැකිය, දර්ශන, හරිහරන්, සහ වත්සලා

පොළොන්නරුවේ, පළුගස්දමන නමැති අතිශය දුෂ්කර ගම්මානයේ ඉපිද හැදීවැඩී, එහි ම අධ්‍යාපනය ලබා දුෂ්කර ගමනක් පැමිණි ඔහු මේ වන විට ඉන්දියාවේ රන් හඬ ලෙස සැලකෙන පද්ම ශ්‍රී හරිහරන්ට තනු නිර්මාණය කරයි. එපමණක් නොව හරිහරන් සමග හරි හරියට ගීත ගයයි.

ඒ අන් කිසිවෙකු නොව, මීට දින කිහිපයකට පෙර රට ම දැන සිටි, මේ වන විට ජාත්‍යන්තරයේ ද බොහෝ දෙනෙකු දන්නා දර්ශන රුවන් දිසානායක නම් සංගීතවේදියා ය.

"මම මගේ රටට ආදරෙයි. ඔහු ඔහුගේ රටට ආදරෙයි. අපි දෙන්න ම මේ කලාපයට ත් මේ මුළු ලෝකයට ම ත් ආදරෙයි. ඇත්තට ම ආදරය අපි ළඟ තියෙනවා නම් මිනිස්සු විදිහට කිසි ම ආකාරයේ බෙදීමක් හෝ වෙන්වීමක් අපට තියෙන්න විදිහක් නැහැ. ඉතින් මම මා තුළත් මගේ කලාව තුළත් හැම මොහොතක ම ආදරය ගොඩ නගන්නට වෙහෙස දරමි," මේ දර්ශන රුවන් දිසානායකගේ වදන් ය.

මේ අදහස් දැක්වීමට මුල් වූ හේතුව වන්නේ, දර්ශන සහ හරිහරන් එක්ව ගැයූ 'සංජීවනී' හෙවත් 'කලාපීය සංහිඳියාවේ ගීතය' යි.

දර්ශන රුවන් දිසානායක විසින් තනු සහ සංගීත නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී ගීතය හින්දි බසින් රචනා කරනු ලැබ ඇත්තේ, ශ්‍රී ලාංකික ගේය පද රචිකාවක වන වත්සලා සමරකෝන් විසිනි.

දර්ශනගෙන් දෙමළ චිත්‍රපටයක්

මෙම ගීතය පිළිබඳව දර්ශන රුවන් දිසානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූයේ, එය පටිගත කිරීම සහ එළිදැක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අතරවාරයේ ය.

"මේ ගීතය කරන්න අදහස ආවේ මම කරන දෙමළ චිත්‍රපටයට සමගාමීව යි. පූජියම් (බින්දුව) කියන දෙමළ චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. මේ ගීතය නිර්මාණය කළේ, ඒ චිත්‍රපටය වෙනුවෙන්. මුලින් ගීතය එළිදක්වන්න තීරණය කළා. ඒ අනුව තමයි, මේක සැප්තැම්බර් 28 වෙනි දා එළිදැක්වූවේ."

සිංහල අධ්‍යක්ෂවරයෙකු විසින් නිර්මාණය කරනු ලබන දෙමළ චිත්‍රපටය සඳහා ගැයීමට නියමිත මෙම ගීතය රචනා කර ඇත්තේ හින්දි බසිනි.

"මේ ගීතය හින්දි භාෂාවෙන් කරන්න හිතුවේ, ආසියානු කලාපයේ වැඩි දෙනෙක් කතා කරන භාෂාව හින්දි නිසා. මේ පණිවුඩය කලාපයේ වැඩි දෙනෙක් අතරට ගෙනියන්න අවශ්‍ය වුණ නිසා ඒ තීරණය ගත්තා. චිත්‍රපටය වෙනුවෙන් මේ ගීතය දෙමළ බසින් කරන්න සැලසුම් කරලා තියෙනවා," දර්ශන පැවසීය.

කලාපීය සංහිඳියාවේ ගීතය

විවිධ හේතු සාධක මත කොටස්වලට බෙදී සිටින ආසියානු කලාපයේ ජනතාව අතර සංහිඳියාවක් ඇති කිරීම මෙම ගීතය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූ බව දර්ශන රුවන් දිසානායක පැවසීය.

"ආදරයට පුළුවන් සියලු බෙදීම්, ඒ කියන්නෙ ආගම් අනුව, දුප්පත් පොහොසත්කම් අනුව සහ වෙනත් හේතු අනුව ඇතිවෙලා තියෙන සියලු බෙදීම් නැති කරන්න ආදරයට පුළුවන්. ඒ අදහස තමයි මම වත්සලාට දුන්නේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කලාපයේ රටවල් සියල්ලේ ම ජනතාව අතීතයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මිනිස්සු විදිහටයි මම දකින්නේ. ඒ මිනිස්සු හුස්ම ගත්තේ එකට, දුක් වුණේ එකට, සතුටු වුණේ එකට, ජීවත් වුණේ එකට. ඒත් දැන් අපි රටවල් ඇතුළෙත් විවිධ හේතු නිසා බෙදිලා. මට අවශ්‍ය වුණේ බෙදුණු ජනතාව අතර ආපහු එකමුතුකම ඇති කරන්න. ඒ නිසයි මේ ගීතය කලාපීය සංහිඳියාවේ ගීතය කියලා නම් කළේ."

හරිහරන්ගේ දායකත්වය

මෙම ගීතයේ හින්දි බසින් ගැයෙන පද ගැයෙන්නේ පද්ම ශ්‍රී සම්මානලාභී හරහරන්ගේ හඬිනි.

එපමණක් නොව එම ගීතය පටිගත කෙරෙන්නේ ද, මුම්බායිහි පිහිටි හරිහරන්ගේ ශබ්දාගාරයේ ය.

"මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න ලැබුණු එක ලොකු ගෞරවයක් විදිහටයි මම සලකන්නේ. මේකේ කොටස්කාරයෙක් වෙන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේ ම දර්ශනගේ ඉමිහිරි සංගීතය, තනුව විතරක් නෙවෙයි, වත්සලාගේ පද මාලාවත් ආකර්ෂණීයයි. අපි දෙන්න හදන පණිවුඩය මේ සංගීතය සහ පද මාලාව හරහා සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. මේක අනිවාර්යයෙන් ම හදවත් මිලියන ගණනක් ස්පර්ශ කරන ගීතයක් වෙන බව මට විශ්වාසයි," ගීතය එළිදැක්වූ අවස්ථාවේ හරිහරන් මෙම ගීතය ගැන පළ කළේ එවන් අදහසකි.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

වත්සලා සමරකෝන්ගේ හින්දි ගේය පද

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සුවිශේෂී ගීතයේ හින්දි බසින් ගේය පද රචනා කරනු ලැබූ වත්සලා සමරකෝන්, කැලණිය විශ්වවිද්‍යාලයයේ හින්දි භාෂාව පිළිබඳ උපාධිධාරිණියකි. ‍‍

ඇය, රූපවාහිනී නිවේදිකාවක ලෙස ද කටයුතු කරන්නී ය.

"රූපවාහිනී වැඩසටහනකට ආව වෙලාවක තමයි මට දර්ශන මුණගැහුණේ. මම මුලින් සිංහල සින්දුවලට හින්දි වචන දාලා ගීත ලිව්වා. ඒ ගැන දැන ගත්ත දර්ශන මේ වැඩේ මට භාර දුන්නා. මම ගොඩක් ආසාවෙන් ඒක භාර අරන් උපරිමයෙන් කැප වෙලා ගීතය නිර්මාණය කළා," වත්සලා සමරකෝන් පැවසීය.

ගීතයේ ආරම්භක වචනය ලෙස 'සංජීවනී' යන්න භාවිත කර ඇත්තේ, සංකේතාත්මක අර්ථයකිනි.

"සංජීවනී කියන්නේ රාමායණයට අනුව මරණාසන්නව සිටින අයට‌ ආපහු පණ දෙන්න පුළුවන් බෙහෙත් පැළෑටියක්. බෙදී වෙන්වෙලා මරණාසන්නව ඉන්න ජාතීන්ට යළිත් පණ දෙන්න පුළුවන් කියන අදහස දෙන්නයි මම සංජීවනී කියන සංකේතය පාවිච්චි කළේ."

ලක්ෂ්මන මරණාසන්න තුවාල ලබා සිටිය දී ඔහුට යළි පණදීම සඳහා හනුමාන් ලවා මේරු පර්වතයේ සිට සංජීවනී පැළෑටිය ගෙන්වාගත් බව රාමායණයේ සඳහන් වේ.

"මේ වචනය දැකපු ගමන් හරිහරන් ගොඩක් සතුටු වුණා. එයා මේ පද මාලාව ගැන ගොඩක් අගය කළා. මගේ හතරවන ගීතය හරිහරන් වෙනුවෙන් ලියන්න ලැබුණ එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඇත්තට ම ඒක මගේ හීනයක් හැබෑ වීමක්," වත්සලා වැඩිදුරටත් පැවසීය.