අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ඇමෙරිකාව කියයි

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ඇමෙරිකාව කියයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, සොෆියා ෆෙරේරා සැන්ටෝස්
    • Role, බීබීසී පුවත්
  • කියවීමේ කාලය: මිනිත්තු 3

පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් දෙසැම්බර් 25 වැනිදා කඩා වැටුණු අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි පැවසීය.

එක්සත් ජනපදය "මූලිකව පෙනීයන දෑ" නීරීක්ෂණය කර ඇතැයි ඔහු කියා සිටියේ ය.

කිර්බි වැඩිදුර විස්තර හෙළි නොකළ නමුත් ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ අනතුර පිළිබඳ විමර්ශනයට සහාය දීමට එක්සත් ජනපදය ඉදිරිපත් වූ බවයි.

යානය කැස්පියන් මුහුද හරහා කසකස්තානයට හරවා යැවීමට පෙර චෙච්නියාවට ගොඩබෑමට උත්සාහ කිරීමේදී රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල වෙඩි තැබීමට ලක්ව ඇතැයි සැලකේ.

ක්‍රෙම්ලිනය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත, නමුත් රුසියාවේ සිවිල් ගුවන් සේවා ඒජන්සියේ ප්‍රධානියා පැවසුවේ කලාපයට යුක්රේන ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් චෙච්නියාවේ තත්ත්වය "ඉතා සංකීර්ණ" බවයි.

කසකස්ථාන ගුවන් අනතුරින් පුද්ගලයින් 38 දෙනෙකු මරුට

වීඩියෝ ශීර්ෂ වැකිය, කසකස්තානයේ ගුවන් අනතුර සිදුවූ ස්ථානයේ හදිසි සේවා කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය

කසකස්ථානයේදී යානය කඩා වැටීමෙන් පුද්ගලයින් රැසක් දිවි බේරා ගෙන ඇතැයි එරට බලධාරීහු පවසති.

කසකස්ථාන බලධාරීන් පැවසුවේ මෙම ගුවන් අනතුරින් පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ගුවන් යානය ගමන් ආරම්භ කළ අසර්බයිජානයේ බලධාරීන් පවසන්නේ අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු දිවි බේරා ගෙන ඇති බවයි.

අසර්බයිජාන් ගුවන් සේවය (Azerbaijan Airlines) විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය අක්තාවු නගරය ආසන්නයේදී කඩා වැටීමත් සමග ගිනි ගෙන ඇති නමුත් පසුව ගින්න නිවා දමා ඇති බව බලධාරීහු පවසති.

රොයිටර් පුවත් ඒජන්සිය විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ යානය ගොඩබෑම සඳහා සූදානම් වන අවස්ථාවේ යානය අධික වේගයෙන් පොළව දෙසට පහත් කරන ආකාරයයි.

එය ගොඩබෑමට තැත් කිරීමට පටන් ගෙන තත්පර කිහිපයකට පසු විශාල ගිනි බෝලයක් ලෙස පුපුරා ගොස් තිබේ.

රුසියානු මාධ්‍ය වාර්තා පවසන්නේ යානය කඩා වැටීමට පෙර කුරුල්ලන් රංචුවක ගැටී ඇති බවය. එහෙත් එය මෙතෙක් තහවුරු වී නොමැත.

පුද්ගලයන් 67 දෙනෙකු සමඟ කසකස්තානයේදී මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව එරට බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එම්බ්‍රේර් 190 ගුවන් යානයේ මගීන් 62 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

යානයේ සිටි අයගෙන් වැඩි දෙනෙක් බොහෝ දුරට අසර්බයිජානියානු ජාතිකයන් වූ නමුත් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවලින් පැමිණි සමහර මගීන් ද එහි සිටි තිබේ.

අසර්බයිජාන් ගුවන් සේවයේ J2-8243 දරන ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට රුසියාවේ ග්රෝස්නි දක්වා පියාසර කරමින් තිබී ඇති අතර මීදුම නිසා එය වෙනත් නගරයකට හරවා යවා ඇති බව වාර්තා වේ.

අක්තාවු ගුවන් තොටුපළ විවෘතව පවතින අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.

අසර්බයිජානය සහ කසකස්තානය යන රටවල් දෙකම අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

යානය නිෂ්පාදනය කර ඇති එම්බ්‍රේර් සමාගම බීබීසීයට පැවසුවේ "අදාළ සියලු බලධාරීන්ට සහාය වීමට සූදානම්" බවයි.