ඇමෙරිකාවේ වෙඩිතැබීම්: පැය 24ක් ඇතුළත සිදුවීම් දෙකක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ නම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකින් 20 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් එම සිදුවීම විස්තර කළේ "ටෙක්සාස් ඉතිහාසයේ බියකරුම දිනයක්' යනුවෙනි.
ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවට මදක් දුරින් පිහිටි 'වොල්මාට්' වෙළෙඳ සංකීර්ණයක එම වෙඩි තැබීම සිදු කර තිබේ.
මෙම සමුහ වෙඩිතැබීම සම්බන්ධයෙන් 21ක් හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔහු නැගෙනහිර එල් පාසෝ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඇමෙරිකානු මාධ්‍ය විසින් සැකකරු 'පැට්රික් කෘසියස්' ලෙස හඳුන්වයි.
වෙඩි තැබීම සිදු කළේ යැයි පැවසෙන පුද්ගලයාගේ සීසීටීවී දර්ශන අමෙරිකානු මාධ්‍ය විසින් විකාශය කරන ලදී.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වෙඩිතැබීම විස්තර කළේ "බියසුළු ක්‍රියාවක්" යනුවෙනි.
"අද සිදුවූ වෛරී ක්‍රියාව හෙළාදකින මෙම රටේ සියලු දෙනා සමග මමත් එකඟයි. අහිංසක මිනිස්සු මරා දැමීම සාධාරණීකරණයට කිසිම හේතුවක් හෝ නිදහසට කරුණු නොමැත," යනුවෙන් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම වෙඩිතැබීම නිසා මරණයට පත් වූ අයගේ නම් තවමත් ප්‍රසිද්ධ කර නොමැත.
එහෙත් මෙක්සිකානු වැසියන් තිදෙනෙකු මිය ගොස් ඇති බව මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩො උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
මීට දින කිහිපයකට පෙර කැලිෆෝනියාවේ ආහාර උත්සවයක් අතරතුරදී සිදු කළ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරණයට පත් විය. එම වෙඩිතැබීම යෞවනයෙකු විසින් සිදු කර තිබිණි.

ටෙක්සාස් හි සිදු කළ වෙඩිතැබීම නුතන ඇමෙරිකානු ඉතිහාසයේ වාර්තා වූ අටවැනි මාරාන්තික සිදුවීම ලෙස සැලකේ.
අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වී ඇති සුදු ජාතිකවාදී ප්‍රතිපත්ති ප්‍රකාශය, වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා විසින් ලියන ලද්දක් ද යන්න පිළිබඳව පොලීසිය සහ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වති.
වෙඩිතැබීම සිදු කෙරෙන අවස්ථාවේ වොල්මාට් වෙළෙඳ සංකීර්ණය තුළ නව පාසල් වාරය සඳහා අවශ්‍ය දේ මිලදී ගනිමින් සිටි ජනයාගෙන් පිරී තිබිණි.
මෙම සිදුවීමට දැනට අත්අඩංගුවේ පසුවන්නේ 21ක් හැවිරිදි සැකකරු පමණි.
තවත් වෙඩිතැබීමක්
මේ අතර, ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ ඩේටන් නම් නගරයේ සිදු කළ තවත් වෙඩිතැබීමකින් 9 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
එම වෙඩිතැබීම වාර්තා වූයේ ඔරිගන් දිස්ත්‍රික්කයේ තැබෑරුමක් ඉදිරිපිටදීය.
වෙඩික්කරු පොලිස් ප්‍රති ප්‍රහාරයකින් මරණයට පත් ව තිබේ.











