තුවක්කුවක් ළඟ තබා ගැනීම නීතියක් බවට පත්වූ එක්සත් ජනපද නගරය

- Author, බ්‍රැන්ඩන් ඩ්‍රෙනන්
- Role, බීබීසී පුවත් - කෙනසෝ, ජෝර්ජියාව
ජෝර්ජියාවේ කෙනසෝ, ඇමෙරිකාවේ දකුණේ ඇති කුඩා නගරයක් යැයි කෙනෙකු අනුමාන කරන සියලුම ලක්ෂණ සහිත නගරයකි.
හනිසකල් බිස්කට් ඇන්ඩ් බේකරිවලින් හමන බිස්කට් සුවඳ නිතර හමන අතර, සමීපයේ ඇති රේල් පාරේ යන දුම්රියක හඬ ඇසේ. එය අලුත විවාහ වූ යුවළ අතින් ලියන ලද ස්තූති කාඩ්පත් තබා යන ආකාරයේ කෝපි සාප්පු ඇති, "සුවපහසු" වාතාවරණයක් සහිත ස්ථානයකි.
නමුත් කෙනසෝහි ඇති කෙනෙකු විමතියට පත් කළ හැකි තවත් දෙයක් තිබේ. ඒ නගරයේ නීත්‍යානුකූල පදිංචිකරුවන්ට තුවක්කු සහ වෙඩි බෙහෙත් තමන් සතුව තබාගත යුතු ය යන නීතියයි. මෙය 1980 ගණන්වල නගර නීතියකි.
"වයිල්ඩ් වයිල්ඩ් වෙස්ට් රූපවාහිනී කතා මාලාවේ මෙන් එය ඔබේ ඉන වටා පැළඳගෙන ඉන්නවා නෙමේ"යි, තුන් වරක් නගරාධිපති ධුරයට පත්, ඔහු විසින්ම තමාව විස්තර කරන ආකාරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරී ඩෙරෙක් ඊස්ටර්ලිං පැවසුවේ ය.
"අපි ගෙයින් ගෙට ගිහිල්ලා දොරට තට්ටු කරලා මට ඔයාගේ ආයුධ බලන්න දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ..."
"නගරයේ සහ එහි වැසියන්ගේ ආරක්ෂාව සහ පොදු සුභසාධනය සැපයීම වෙනුවෙන්, නගර සීමාවේ වෙසෙන සෑම ගෘහ මූලිකයෙකුම උණ්ඩ සමඟ ගිනි අවියක් තබා ගැනීම අවශ්‍ය වේ." යි කෙනසෝහි තුවක්කු නීතියේ පැහැදිලිව සඳහන් වේ.
මානසික හෝ ශාරීරික ආබාධ සහිත පදිංචිකරුවන්, සාපරාධී අපරාධයන්ට වැරදිකරුවන් වූ අය සහ මෙම ආගමික විශ්වාසයන් හේතුවෙන් ආයුධ ළඟ තබා නොගන්නා පිරිස් මෙම නීතියෙන් නිදහස් වේ.
නගරාධිපති ඊස්ටර්ලිංගේ සහ බොහෝ ප්‍රාදේශීය නිලධාරීන්ගේ දැනුමට අනුව, 1982 දී නීතියක් බවට පත්වූ, 34-21 ඡේදයේ දෙවන වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් මෙතෙක් සිදු කර නොමැත.
එමෙන්ම බීබීසීයට අදහස් දැක්වූ කිසිවෙකුටත්, මෙම නීතිය උල්ලංඝණය කළවිට ලැබෙන දඬුවම කුමක්දැයි කීමට හැකි වූයේ නැත.
එසේ වුවද, "එය සංකේතාත්මක නීතියක් නොවේ. මේ දේවල් සම්බන්ධයෙන් මම අවධානය යොමු කරන්නේ නිකමට නොවෙයි." නගරාධිපතිවරයා අවධාරණය කළේ ය.
සමහරුන්ට, මෙම නීතිය නගරයේ ඇති තුවක්කු සංස්කෘතිය වැලඳ ගැනීමට හේතු වන, ආඩම්බරයට කරුණකි.
අනෙක් අයට,එය අපහසුතාවට පත්වන කරුණක් වන අතර ඉතිහාසයේ එම පරිච්ඡේදයෙන් එහාට යා යුතු බවට අදහස් කරයි.
නමුත් තුවක්කු නීතිය මගින් කෙනසෝ ආරක්ෂා කෙරෙන බව බොහෝ දෙනා විශ්වාස කරති.
