15 දෙනෙකුට මරු කැඳවූ නිව් ඕර්ලන්ස් ප්‍රහාරයකයා ගැන මෙතෙක් දන්නේ මොනවා ද?

Police stand in dark at attack scene in new orleans.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

අලුත් අවුරුදු දිනයේ අලුයම් කාලයේ නිව් ඕර්ලන්ස්හි විශාල පිරිසක් රැස්ව සිටි ස්ථානයකට රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බලධාරීන් පැවසුවේ, තවත් 35 දෙනෙකු තුවාල ලැබූ බව ය.

ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලන්ස්හි අලුත් අවුරුදු දිනයේ අලුයම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ පෙළඹවීමක් ලැබූ බවට සැකකරන පුද්ගලයෙකු විශාල ජනකායක් රැස්ව සිටි ස්ථානයකට රථයක් ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදු විය.

මේ, ඒ පිළිබඳව අප මෙතෙක් දන්නා දේ ය.

ෂම්සුද් දින් ජබ්බර් යනු කවුද?

බදාදා අලුයම් කාලයේ බර්බන් වීදියේ රැස්ව සිටි පිරිසක් හරහා ට්‍රක් රථයක් ධාවනය කළ පුද්ගලයා 42 හැවිරිදි ෂම්සුද් දින් ජබ්බර් ලෙස හඳුනාගෙන තිබේ.

ඇමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය අද අලුයම තහවුරු කළේ, මෙම සිදුවීම "ත්‍රස්තවාදී ක්‍රියාවක්" ලෙස සලකා පරීක්ෂණ පැවැත්වූ බව ය. CBS පුවත් සේවය තහවුරු කළේ, ඔහු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව ය.

නිලධාරීන් එම සිදුවීමට ප්‍රතිචාර දක්වන විට ඔහු ඔවුන්ට වෙඩි තබා ඇති බව පොලිසිය පැවසුවේ ය.

ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ සහකාර නියෝජිත ඇලීතියා ඩන්කන් පැවසුවේ, ප්‍රහාරයට සැකකරුවා පමණක් තනිව වගකිව යුතු බවට නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශ්වාස නොකරන බව ය.

තොරතුරු ඇති ඕනෑ ම අයෙකුට හෝ වාහනයේ සැකකාර රියැදුරා සමග පසුගිය පැය 17 තුළ සම්බන්ධතා පවත්වන්නට ඇති පුද්ගලයින්ට ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය අමතන ලෙස ඇය ඉල්ලා සිටියා ය.

"මේක වේගයෙන් විකාශනය වන අඛණ්ඩ පරීක්ෂණයක්," යැයි ඇය පවසයි.

නියෝජිත ඩන්කන් තහවුරු කළේ, ප්‍රහාරකයා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු බවත්, ඔහු ඉල්ලා අස් වී තිබුණු බවට ඔවුන් විශ්වාස කරන බවත් වන අතර, දැනට එය තහවුරු කළ නොහැක.

ඉදිරිපස දැඩි ලෙස හානි වූ ඔහු සිටි සුදු පැහැති Ford F-150 Lightning රථය, කොන්ටි වීදිය ආසන්නයේ බර්බන් වීදියේ රික්ස් කාබරට් ආයතනය ඉදිරිපිට ඇති ස්ථානය බීබීසී වෙරිෆයි කණ්ඩායම විසින් ස්ථානගත කර ඇත.

නිලධාරීන් පැවසුවේ, රථය කුලී පදනම මත ගත් එකක් බවත් එය සැකකරුට අයත් නොවන බවත් ය.

සිද්ධිය වූ ස්ථානයේ තිබී පිපිරීමට හැකියාවක් ඇති උපකරණ දෙකක් ද සොයාගත් බව පරීක්ෂකයෝ පැවසූහ.

සයිලන්සරයක් ලෙස ක්‍රියා කරන "උපකරණයක්" සහිත දිගු තුවක්කුවක් සොයාගත් බවට CBS වාර්තා කරයි.

සිද්ධිය වූයේ කුමන වෙලාවේ ද?

අලුත් අවුරුදු දිනයේ අලුයම 03.15ට ජබ්බර් ට්‍රක් රථය ගෙන අධික වේගයෙන් නිව් ඕර්ලන්ස්හි ෆ්‍රෙන්ච් ක්වාටර් මධ්‍යයේ බර්බන් වීදියේ විශාල පිරිසක් රැස්ව සිටි ස්ථානයක් වෙත පදවා තිබේ.

පොලීසිය මෙම ක්‍රියාව විස්තර කරන්නේ, "චේනතනාන්විත ක්‍රියාවක්" ලෙස වන අතර, "සංහාරයක් කිරීමට උත්සහ කිරීම සහ ඔහු සිදුකළ හානිය නිසා නිරයේ දොරටුව" අසල සිටින බවට ය.

"මේ පුද්ගලයා ඔහුට පුළුවන් තරම් මිනිස්සු හප්පන්න උත්සහ කරමින් සිටියේ," යයි නිව් ඕර්ලන්ස් පොලිස් ප්‍රධානී ඈන් කර්ක්පැට්‍රික් පැවසුවේ ය.

රියැදුරා නිලධාරීන් දෙදෙනකුට තුවාල කරමින් ඔහුගේ රථයේ සිට වෙඩි තැබී ය. බලධාරීන් පවසන්නේ, ඔවුන් යහපත් තත්ත්වයෙන් පසු වන බව ය.

තුවාල ලැබුවේ කවුද?

පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් අවම වශයෙන් 35 දෙනෙකුවත් තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසුවේ ය. ඔවුන්ගෙන් කිසිවෙකුගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැත.

තුවාල ලැබූවන් ප්‍රතිකාර ලැබීම සඳහා ප්‍රදේශ කිහිපයක රෝහල් වෙත යවා තිබේ.

වින්දිතයන් ප්‍රධාන වශයෙන් ම ලුසියානාහි නිව් ඕර්ලන්ස් නගරයේ ප්‍රදේශ වාසීන් බව පෙනී යන බව පොලිසිය පැවසීය.

එහි සිදුවූයේ කුමක් ද?

ආපන ශාලා, තැබෑරුම් සහ සජීවී සංගීතය සමග සමාජ ශාලාවලින් පිරුණු රාත්‍රී ජීවිතය සඳහා සහ සංචාරක මර්මස්ථානයක් ලෙස බර්බන් වීදිය ප්‍රසිද්ධ ය.

එය සිදුවූයේ විශේෂයෙන් ම නව වසර සැමරීම සඳහා ප්‍රදේශ වාසීන් සහ සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා සජීවී ප්‍රදේශයක් වන නිව් ඕර්ලන්ස්හි ෆ්‍රෙන්ච් ක්වාටර් තුළයි.

එය ප්‍රංශ ජාතිකයින් විසින් 1718දී පිහිටවූ අතර, එකල නිර්මාණය කළ විදීවල මුල් සැලැස්ම නගරයේ සංචාරක ව්‍යාපාරයේ හදවත යි.

සෑම වසරේ ම සාදයට යන අය පැළඳ සිටින වර්ණවත් පබළු නූල් සඳහා එහි ප්‍රසිද්ධ මාඩි ග්‍රාස් සැණකෙළිය සහ වසන්ත පාගමන සඳහා ජනතාව මිලියන ගණනක් පැමිණෙති.

CBS වාර්තාවලට අනුව, නෝත්‍රදාම් සහ ජෝර්ජියා විශ්වවිද්‍යාල පාපන්දු කණ්ඩායම් අතර පවත්වන The Sugar Bowl තරගාවලිය සැලසුම් කර ඇති පරිදි සීසර්ස් සුපර්ඩෝම්හිදී බදාදා රාත්‍රියේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

සිද්ධිය වූ ස්ථානයෙන් සොයාගෙන ඇත්තේ මොනවා ද?

විශේෂ නියෝජිත ඩන්කන් උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තහවුරු කළේ ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය විසින් පරීක්ෂණය තමන් යටතය ගනු ලැබ ඇති බව ය.

"සිදුවෙන්නේ මොකක් ද කියලා අපි තහවුරු කරගන්නා තෙක්," මෙම ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙස ඇය ජනතාවට අවධාරණය කළා ය.

කැනල් සහ ශාන්ත ඈන් වීදිය අතර පිහිටි බර්බන් විදියෙන් ඈත්ව සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

බදාදා සවස් වන විට හැකි ඉක්මනින් බර්බන් වීදියෙන් වින්දිතයින් ඉවත් කිරීම දිගට ම කරගෙන යාමට ප්‍රමුඛතාව දෙන බව නිව් ඕර්ලන්ස් නගරාධිපති ලටෝයා කැන්ට්‍රෙල් පැවසුවේ ය.

The Sugar Bowl තරගාවලියට වෙන්නේ කුමක් ද?

වාර්ෂික ඇමෙරිකානු කොලීජි පාපන්දු තරඟාවලිය වන The Sugar Bowl තරගාවලිය නිව් ඕර්ලන්ස් සිදුවීම නිසා බ්‍රහස්පතින්දා සවස දක්වා කල්තබා තිබේ.

බර්බන් වීදියේ සිදුවීමෙන් වැඩි දුරක් නොමැති සීසර් සුපර්ඩවුන්හිදී එය අද සවස්වරුවේ ආරම්භ කිරීමට නියමිත ය. ජෝර්ජියා විශ්වවිද්‍යාලය නෝත්‍ර දාම් සමග ක්‍රීඩා කිරීමට සූදානම් ය.

මීට පෙර, ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ සභාපති පැවසුවේ, එහි එක සිසුවෙකු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සාක්ෂිකරුවන් පවසන්නේ මොනවා ද?

සිදුවීම වන අවස්ථාවේ බර්බන් වීදියේ සිටි පුද්ගලයෙකු කනගාටුදායක දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි.

ලුසියානාහි ශ්‍රීව්පෝට් සිට පැමිණි විට් ඩේවිස් බීබීසී වෙත මෙලෙස පැවසුවේ ය: "හැන්දෑව පටන් ගන්න වෙලාවේ ඉඳන් අපි බර්බන් වීදිය පැත්තේ හිටියේ."

"අපි බාර් එකේ ඉන්නකොට මහා හයියෙන් මියුසික් දාලා තිබුණ නිසා වෙඩි තියන එකවත් හැප්පුන සද්දෙවත් අපට ඇහුණේ නෑ," ඩේවිස් පැවසුවේ ය.

පොලිසිය ඩේවිස් සහ තැබෑරුමේ සිටි මිනිසුන් කණ්ඩායමක් රඳවාගත් අතර, ඔවුන්ට යාමට අවසර හිමි වූ විට ඔහු පැවසුවේ, "පාර පුරා ම විසිරිලා තිබුණ මිය ගිය සහ තුවාල වූ ශරීර පසු කරමින්," ඇවිද ගිය බව ය.

මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද?

බීබීසීහි ඇමෙරිකාවේ ප්‍රවෘත්ති සහකරු වන CBS පුවත් සේවයේ වාර්තාවලට අනුව, සැකකරු විදේශීය ත්‍රස්ත සංවිධානයක් සමග සම්බන්ධ වී සිටියා හෝ අභාෂය ලබා ඇත්දැයි දැන ගැනීම සඳහා බලධාරීහු පරීක්ෂණ පවත්වති.

ඇමෙරිකාවේ නීතිපති මෙරික් ගාර්ලන්ඩ් පැවසුවේ, සිදුවීම "ත්‍රස්ත ක්‍රියාවක්" ලෙස සලකා FBI පරීක්ෂණ පවත්වන බව ය.

ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය, මත්පැන් - දුම්කොළ - ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කාර්යාංශය, අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක අංශය සහ ලුසියානාහි නැගෙනහිර දිස්ත්‍රික්කය සඳහා වන ඇමෙරිකානු නීතිපති කාර්යාලය විසින් "අපේ නීතිය බලාත්මක කිරීමේ හවුල්කරුවන් සමග දිගට ම කටයුතු කරන අතරේ මේ පරීක්ෂණය පැවැත්වීම සඳහා පවතින සෑම සම්පතක් ම යොදවන," බව ඔහු පැවසීය.