'අද සිට විදුලිය කැපීමක් නෑ': නොරොච්චෝලේ එක් ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වී තිබූ එක් ජනක යන්ත්‍රයක් සාර්ථකව ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න ප්‍රකාශ කළේ, අද සිට විදුලි සැපයුම් කළමනාකරණය කිරීම සඳහා විදුලිය විසන්ධි කිරීමක් අවශ්‍ය නොවන බව ය.
පානදුර උපපොළක සිදුවූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම නිසා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර 3 අක්‍රිය වීම හේතුවෙන් දින කිහිපයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවිය.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඉතිරි ජනක යන්ත්‍ර දෙකෙහි ක්‍රියාකාරීත්වය යථාතත්ත්වයට පත් කිරීමට 'යුහුසුළුව ක්‍රියා කරන' බව විදුලි බල මණ්ඩලය පවසයි.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ යන්ත්‍ර තුන අක්‍රිය වීම හරහා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන විදුලිය ප්‍රමාණය මෙගා වොට් 900කි.
නොරොච්චෝලේ ජනක යන්ත්‍ර අක්‍රිය වුණේ ඇයි?
පානදුර උපපොළේ සිදුවූ දෝෂය දිවයිනට ම බලපාන විදුලි කප්පාදුවකට හේතු වූයේ කෙසේ ද යන්න පිළිබඳව අපි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්නගෙන් විමසීමක් කළෙමු.
ඔහු ප්‍රකාශ කළේ, සම්ප්‍රේෂණ පද්ධතියේ අසමතුලිතතාවකදී නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනක යන්ත්‍රවලට හානියක් සිදු නොවීම සඳහා එම යන්ත්‍ර අක්‍රිය වන ආකාරයට සකසා ඇති බව ය.
"ඒ වගේ වෙලාවක යන්ත්‍ර ට්‍රිප් වුණේ නැත්නම් ඒවාට හානි වෙනවා. ට්‍රිප් වුණ නිසා ඒවා ආයෙත් ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඒකට දින කිහිපයක් ගත වෙන්න පුළුවන්. දවස් 4ක් විතර යයි," ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
විදුලිය බිඳ වැටීම ගැන විමර්ශන දෙකක්
ඉරිදා දිනයේදී (පෙබ: 09) දිවයින පුරා වාර්තා වූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යංශය විමර්ශන දෙකක් සිදු කරමින් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පැවසීය.
ඉරිදා දිනයේදී සිදුවූ විදුලිය බිඳ වැටීමෙන් පෙරවරු 11 පමණ සිට පැය 6කට ආසන්න කාලයක් දිවයින පුර විදුලිය සැපයීම ඇණහිටියේ ය.
මෙම විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි ලංකා විදුලි බල මණ්ඩලයට අයත් උපපොළේ සම්ප්‍රේෂණ රැහැනක වඳුරෙකු ගැටීම බවට වාර්තා පළ විය.
වඳුරෙකු ගැටීමේ කතාව ගැන පරස්පර අදහස්
විදුලිය බිඳවැටීමට හේතුව පානදුර උපපොළේ වඳුරෙකු ගැටීම බවට වාර්තා පළ වුව ද, එම උපපොළේ සිද්ධිය වූ අවස්ථාවේ සේවයේ නියුතුව සිටි ආරක්ෂක නියාමකවරයා මාධ්‍ය වෙත පවසා තිබුණේ, එහි වඳුරෙකු ගැටීමක් සිදු නොවූ බව ය.
කෙසේ වෙතත්, ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ, වඳුරෙකු ගැටුණු කතාව සත්‍යයක් බව ය.
"වඳුරෙක් වැදුණා කියන කතාව සීයට දාහක් විශ්වාස යි. මමත් ඒ උපපොළ ආසන්නයේ ඉන්නේ. මම දැක්කා ඒක. පානදුර උපපොළේ විදුලිය බිඳ වැටුණේ වඳුරෙක් ගැටීම නිසා තමයි. ඊට එහා දෙයක් කියන්න අමාරුයි, ඒ ගැන විමර්ශනයක් පැවැත්වෙන නිසා," ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ ය.
මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න ප්‍රකාශ කළේ, රැහැන්වල ගැටුණේ කුමන සතෙකු ද යන්න පිළිබඳව තර්ක කිරීම අදාළ නොවන බව ය.
"මොන සතෙක් ද වැදුණෙ කියන එක අදාළ නැහැ. මේ විදුලිය බිඳ වැටීමට බලපෑවේ පානදුර උපපොළේ බිඳ වැටීම තමයි."
උපපොළේ සිද්ධියෙන් ලංකාවට ම විදුලිය නැති වුණේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පානදුර උපපොළේ සිදුවූ බිඳ වැටීම ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම විදුලිය බිඳ වැටීමට බලපෑවේ කෙසේ ද යන්න පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැහැදිලි කළේ ය.
" මේ සඳහා බලපාන ලද මූලික ම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාව සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත් ය. කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කර ගත යුතු වේ.
පානදුර විදුලි උපපොලේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමග අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාව අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේ ම විදුලි සැපයුම විසන්ධි විය.
ජාතික විදුලි බල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදී ම පැමිණිය ද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාව මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි විය.
කෙසේ නමුත්, (ඉරිදා දිනයේ) ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්ත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බව අනුමාන කෙරේ.
මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storages) හා ජල පොම්ප බලාගාරවලට (Pump Storage) අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුල බල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් පවතී.
ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කරන ලදී.
තවද මේ සම්බන්ධයෙන් ඇතැම් වැරදි මත සමාජ ගත කිරීමට යම් පාර්ශව උත්සාහ ගන්නා බව ද අප විසින් නිරීක්ෂණය කර ඇත," යනුවෙන් එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
'උපයෝගිතා කොමිසම හරහා වන්දි ලබා ගත යුතු යි'
මෙවැනි විදුලිය බිඳ වැටීම් නිසා ගෘහස්ත පාරිභෝගිකයින් පමණක් නොව, කර්මාන්ත ක්ෂේත්‍රය ද අපහසුතාවට පත්වන අතර, ඒ සඳහා වන්දි ලබා ගත යුතු බව හිටපු බලශක්ති අමාත්‍යවරයෙකු සහ විදුලි ඉංජිනේරුවරයෙකු වන පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි.
ඔහු ප්‍රකාශ කළේ, ෆොසිල ඉන්ධන සහ ජලය මත පදනම් වී ඇති විදුලිය උත්පාදනය වෙනුවට පුනර්ජනනීය බලශක්ති භාවිත කළ යුතු බව ය.
"සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම වැඩි වශයෙන් ආරම්භ කළේ මම විදුලි බල ඇමති විදිහට වැඩ කරපු කාලයේ. ඒ නිපදවන විදුලිය ගබඩා කර ගන්න වැඩපිළිවෙළක් අවශ්‍ය යි. ඒ ගැන ක්‍රියා නොකර, ගල් අඟුරු බලාගාර පවත්වාගෙන යන්න පිරිසක් තවමත් උත්සහ කරනවා. ඒවා නතර කළ යුතු යි," චම්පික රණවක පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න ප්‍රකාශ කළේ, බැටරි ගබඩා පහසුකම් (Battery Storages) හා ජල පොම්ප ගබඩා පහසුකම් ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.
ඒ හරහා, විදුලි බල පද්ධතියේ අසමතුලිතතා අවම කර ගැනීමට අනාගතයේදී හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේ ය.
විදුලිය බිඳ වැටීම් ඉතිහාසය
ශ්‍රී ලංකාවේ දිවයිනට ම බලපෑ විදුලිය බිඳ වැටීම් කිහිපයක් පසුගිය වසරවලදී සිදුව තිබේ.
2020 වසරේ අගෝස්තු 17 වන දා කෙරවළපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවූ තාක්ෂණික දෝෂයකින් දිවයින පුරා විදුලිය බිඳ වැටිණි.
2021 වසරේ දෙසැම්බර් 03 වන දා කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදු විය.
2023 වසරේ දෙසැම්බර් 09 වන දා ද කොත්මලේ සිට බියගම දක්වා දිවෙන සම්ප්‍රේෂණ මාර්ගයට අකුණු සැර වැදීමෙන් විදුලිය බිඳ වැටිණි.