නගරයේ දේශීය පීසා අවහලේ පෙපරෝනි පීසා අනුභව කරමින් සිටින්නන් පවසන අයුරින්: "කෙන්සෝ හි නිවසකට ඇතුළුවන අපරාධකරුවන්ට බිය වීමට හේතු තියෙනවා. මොකද ඔවුන් ඔබේ නිවසට කඩා වැදුණහොත්, ඔබ ළඟ ආයුධයක් තිබෙන බව ඔවුන් දන්නෙ නැහැ."
කෙනසෝ පොලිස් දෙපාර්තමේන්තු දත්තවලට අනුව 2023 දී මිනීමැරුම් සිදු වී නැති නමුත් තුවක්කු භාවිතයෙන් සියදිවි නසාගැනීම් දෙකක් සිදු විය.
කෙනසෝ පළමු බැප්ටිස්ට් පල්ලියේ නඩත්තුකරුවෙකු වන බ්ලේක් වෙදර්බි, ප්රචණ්ඩ අපරාධ අඩු විය හැක්කේ කෙසේද යන්න ගැන වෙනස් මතයක් දරයි.
"කෙනසෝවල අපරාධ අඩු කරන්නේ තුවක්කු ගැන ඇති ආකල්පය මිස තුවක්කු නොවෙයි"යි වෙදර්බි පැවසුවේ ය.
"ඒක තුවක්කුවක්ද, ගෑරුප්පුවක්ද, මිට මෙලවූ අතක්ද, අඩි උස සපත්තුවක් ද කියන එක වැදගත් නැහැ. අපි අපිව සහ අපේ අසල්වැසියන්ව ආරක්ෂා කරනවා."

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නීතිය සම්මත වී වසර දෙකකට පසු 1984 දී කෙනසෝගේ නගර සභාවට සම්බන්ධ වූ පැට් ෆෙරිස් පැවසුවේ මෙම නීතිය " වෙනත් ඕනෑම දෙයකට වඩා දේශපාලන ප්‍රකාශයක්" බවයි.
මෝර්ටන් ග්රෝව්වලින් පසුව, ඉලිනොයි, තුවක්කු අයිතිය තහනම් කළ පළමු එක්සත් ජනපද නගරය බවට පත් වූ අතර, කෙනසෝ ජාතික ප්‍රවෘත්තියක් බවට පත්වූයේ තුවක්කු තිබීම අවශ්‍ය වූ පළමු නගරය බවට පත් වෙමිනි.
නිව් යෝර්ක් ටයිම්ස් විසින් 1982 දී පළ කළේ කෙනසෝ නිලධාරීන් මෙම නීතිය සම්මත කිරීම පිළිබඳ "සිනහ යන" ලෙස විස්තර කළ නමුත් "යැන්කි අපරාධ විද්‍යාඥයන් " එයට එකඟ නොවන බව සඳහන් කළේ ය.
පෙන්ට්හවුස් සඟරාව එහි කවරයේ කතාව මේ වෙනුවෙන් වෙන් කළේ, "තුවක්කුවක් නොතිබීම නීති විරෝධී වන ඇමෙරිකාවේ තුවක්කු නගරය " යන සිරස්තලයෙනි. එමෙන්ම එහි බිකිනියක් හැඳගෙන සිටින සුදු කෙස් කළඹක් සහිත කාන්තාවකගේ රූපයක් මත තුවක්කුවක රූපයක් මුද්‍රණය කර තිබිණි.
ගන් බැරල් සිටි, ටෙක්සාස් සහ වර්ජින්, යූටා ඇතුළුව අවම වශයෙන් නගර පහකවත් මෙවැනි තුවක්කු නීති සම්මත කර තිබේ.
කෙනසෝ නගරයේ තුවක්කු නීතිය සම්මත වී වසර 40 ක් ගත වෙද්දී ෆෙරිස් පැවසුවේ, එවැන්නක් පවතින බව පවා මේ වනවිට අමතකව යමින් පවතින බව ය.
"මෙම ආඥා පනත පවතින බව දන්නා අය ඉන්නවද කියාවත් මම දන්නේ නැහැ," ඔහු පැවසීය.

පල්ලියේ නඩත්තු පාලකයා වූ වෙදර්බි උපත ලබා ඇත්තේ තුවක්කු නීතිය ක්‍රියාත්මක වූ වසරේදීම ය.
ඔහුගේ පියා විහිලු ස්වරූපයකි යුතුව "උඹ තුවක්කුවලට අකමැති වුණත් ඒක තමයි නීතිය."යැයි කියනු ඔහුට මතක ය.
