ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තවත් වෙඩි තැබීමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
තුවක්කුකරුවෙක් 'ටෙක්සාස්' ප්‍රාන්තයේ සිදු කළ වෙඩිතැබීමකින් පස් දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි ඇමෙරිකාවෙන් වාර්තා වේ.
සමූහයක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රාන්තයේ මසක් ඇතුළත වාර්තා වූ දෙවැනි වෙඩිතැබීම මෙයයි.
'මිඩ්ලන්ඩ්' සහ 'ඔඩෙසා' නගර අතර දී වෙඩික්කරුගේ වාහනය නතර කරන ලද පොලිස් නිලධාරියකු තුවක්කුකරුගේ පළමුව වෙඩි ප්‍රහාරයට ගොදුරු විය.
ඉන් අනතුරුව වෙඩික්කරු වෙනත් වාහන කිහිපයකට සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් කිහිපදෙනෙකුට ද වෙඩි තබා තිබිණි. එක් අවස්ථාවක දී, ඔහු තම වාහනය අත්හැර දමා තැපැල් මලු ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් පැහැරගෙන වෙඩි තැබීම සිදු කර ගෙන ගොස් තිබේ.
අනතුරුව සිනමා ශාලා පරිශ්‍රයක දී පොලීසිය විසින් වෙඩි තබනු ලබීමෙන් තුවක්කුකරු මරා දමනු ලැබුණි.
වෙඩික්කරුගේ අරමුණ අපැහැදිලි බව පවසන පොලීසිය ඔහු සුදු ජාතිකයෙක් බවත් වයස අවුරුදු 35ක පමණ පුද්ගලයකු බවත් පවසයි.
මෙයින් සති හතරකට පෙර, ටෙක්සාස් හි එල් පාසෝ(Texan city of El Paso)කලාපයේ දී සිදු වූ වෙඩි තැබීමකින් විසිදෙදෙනෙක් මරණයට පත් විය.
ඉහත කී ටෙක්සාස් හි අලුත්ම වෙඩිතැබීමෙන් මරණයට පත් පස් දෙනාට අමතරව, විසි දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙක් පොලිස් නිලධාරීන් ලෙස හඳුනා ගෙන ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ටෙක්සාස් නීතිපති කෙන් පැක්ස්ටන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ "එවැනි අමනෝඥ ක්‍රියාවක් දැකීමෙන් තමාත් "භීතියට" පත්වූ බවය.
"ලෝන් ස්ටාර්" ප්‍රාන්තය ( Lone Star State -තනි තරුවක් සහිත ධජය දරන ටෙක්සාස් ප්‍රාන්තය) වෛරයෙන් පරාජය කිරීමට අපි ඉඩ නොදෙමු," යයි ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පවසයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වෙඩි තැබීම ගැන තමා දැනුවත් කෙරුණු බව සඳහන් කරයි.
තමා සහ ට්‍රම්ප් පාලනය "රට තුළ ඇති මෙම හිංසාකාරී වසංගතය පාලනයට සහ ඊට මුහුණ දීමට කොංග්‍රසයේ සිටින පක්ෂ දෙකේම නායකයන් සමග වැඩකිරීමට අපි තීරණය කර ඇත්තෙමු" උප ජනාධිපති මයික් පෙන්ස් කියා සිටියේය.
මෑතකදී වාර්තා වූ 'ටෙක්සාස්' සහ 'ඔහායෝ' වෙඩි තැබීම් වලින් අනතුරුව ගිනිඅවි මිලදී ගැනීම් සිදු කරන විට අදාළ පුද්ගලයන්ගේ පසුබිම දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතු යැයි හඬක් නැගිණි. තමා ඒ ගැන කටයුතු කරන බව එවිට ජනාධිපති ට්‍රම්ප් පැවසීය.
නමුත් ජාතික රයිෆල් සංගමයේ ප්‍රධාන විධායක වෙයින් ලාපියරේ ගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ජනාධිපති ට්‍රම්ප් සිය ස්ථාවරය වෙනස් කරන ලදැයි පැවසේ.
මේ තොරතුරුත් කියවන්න:










