ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇරඹුණේ ඇයි ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණු වන්නේ බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි බෞද්ධ හා පාලි අධ්‍යයන ප්‍රවර්ධනය සහ අදාළ ක්ෂේත්‍රවල පර්යේෂණ පැවැත්වීම සඳහා පහසුකම් සැලසීමයි.
කෙසේවෙතත් මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තරම් අර්බුදයට ලක්වූ වෙනත් විශ්වවිද්‍යාලයක් මෙරට නොමැති තරම්ය.
බටහිර ලෝකයෙහි මහාචාර්යය ධුරයක් හෙබවීමට වරම් ලැබූ මෙරට පළමු භික්ෂුන්වහන්සේ වූ පූජ්‍ය මහාචාර්යය වල්පොළ ශ්‍රී රාහුල නාහිමියන්ගේ මැදිහත්වීම යටතේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භ විය.
දෙස් විදෙස් සිසුන් ඉගෙනුම ලබන මෙම විශ්වවිද්‍යාලයේ ඇතිවූ විවිධ අර්බුද විසඳීම සඳහා විවිධ අමාත්‍යවරුන් යටතේ කමිටුපත් කිරීම්, විමර්ශන කිරීම් හා වාර්තා භාරදීම් සිදුවුයේ මීට වසර ගණනාවකට සිටය.
එහෙත් අර්බුදයට විසඳුමක් ලැබී ඇති ආකාරයක් තවමක් දක්නට නොමැත.
මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ පරමාර්ථය වෙනත් ජාතික විශ්වවිද්‍යාලයක සිදු කරන පරිදි උපාධි පාඨමාලා පිරිනැමීම පමණක් නොවේය.
මෙය ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා ධර්මය ප්‍රචාරය කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත්, ධර්ම අධ්‍යයනය සහ විනය ප්‍රවර්ධනය කිරීම සඳහාත් ආරම්භ කරන ලද ආයතනයකි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය නොවන, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන අනන්‍ය වූ අරමුණක් වෙනුවෙන් පිහිට වූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මෙතරම් අරබුදකාරී තත්ත්වයකට පත්වුයේ කෙසේද?
පරිපාලනයේ ප්‍රශ්න...?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියෝ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මෙම අර්බුදයට හේතුව පරිපාලනයේ පවතින ප්‍රශ්න බවය.
2021 විගණන වාර්තාව අනුව විශ්වවිද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යංශය වෙන් කළ බව කියන මුදල් වලින් භෞතිකව සිදුවු දෙයක් විශ්වවිද්‍යාලය තුළ දක්නට නොමැති බවද උන්වහන්සේ සඳහන් කළහ. “අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන්වුණ මුදල් මෙන්න මේවට වෙන්කළා , මේවට වෙන් කළා කියලා, කියලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාලය ඇතුළේ නැහැ. පරිගණක නැහැ. ඒ කියන මේස නැහැ. වෙන්කරපු මුදල් නැහැ. සංවර්ධන අරමුදලක් හදන්න කියලා තියෙනවා සංවර්ධන අරමුදලක් හදලාවත් නැහැ.”
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පැවිදි මෙන්ම ගිහි සිසූහුද ඉගෙනුම ලබති.
පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සඳහන් කළේ දේශීය සුසුන් බඳවා ගැනීමේ සංඛ්‍යාව අඩු කර විදේශීය ශිෂ්‍යයන් බඳවා ගැනීම වැඩි කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වන බවය.
මුදල්ගෙවා ඉගෙනුම ලබන විදේශීය සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙහි අරමුණ බවද උන්වහන්සේ පැවසූහ.
මෙවැනි ප්‍රශ්න ගැන කතා කරන සිසුන් මර්දනය කිරීමට පරිපාලනය කටයුතු කරන බවද ගල්වැව සිරිධම්ම හිමියෝ සඳහන් කළහ.
“මේක ඇතුළේ ළමයින්ට කරන්න වෙන්නේ හොරකම් කරද්දි සද්ද නැතිව ඉන්න ඕනේ. එහෙම සද්දෙ නැතිව ඉන්නැත්නම් මේකෙන් ධර්මය ප්‍රචාරය වෙන්නේ නැහැ. ප්‍රශ්න කරන්න ගත්තොත් දේශපාලනය කරනවා කියලා කියන්නේ. ප්‍රශ්න කරන්න බැහැ. ප්‍රශ්න කරාම දේශපාලනය කරන්නේ කියලා කියනවා. ඔවුන් කියන්නේ අපි කියන විදිහට පාඩුවේ ඉන්න ඕනේ. හොරකම් කරාට පාඩුවේ ඉන්න ඕනේ කතාවක්නේ ඔය කරන්නේ” ගල්වැව සිරිධම්ම හිමියෝ පැවසූහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ “විශ්වවිද්‍යාල සිසුන් කියන්නේ මොනව හරි දෙයක් ප්‍රශ්න කරන, මොකක් හරි දෙයක් දැක්කම ප්‍රශ්න කරන පිරිසක්. ඒකට තමා එයාලා අකමැති. කට පියාගෙන ඉන්න පිරිසක් තමා ඇත්තටම ඕනේ. දැක්කෙ නැහැ වගේ පාඩුවේ ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ.”

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශපාලන ඇඟිලි ගැසීම්ද ?
මෙම චෝදනා සම්බන්ධයෙන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පුජ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන්ගෙන් බීබීසී සිංහල සේවය විමසා සිටියේය.
“එහෙම අක්‍රමිකතා සිද්ධ වෙලා නැහැ. මුදල් වංචා වෙලා නැහැ. දැන ගන්න හම්බවෙලා නැහැ. එහෙම නැහැ. විගණන අංශයෙන් යම් යම් දේවල් ඉදිරිපත් කරනවා, අපි ඒවට පිළිතුරු දීලා තියෙනවා සාධාරණ විදහට. එහෙම අක්‍රමිකතා කරපු බවක් කොහෙවත් සඳහන් වෙලා නැහැ.” උපකුලපති හිමියෝ පැවසූහ.
උන්වහන්සේ විමසා සිටියේ “ශිෂ්‍යයෝ කියන්නේ මෙහෙ අක්‍රමිකතා ගැන. එතන වෙන අක්‍රමිකතා කොච්චරක්ද?
“ශිෂ්‍යයන්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්නේ නැහැ. නිදහස් වාතාවරණයක් නැහැ. ආපු ශිෂ්‍යයන්ට අඩු ගානේ ඔළුව උස්සලා ඉන්නවත් දෙන්නේ නැහැ.”
මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි සඳහන් කළේ “එවගේ තමයි ඒගොල්ලෝ. එගොල්ලෝ කිසිවරදක් භාර ගන්නේ නැහැ. සේරම වරද ඒගොල්ලෝ දාන්නේ පරිපාලනයට. පරිපාලනයේ කරන වරදක් නැහැ. පරිපාලනයෙන් අපි උපරිම පහසුකම් දීලා තියෙනවා. ශිෂ්‍ය අයිතිවාසිකම් අපි ඛණ්ඩනය කරලා නැහැ.”
උපකුලපති හිමියෝ පෙන්වා දුන්නේ “ශිෂ්‍යයෝ කරන සේරම දේවල් ශිෂ්‍ය සංගම් පුරුදු වෙලා තියෙන්නේ හැම විශ්වවිද්‍යාලයකම ඒක අනිත් අය පිටට දාලා ඒගොල්ලෝ ඇඟ බේර ගන්න එක. ඒක හරි වැරදියි. දේශපාලන මෙහෙයවීමක් කියලායි මම කල්පනා කරන්නේ. දේශපාලන ඇඟිලි ගන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ.” මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.
“බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය , බෞද්ධ හා පාලි කියන නමට අනුවර්ථනය වන විදිහට ගෙනියන්න එපායෑ.”
උපකුලපති හිමියෝ වැඩිදුරටත් පෙන්වා දුන්නේ “ලොකු බලාපොරොත්තුවකින් පිහිටවපු එකක් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න සහ බෞද්ධ දර්ශනය ලෝකයට පෙන්වා දෙන්න. ඒකට ආපු හාමුදුරුවරුන්ට ඒකට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙන්නේ නැතිව බාධා කරනවා නම් ඒක මම හිතන්නේ මහා වරදක්. අපි මේක වෙනම පනතකින් හදලා තියෙන්නේ, මේක නිදහස්ව කරන්න ඕනේ නිසානේ. අනිත් අය දේශපාලනඥයෝ හරි එගොල්ලන්ගේ අතකොළු හරි එහෙම වෙන එක වැරදියි. අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයටවත් බඳවා ගන්නෙත් නැහැ. ඒගොල්ලොත් දන්නවා මේක අනන්‍ය විශ්වවිද්‍යාලයක් කියලා. ඒක තමා අපිත් බලාපොරොත්තු වන්නේ ඒ අනන්‍යව මේකේ පවත්වාගෙන යන්න.”
පළමු වසර සිසුන්ට පමණක් විශ්ව විද්‍යාලය විවෘත වෙයි...!
මාස 02කට අධික කාලයක් වසා දමා තිබූ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පළමු වසර සිසුන් සඳහා පමණක් පෙබරවාරි 27 වැනිදා විවෘත විය.
සිව්වන වසර සිසුන්ගේ විභාග ලබන මස 3 වැනිදා ආරම්භ කිරීමටද නියමිතය.
ඒ අනුව හතර වන වසරේ සිසුන්ට ලබන සතියේ සිට නේවාසික පහසුකම් ලබා දීමටත්, තුන්වන වසර සිසුන්ට අප්‍රේල් මස 17 වැනිදා සිට නේවාසික පහසුකම් ලබා දීමටත්, දෙවැනි වසර සිසුන්ට ජුනි 5 වැනිදා සිට නේවාසික පහසුකම් ලබා දෙන බවත් විශ්වවිද්‍යාලයේ උපකුලපති පුජ්‍ය මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.
මාස 2කට අධික කාලයක් වසා දමා තිබූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන්ට එකවර විවෘත කරන්නැයි ඉල්ලමින් පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රය අසළ ආරම්භ කිරීමට උත්සාහ කළ සත්‍යග්‍රහය අතුරතුර නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
අනතුරුව පෙබරවාරි 23 වැනිදා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යවරයා හමුවී අර්බුදය ගැන සාකච්ඡා කිරීමට උත්සහ කළත් එහිදී කලබලකාරී වාතාවරණයක් උද්ගතවිය.
විනය විරෝධීව කටයුතු කිරීමේ චෝදනා එල්ලවී ඇති සිසුන් 24 දෙනෙකුට එරෙහිව විධිමත් විනය පරීක්ෂණ පැවැත්වෙන බව උපකුලපති හිමිපාණෝ සඳහන් කළහ.
මීට පෙර කරන ලද විනය පරීක්ෂණ වලින් සිසුන් 16 දෙනෙකුට වසරක පන්ති තහනමක් පනවා ඇත.
ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගේ පන්ති තහනම් කිරීම කර ඇත්තේ විශ්වවිද්‍යාල පාලක සභාව මගින් වන අතර පාලක සභාව මගින් ගනු ලබන තීරණ වෙනස් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බලයක් නොමැති බවත් එම තීරණයේ යම් වෙනසක් කරන්නේ නම් එය කළ යුත්තේ පාලක සභාව මගින් බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේය.
එම අමාත්‍යාංශය සඳහන් කළේ තමන්ට ඒ සඳහා කිසි දු මැදිහත්වීමක් කළ නොහැකි බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මූලික පරමාර්ථය උඩු යටිකුරුවෙලා...!
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග බීබීසී සිංහල සමග පැවසුවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවතත් පුජ්‍ය වල්පොල රාහුල හිමිගේ මුල් දවසට රැගෙන යා යුතුව ඇති බවය.
මේවන විට විශ්ව විද්‍යාලය පිහිට වූ මූලික පරමාර්ථය උඩුයටිකුරු වී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
“තරගකාරී උසස් පෙළින් නෙමේයි නේ මේකට බඳවා ගන්නේ. මේක හාමුදුරුවරුන්ට ලැබිලා තියෙන සමාජ වරප්‍රසාදයක්. බුදු දහම ප්‍රචාරය කරන්න. බුදු දහම දීර්ඝව අධ්‍යයනය කරන්න. ලෝක ප්‍රචාරක කටයුුතු සඳහා වැඩම කරන්න. නමුත් දැන් එක නෙමේනේ වෙන්නේ. මූලික පරමාර්ථය උඩු යටිකුරුවෙලා නේ තියෙන්නේ.”
“අපේ ඕනෑම ආයතනයක් අවුරුදු ගාණක් යනකොට පරමාර්ථ ගැලවිලා අමතකවෙලා නැත්තට නැතිවෙලා යනවා.” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
“කුමන තත්ත්වයක් යටතේ වුණාත් ධර්ම දේශනා කරන්න, එහෙම් නැත්නම් ගිහියෝ වන අපි වැඳ නමස්කාර කරන හාමුදුරුවෝ සමාජ සම්මත ක්‍රමයෙන් එළියේ හැසිරෙන්න ගත්තාහම සමාජය මංමුලාවල පැටලෙනවානේ” මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේය.
මෙය යථා තත්ත්වයට පත් කළ හැකි ආකාරය පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය. “අපිට සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ ඒ හාමුදුරුවො යහමගට එමෙන් පමණයි. මම අදටත් විශ්වාස කරනවා බුද්ධ පුත්‍රයෝ වශයෙන් උන්වහන්සේලාට ආදර්ශමත් වෙන්න පුලුවන් ඕනෑම වෙලාවක. හැබැයි ආගමටත් වඩා දේශපාලනය ආවට පස්සේ ඒක අන්තයටකට ඇඳගෙන යන කොට සමහර වෙලාවට නොදැනුවත්වම ඇඳිලා ගිහිල්ලා තියෙන්නේ අපි අගාධවලට.”
විමර්ශන කමිටු වාර්තාවක්....
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආශ්‍රිතව සිදු කළ විමර්ශනයේ කමිටු වාර්තාවක් 2020 දෙසැම්බර් 08 වැනිදා එවකට අධ්‍යාපන අමාත්‍ය ධුරයට දැරූ අමාත්‍ය ජී.එල් පීරිස් වෙත ද පිරිනමා තිබුණි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළ යුතු කරුණු රැසක් එම කමිටු වාර්තාවේ ඇතුළත් කොට ඇත.
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම පත්කිරීම් ආදිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අක්‍රමිකතා සහ චෝදනා සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත්, කමිටුව විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ප්‍රකාරව ඉදිරියේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල විසින් කලින් කළ සංශෝධන විෂයමාලාව විෂයභාර අමාත්‍යාංශයේ පුහුණු අධීක්ෂණය යටතට පත්කොට පනතේ අරමුණු ඉටු වන අයුරින් සංශෝධනය වී ඇත්දැයි සොයාබැලීමට සහ, අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් පසුව එවැන්නක් ක්‍රියාත්මක කිරීමට අවකාශ ලබා දීම ඇතුළු ප්‍රමුඛ කරුණු රැසක් එම කමිටු වාර්තාවේ සඳහන් විය.