"උඹ පිරිමියෙක් නම් උඹට තුවක්කුවක් තියෙන්න ඕනේ කියලයි මට උගන්වලා තිබ්බේ." ඔහු කියා සිටියේ ය.
දැන් 42 වෙනි වියේ පසුවන ඔහු මුලින්ම තුවක්කුවක් පාවිච්චි කර වෙඩි තබද්දී ඔහුගේ වයස අවුරුදු 12 කි.
" ඒක මට කොයිතරම් බය දෙයක් වුණාද කියනවා නම් මගේ අතින් තුවක්කුව අත්හරුණා..." ඔහු කීවේ ය.
වෙදර්බි සතුව එක අවස්ථාවක තුවක්කු 20 කට වඩා තිබුණු නමුත් දැන් ඔහු සතුව කිසිවක් නැති බව පැවසුවේ ය. ඔහුගේ පිය 2005 වසරේ මිය යද්දී ඔහුට ඉතිරි කර ගිය තුවක්කුව ඇතුළු සියල්ල, ගෙවුණු වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් දුෂ්කර කාලවලදී විකුණා දැමීමට ඔහුට සිදු විය.
"මට තුවක්කුවලට වඩා ඉන්ධන වගේ අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න ඕන වුණා..."
ඔහු ඔහුගේ ගිනි අවි විකිණීමට ගිය එක් ස්ථානයක් වූයේ කෙනසෝහි ප්‍රධාන වීදියේ පිහිටි ඩියර්ක්රීක් තුවක්කු වෙළඳසැලයි.
36 හැවිරිදි ජේම්ස් රාබුන් උසස් පාසලින් පිටත් වූ දින සිට එහි සේවය කරයි.
"මේක අපේ පවුලේ ව්‍යාපාරය." ඔහු පැවසුවේ ය. එය ඔහුගේ පියා සහ සීයා
විසින් විවෘත කරන ලද්දකි. ඔහුගේ පියා අදටත් එහි තුවක්කු අලුත්වැඩියා කරමින් සිටින අතර ඔහුගේ සීයා එහි ඉදිරිපස වාඩිවී විවේක ගනිමින් සිටියි.
විය යුතු පරිද්දෙන්ම රාබුන් මෙම නීතියට කැමති ය. එය ඔහුගේ ව්‍යාපාරයට ඉතා යහපත් ය.
"ගිනි අවි සම්බන්ධ ලස්සන දෙයක් තියෙනවා...", ඔහු අවංක උද්යෝගයෙන් පැවසුවේ ය. "මිනිසුන් ආත්මාරක්ෂාවට ඒවා මිලදී ගන්නවා. නමුත් බොහෝ අය ඒවාට කැමති කලා කෘති හෝ බිට්කොන් වැනි දුර්ලභ දේවල් වශයෙන් සලකලා..."
විකිණීම සඳහා බිත්තියේ එල්ලා ඇති ආයුධ දුසිම් ගණනක් අතර ඇති, බැරල් දෙක් කළු ෂොට්ගන් මස්කට් වැනිය. එමෙන්ම 1800 ගණන්වල නිෂ්පාදිත, දැන් නිෂ්පාදනය නවතා ඇති වින්චෙස්ටර් රයිෆල් කිහිපයක් ද මෙහි තිබේ.

කෙනසෝහි තුවක්කු සඳහා කැමැත්ත දක්වන්නේ තුවක්කු සාප්පු හිමියන් සහ මැදිවියේ පිරිමින්ගෙන් පමණක් නොවේ. ඊට වඩා පුළුල් පරාසයක පිරිසක් මේ ගැන උනන්දු ය.
නව යොවුන් වියේ පසුවන දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ක්‍රිස් වේල්ස් ඇගේ තුවක්කු භාවිතය සැඟවීමට උත්සහ කරන්නේ නැත. ඇය දඩයම් කරන්නියකි. එමෙන්ම තුවක්කු සමාජයක සාමාජිකාවකි. එමෙන්ම ඇගේ දියණියන් සමඟ වෙඩි තැබීම පුහුණු වේ.
"මම තුවක්කු හිමිකාරියක්", ඇය පිළිගනී. " පිස්තෝලයක්, බෙරෙටා, ග්ලොක් සහ ෂොට්ගන් 6ක් පමණ මා ළඟ තියෙනවා."යැයි ඇය පවසයි.
කෙසේ වෙතත් වේල්ස් කෙනසෝහි තුවක්කු නීතියට කැමති නැත.














